2018 මාර්තු 24 වන සෙනසුරාදා

අන්‍ෙ අපට අද අම්මත් නෑ තාත්තත් නෑ

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 175

“අම්මා නැතිවුණාට පස්සේ අපිට එකම සරණක් වුණේ අපේ තාත්තා විතරයි. ඒත් දැන් තාත්තාත් අපිට නොකියාම මමත් මල්ලිත් ගේ ඇතුළේ තනිකර දමලා රූ යන්න ගිහින්. මමත් මල්ලිත් රූ ගේ වටේ අලි වෙඩි දමනවා ඇහිලා බයවෙලා ඇහැරැණා. ඒ ඇහැරිලා බලනකොට තාත්තා ගේ ඇතුළේ හිටියේ නෑ. මම හයියෙන් තාත්තේ තාත්තේ කියලා කතා කළා. ඒත් තාත්තා කතා කරන හඬක් ඇහුණේ නෑ. මම මල්ලිත් බදාගෙන ඇද උඩට වෙලා අඬ අඬා හිටියා. ඒ වෙලාවේ ගේ ළඟ මාමලා වගයක් ඇවිත් කිව්වා තාත්තා හීන් මාමලගේ ගේ ළඟට ගිහින්. දොර වහගෙන ඉන්නයි කිව්වා කියලා. ටික වෙලාවකට පස්සේ සුජිත් මාමා ඇවිත් අපිව ගෙදර එක්කගෙන ගියා. ඒත් තාත්තා ගැන මොකවත් කිව්වේ නෑ* යැයි එකොළොස් හැවිරිදි එච්.එස්. මලීෂා රණසිංහ දියණිය අපත් සමඟ පැවසුවේ හැඬූ කඳුළින් යුතුවය.

ඉකුත් පසුගිය 16 වැනි දින රාත්‍රී සුරියවැව සුරුවිරුගම ප්‍රදේශයට කඩාවැදුණු වන අලියෙක් ගම දෙවනක් කරන්නට විය. ගම හැමතැනම අලිවෙඩි පත්තු කරන්නට වුණත් වන අලියා එලවා ගැනීමට නොහැකි විය. වියරුවෙන් මෙන් ඒ මේ අත දිවයමින් ගෙවල් තුළට කඩා වැදීමට තැත් කළ වන අලියා අජිත් රණසිංහ මහතාගේ නිවසට අල්ලපු ගෙදරටද කඩාවැදුණි. අසල්වැසියන්ගේ කෑකෝ හඬත් සමඟින් නිවසේ නිදාසිටි චූටි පුතුත්, දියණියත් ගෙට දමා දොර වැසූ අජිත් මහතා විදුලි පන්දමද සහිතව එළියට බැස්සේ අසල්වැසි නිවසට පැමිණි වන අලියා ඊළඟ නිමේෂයේ සිය නිවස ද ආක්‍රමණය කිරීමට පෙර එලවා දැමීමටය.

එහෙත් සිදුවූයේ කිසිවකුටත් සිතාගත නොහැකි දෙයකි. සතර අතින් විදුලි පන්දම් දල්වාගත් පිරිස වන අලියා එළවීම සිදුකළ අතරතුර නිවසින් එළියට ආ අජිත් මහතා පිටුපස එකසැරයටම වන අලියා පන්නන්නට විය. අලියාගෙන් බේරීමට සියල්ලෝ හිස් ලූ ලූ අත දිවයන මොහොතේ අජිත් මහතාද සිය නිවස දෙසට දිවයන්නට වූයේ වන අලියාගෙන් ජීවිතය රැකගන්නටය. එහෙත් ගතවූයේ නිමේෂයක් තරම් කාලයක් පමණි. පිමි දෙකට පැන්න අලියා අජිත් මහතාව කුදලා බිමගැසුවේ සියල්ලන්ම බලාසිටියදීය. අජිත් මහතා වන අලියාට බිලිවන අවස්ථාව වනවිට නිවසේ නිදාසිටියේ එකොළොස් හැවිරිදි දියණිය හා අට හැවිරිදි පුතුණුවනුත් පමණි. 

