2018 මාර්තු 24 වන සෙනසුරාදා

කූඹියා්‍ෙ ඉවර වූ තැන...

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 172

“උඹ මොනවද බොන්නෙ?”

“උඹ මොනවා බිව්වත් මෙහෙ තියෙන්නේ ප්ලේන්ටි විතරයි.”

පසුගිය වසර 5, 6 ක් තිස්සේම ලාංකික ටෙලිනාට්‍ය රසික ප්‍රජාවට සිදුව තිබෙන්නේ මේ සන්තෑසිය බව අමුතුවෙන් කිවයුතු නොවේ. අපි කෙතරම් රස වර්ගවලට කැමැත්තෙන් සිටියද අපිට බොහෝ විට රහ බලන්නට ලැබුණේ සීනි නොදැමූ, කහට ගතියක් ගෑවිලාවත් නැති, නිවී ඇල්ව ගිය තේ කෝප්පයක් බඳු වූ එදා වේල ටුවර්ස් ටෙලිකතා ගොන්නකි. අතරින් පතර අති විශිෂ්ට උත්සාහයන් නොතිබුණාම නොවේ. නමුත් බොහෝවිට වුණේ පෙර කියූ ඇල්මැරුණු නාට්‍ය ගොන්නක් මැද ඒ වටිනා උත්සාහයන් ප්‍රේක්ෂක අවධානයෙන් සැඟව යාමය. එවන් කාලයක පුංචි තිරයෙන් ඈත්ව සිටි බොහොමයක් දෙනා නැවතත් රූපවාහිනී තිරය ඉදිරියට ගෙන එන්නට කූඹින්ට හැකිවූ බව නොරහසකි.  එය මෙරට ජනප්‍රියම, වැඩිම දෙනා නරඹන නාට්‍ය නොවුණත් තරුණ ප්‍රජාවේ ප්‍රධාන මාතෘකාවක් බවට කූඹියෝ පත්ව තිබේ. ඒ ප්‍රජාව යනු බොහෝවිට සමාජ ජාල තුළ සක්‍රීය පිරිස්ය. ඒ නිසා සමාජ ජාල අස්සේ කරක් ගසන ඕනෑම එකෙක් කූඹින්ව දනී. නමුත් එයින් පිට ඉන්නා හෝ තරුණ විය ඉක්මවූ බොහෝ දෙනෙක්ට කූඹියෝ එතරම් ගෝචර වී නැති බව ද සිතේ.

පොඩි පූර්විකාවක් වගේ ලියාගෙන ඇවිත් එකපාරටම හිතුණා භාෂා විලාසය මාරුවෙන්න ඕන කියලා. මොකද කූඹියෝ වගේ හිතේ ලොකු ඉඩක් ගත්ත නිදහස් නිර්මාණයක් ගැන කතා කරද්දී භාෂාවත් නිදහස් වෙන්න ඕන. ඇත්තටම කූඹියෝ අපිට වැදුණේ ඇයි? ඒකට ගොඩක් හේතු තියෙන්න පුළුවන්. මට හිතෙන්නේ ප්‍රධානම හේතුව වුණේ මුල කොටස් දහය පහළොවේ  තිබ්බ සිදුවීම් ටික. ඒ සිදුවීම් පහුගිය කාලයේ බිහිවුණු කිසිම නාට්‍යයක තිබුණේ නැති දේවල් ටිකක්.  අඩුගාණේ පහුගිය දශකයේවත් හිටියේ නෑ මෙහෙම චරිතයක්. අපරාධකාරයෙක් උත්කර්ෂයට නංවන, ඒ අපරාධකාරයා නියම පොරක් ලෙස වර්ණනාත්මක දෘෂ්ටිකෝණයෙන් ප්‍රේක්ෂක ඇස් ඉස්සරහට ගෙන ඒමක් ලංකාවේ වෙලා නැතුව ඇති. එහෙම නොවෙන්නේ ගොඩක් වෙලාවට අපේ සංස්කෘතියත් එක්ක. 