මේ වනඅලි ප්‍රහාරයෙන් මියගියේ අංක 22/06, සුරුවිරුගම, සූරියවැව ලිපිනයේ පදිංචි 38 හැවිරිදි හේවාසුදුහකුරුගේ අජිත් රණසිංහ නැමති දෙදරු පියෙකි. මෙම මරණයත් සමඟින් අහල සියලු ගම් කම්පා වී ගියේය. ඒ අන් කිසිවක් නිසා නොව, අහිංසක දරු දෙදෙනකුට මවත් පියාත් වී සිටි එකම පුද්ගලයා ද මේ දරු දෙදෙනා අතහැර යාම නිසාය.

මේ සියලු සිද්ධීන් පිළිබඳව එස්.එච්. සුජිත් ප්‍රියංක මහතා මෙලෙස විස්තර කළේය.

“මියගිහින් තියෙන්නේ මගේ තාත්තගේ අයියගේ පුතා. මියගිය අයියා බැඳලා හිටියෙත් මගේ නෝනගේ අක්කා. අපි දෙන්නම විවාහ වුණේ එකම දවසේ. අයියගේ නෝනා දැනට වසර හතර හමාරකට පමණ පෙරදී ගෙදර සිදුවූ පොඩි ආරවුලකට ඇතිවූ හිත් වේදනාවකින් සියදිවි හානිකරගෙන නැති වුණා. එදායින් පස්සේ අයියා මේ දරුවෝ දෙන්නා බලාගත්තේ ඇහැක් වගෙයි. කවදාවත් අයියා මේ ළමයි දෙන්නට අම්මා නැති අඩුව දැනෙන්න දුන්නේ නෑ.

16 වැනිදා රෑ ගමට අලි ඇවිල්ලා හිටියා. අලිවෙඩි දමන සද්දෙත් ඇහුණා. අපිත් අවධානයෙන් හිටියේ මොකද වෙන්නේ කියලා. ඒ වෙලාවේ අයියලගේ ගේ ළඟ කෙනෙක් දුවගෙන ඇවිත් මට කිව්වා අජිත් අයියට අලියා ගැහුවා කියලා. ඒ වෙනකොට වෙලාව රෑ 12ට විතර ඇති. මම ඉක්මනට ගෙදරට දුවලා ගියා. මොකද දරු දෙන්නා විතරක් ගෙදර ඉන්න නිසා. මම දොර ඇරගෙන ගෙදරට යනකොට ඇද උඩට වෙලා අඬ අඬා හිටිය දරුවෝ දෙන්නා කෑගහගෙන බුදු තාත්තේ අපිව දාලා කොහෙද ගියේ කියාගෙන මගේ ඇඟේ එල්ලුනා. ඒ දෙන්නා හිතුවේ තාත්තා ආවා කියලා. මම කිව්වා පුතේ මම ආවේ. තාත්තා යාළුවෙක් එක්ක එන්න ගියා. පුතාලා අපේ ගෙදර යමු කියලා මම දරුවෝ දෙන්නා එක්කගෙන අපේ ගෙදර අරගෙන ගියා. මම දරුවෝ දෙන්නා ගෙදර තියලා සූරියවැව රෝහලට ගියා. ඒ යනකොට අයියව හම්බන්තොට මහ රෝහලට යවලා. එතැනින් කරාපිටිය රෝහලටත් යැව්වා කියලා මට දැනගන්න ලැබුණා. ඒ නිසා මම ගෙදර ආවා. අජිත් අයියගේ එක අයියා කෙනෙක් ඉන්නේ ගාල්ලේ. එයා ඒ වෙලාවෙම කරාපිටිය රෝහලට ගිහින් බලලා උදේ පාන්දර මට 6ට විතර කෝල් එකක් දීලා කිව්වා අයියා කරාපිටියේ රෝහලට ගේනකොට නැතිවෙලා කියලා.