ආගමික මතවාද දැඩි ලෙස කා වැදුණු අපේ සංස්කෘතිය තුළින් කවදාවත් අපරාධකාරයෙක් හෝ අනුන්ව පෙළලා ජීවත්වන්නෙක් උත්කර්ෂයට නංවන්න ඉඩක් නෑ. නමුත් ඇත්තටම අපේ ජීවිතේ අහුමුළුවල මේ වගේ චරිත හැංගි හොරා ජීවත් වෙනවා. අපේ ගම්වල ජීවත් වෙනවා හිත හොඳ හොරු, මැරයෝ. එහෙමත් නැත්නම් ලොකුවට දූෂණ වංචා කරන දේශපාලකයෝ. මේ උදවිය ඒ වැරදි දේවල් කළාට ගමේ මිනිස්සුත් එක්ක හරිම හිතවත්කමෙන් ජීවත් වෙනවා. ඔවුන්ට ආදරෙන් සලකනවා. ඔවුන්ගේ හදගැස්ම, ජීවන විලාසයත් එක්ක බද්ධවෙන්න දන්නවා. ඒ නිසා එළිපිට කියන්න නොගියත් මිනිස්සු හිත යටින් ඒ චරිතවලට ගොඩක් මනාපයි. සංස්කෘතික හා නීතිමය තත්ත්වයන් උඩ වැරදිකරුවන් වන මේ චරිතවලට තමන්ගේ ඇති කැමැත්ත කවුරුත් හෙළිකරන්නේ අඩුවෙන්. ඉතින් ඒ ගතිය අපේ කලා නිර්මාණවලත් එහෙමමයි. ගොඩක් වෙලාවට රූපමාධ්‍යයේ එහෙමයි. ඒ නිසා අපේ නිර්මාණවල හැමවිටම වගේ ඉදිරියට ගේන්නේ අර කිව්ව අපරාධකාරයො, නැත්නම් ගේම්කාරයො නිසා පීඩාවට පත්වෙන චරිතවල දුක. ඔවුන් හොටු පෙරාගෙන අඬන, නැත්නම් පොළොවේ අත ගගහ සාප කරන වගේ දර්ශන. ඒ අතර අපරාධකාරයා, නැත්නම් ගේම්කාරයා ගේන්නෙ, රැවුල වවාගත්ත, කැත,  දරුණු, කිසිම ඉගෙනීමක් නැති, හිතක් පපුවක් නැති දුෂ්ටයෙක් විදිහට. 

නමුත් බටහිර බිහිවන නිර්මාණ මේ විදිහට එක් අන්තයකට සීමාවෙන්නේ නෑ. අපරාධකරුවා උත්කර්ෂයට නංවන ගොඩක් නිර්මාණ බටහිර තියෙනවා. ඔහුගේ දැනුම ගැන, තීක්ෂණ බුද්ධිය ගැන අපිව පුදුම කරවන මේ නිර්මාණවලින් අපි ආදරය කරන ගේම්කාරයො බිහිකරනවා. ඒක කරන්නේ ඔවුන්ගෙන් පීඩාවට පත්වෙන පාර්ශ්වයේ දුක හංගමින්. මේ අත්දැකීම අපේ නිර්මාණ ප්‍රවේශයන්වලට සෑහෙන අලුත්. කූඹියෝ තුළ අපිට හමුවෙන්නේ අන්න ඒ decent ගේම්කාරයෙක්. එතකොට අපෙන් සැඟව යන්නේ ඔහු නිසා අගතියට පත්වෙන පාර්ශ්වයේ දුක වේදනාව. 

අනිත් කාරණය අපිට මේකෙ ලංකාවේ 99%ක්ම නිර්මාණවල මුණගැහෙන පවුල මුණගැහෙන්නේ නෑ. ඒ කියන්නේ තාත්තා, අම්මා, දුව, පුතාලා දෙන්නා එකට වාඩිවෙලා බත් කන, නාහෙට අහන්නේ නැති පුතාට බණින අම්මා, හොර ලව් තියෙන කෙල්ල, ඒ දුව නිසා අඬන අම්මා, සැමියගේ අයථා සම්බන්ධයන් හෝ මහ රෑබෝ වෙනකල් ගෙදර එන්නේ නැති එක ගැන පැමිණිලි කරන බිරිඳ, ඔය වගේ පහුගිය කාලේ බිහිවුණු එදාවේල ටුවර්ස් නාට්ටි කෑලිවල තිබ්බ මේ වාතවෙන පවුල කූඹියෝවල නෑ. ඒකත් බටහිර නිර්මාණවලට ආශක්ත වුණු තරුණ පරම්පරාව කැමති දෙයක්. ඔය පවුලේ ගැටුම් ඉවරයක් නැතිව උලුප්පලා පෙන්නන විකාර සහගත රැල්ල අපේ නිර්මාණ කලාවට ගෑවුණේ ඉන්දියානු පල්හෑලි ටෙලිනාට්‍යවලින් වෙන්න ඕන. ඒ වගේ නිතර ගැටුම් ඇතිවන ආතතිගත පවුල් සංස්ථාවන් දිහා කම්මුලේ අතගහගෙන බලන්න අපේ වැඩිහිටි පරම්පරාවේ සමහර උදවිය කැමති වුණත් තරැණ පරම්පරාවනම් කැමති නැති බව පැහැදිලියි.

තුන්වැනි කාරණාව මේකේ අපිට හම්බවෙන ජෝකර්. ඇත්තටම එහෙම ජෝකර් කෙනෙක් මේකේ නැහැ. කතාවට කිසිම අදාළත්වයක් නැති මෝඩ චූන් දෙබස් ටිකක් දාලා කතාව දික්ගස්සන්න භාවිත කරන ජෝකර් කෙනෙක් හැම නාට්‍යයකම ඉන්නවා. මේ ජෝකර් දැන් කල්ඉකුත්වෙලා කුණු ගඳ ගහන චරිතයක්. නමුත් කූඹියෝවල අපිට හම්බවෙන, අපිව හිනස්සන චරිතය එහෙම කතාව දික්ගස්සන්න භාවිත කරන, උඩින් පහත්වෙන චරිතයක් නෙමේ. ඔහු මේ නාට්‍යයේ ප්‍රධාන නළුවෙක් වෙන ප්‍රියන්ත මහඋල්පතගම. ප්‍රියන්තගේ චරිතය තමයි මේ නාට්‍යයේ ළබැඳියන් 80%කගේම හිත අමන්දානන්දයට පත්කරපු චරිතෙ. ජෝකරයෙක් නොවී අපිව හිනස්සනේ කොහොමද කියලා ඔහු අපිට පෙන්නුවා. 

හතරවැනි කරුණ වෙන්නේ අපිට කූඹියෝවල හම්බවෙන්නේ නෑ ලව් කරන තරුණ ජෝඩු. අනිත් ගොඩක් කතාවල ඉන්නවා, තමන්ගේ සම්බන්ධය අමාරුවෙන් පණ ඇද ඇද ගැටගහගෙන යන තරුණ ජෝඩු. කොණ්ඩේ පාට කරපු කෙල්ල. එයාගේ පස්සෙන් හැපි හැපි යන කොල්ලා. මුන් පාරවල් ගාණේ රණ්ඩු වෙමින්, ෆෝන් එකෙන් රණ්ඩු වෙමින්, කඩවල් ගාණේ තොඳොල් වෙමින් ගලාගෙන යන වාත ලව් එක අපිට කූඹියෝවල හම්බවෙන්නේ නෑ. කෙල්ල සහ කොල්ලා අතර තියෙන මේ ආත තිසහගත ලව් එක රැකගන්න ඔවුන් දෙදෙනා සහ උන් වටේ ඉන්න පිරිස ගහන ගේම අවුරුදු ගාණක් තිස්සේ බලලා අපි හෙම්බත්වෙලා ඉවරයි. ඒ වෙනුවට අපිට කූඹියෝ තලයේ හම්බවෙන්නේ පිරිමි දෙන්නෙක් අතරේ තියෙන සම්බන්ධයක්.

ඒ කිව්වේ සෙක්ස් කිරීමේ වුවමනාවෙන්, ළමයි හැදීමේ වුවමනාවෙන් ගොඩනැගුණු ආදර සම්බන්ධයක් නෙමේ. තමන්ගේ ජීවිතය ගැටගහගන්න, එකිනෙකා පෝෂණය කරගන්න, දැනුම ලබාගන්න ගොඩනැගෙන පිරිමි - පිරිමි පිරිසිදු මිත්‍රත්වයක්. ජෙහාන් සහ ප්‍රියන්ත අතර තියෙන මේ chemistry එක අපිව අර ගෑනු - පිරිමි ලව් කතා අස්සේ තිබ්බ හෙම්බත් වුණු ආතතිසහගත විකාරයෙන් මුදවනවා. කොල්ලො දෙන්නෙක් සෙට්වෙලා ජීවිතේ ගැටගහන්න දරන  උත්සාහයේ තියෙන ලස්සන. උන් දෙන්නා තමන් අතර වෙන මතභේද සමනය කරගන්නා ආකාරය කූඹින් තුළ අපිට මුණගැහෙනවා. එලෙසින්ම මේකේ පෙම්වතියක් විදිහට අපිට මුණගැහෙන යුරේනිත් ලංකාවේ නාට්‍යවල අපිට මුණගැහෙන සම්ප්‍රදායික පෙම්වතිය නෙමේ. ඇය ඊට එහා ගිය පෞරුෂයක් තියෙන, ධනාත්මක සහ සරාගී චරිතයක්. ඒක කොටට ඇඳලා ඇඟ පෙන්නලා ගන්න හදන සරාගීකමකුත් නෙමේ. 

අවසාන වශයෙන් කූඹියෝ ලොකුද?.. ඔව් මේ කූඹි ටික ලොකුයි. කතාව, රංගනය, අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය, ප්‍රචාරණය පැත්තෙන් පෙන්නුව ධනාත්මක දේවල් පැත්තකින් තිබ්බත් ලාංකික සබුද්ධික  ටෙලි රසිකත්වය ආපහු රෑපවාහිනිය ඉස්සරහ වාඩිකෙරෙව්ව එකනම් ලොකුම ලොකු වැඩක්. අපිට අන්තිමට කියන්න තියෙන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාරෙන් දෑස් අන්ධ කරගෙන දවස ගාණේ කතාව ලිය ලිය ටීවී එකේ පෙන්නන තැනට නම් වැටෙන්න එපා කියලයි. කූඹියෝ season 2  එකක් කරනවනම් හොඳට වෙලාව අරගෙන පරිස්සමට කරන්න. ජයවේවා!

► දසුන් සිල්වා 

 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00