ගෙවෙන හැම විනාඩියකදීම දරුවෝ දෙන්නා මගෙන් ඇහුවේ තාත්තා කෝ කියලයි. මම කටට එන එන දේ කිය කියා දරුවෝ දෙන්නා රැවැට්ටුවා. නමුත් අන්තිමේදී මට මගේ කටින්ම දරුවන් දෙන්නට කියන්න වුණා තාත්තා අලියා ගහලා මැරිලා කියලා. දරුවෝ දෙන්නට ඒ පණිවිඩය කිව්වා විතරයි දුව විලාප තියලා අඬන්න වුණා. මටයි මල්ලිටයි හිටියේ තාත්තා විතරයි. එයත් නැතිවුණා. දැන් අපිට අම්මත් නෑ තාත්තත් නෑ කිය කියා අඩන්න වුණා. 

අජිත් අයියට අලියා ගහලා මැරෙනකොට අජිත් අයියගෙ අම්මා හිටියේ ලෙබනන් රටේ. අපිට තිබුණ ගැටලුව තමයි මේ මරණය ගැන අම්මට කියන්නේ කොහොමද කියලයි. ඒ වෙලාවේ අජිත් අයියගෙ දුව කිව්වා ආච්චි අම්මා 15 වැනිදා රෑ තාත්තා එක්ක කතා කරලා ලංකාවට එනවා කියලා කිව්වා කියලා. ඒ නිසා අපි මෙහේ මළගෙදරට ඕන කරන වැඩ කටයුතු සුදානම් කළා.

මියගිය අජිත් මහතාගේ මව වන විජමුනි ආරච්චිගේ සුමනාවතී (63) මහත්මිය මෙසේ පැවසුවාය.

 මගේ එක නංගි කෙනෙක් මාව එක්කගෙන යන්න ගුවන්තොටුපොළට ආවා. ඒ එන ගමනුත් විවිධ දේ කතා කර කර ආවා. හැබැයි මේ කවුරුවත් මට කිව්වේ නෑ පුතා නැතිවෙලා කියලා. කොහොමහරි සූරියවැවට එනකොට අතරමඟ සුදුකොඩි දමලා තියෙනවා මම දැක්කා. ඒත් මම ඇහුවා කවුද බං නංගියේ නැතිවෙලා තියෙන්නේ කියලා. ඒත් නංගි කිව්වේ දන්නේ නෑ අක්කේ කියලා විතරයි. කොහොමහරි මම අජිත් පුතාගේ ගෙවල් පාරේ යනකොට ඒ පැත්තෙත් සුදුකොඩි දමලා. මට තේරුණා මොකක්හරි වින්නැහියක් වෙලා කියලා. මම මගේ නංගිටත් බැන්නා. අනිත් අයටත් බැන්නා. ඇයි මගේ පුතා නැතිවෙලා කියලා මට කිව්වේ නැත්තේ කියලා. යැයි ඇය පැවසුවේ හැඬූ කඳුළින් යුතුවය.

වන අලි පහරදීමෙන් ගෙවුණු සතිය තුළදී පමණක් සූරියවැව පුද්ගලයන් දෙදෙනෙක් මියගිය අතර වනඅලි ප්‍රහරවලින් තුවාල ලැබූ පිරිස ද හතකට ආසන්නය. කඩාබිඳ දැමූ නිවාස ගණන ද දහය ඉක්මවා තිබූ අතර විනාශ කර තිබූ ගොවිබිම් මෙතෙකැයි කියා ගණන් බලා නොමැත. 33 හැවිරිදි අජිත් රණසිංහගේ වියෝව නම් ගම්මුන් කිසිවකුටත් දරාසිටිය නොහැකි වූයේ ඔහුගේ දරු දෙදෙනාගේ විලාපය නිසාවෙනි. සිය මවත් අහිමිව සිටි පුංචි මල් කැකුළු දෙකකට මවත් පියත් වූ අජිත් ද හදිසියේ මෙලොව හැරදා යන දසුන හිත්පිත් ඇති කිසිවකුටත් බලා සිටිය නොහැකි විය.

►සටහන හා සේයාරූ I සූරියවැව නුවන් ජයසේකර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00