2018 මාර්තු 31 වන සෙනසුරාදා

ග්ලයිපොසේට් තහනම ඉවත් කරීම වෛද්‍ය චන්න ජයසුමන කියන කතාව

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 496

ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සඳහා කැස කවන්නේ අමුතුවෙන් මතු වූ අලුත් පිරිසක් නොවන බවත් පසුගිය අවුරුදු 7 – 8 කාලය තුළ ඒ වෙනුවෙන් පෙනීසිටි පිරිසම බවත් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා කියයි. ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම පිළිබඳ මාධ්‍යවේදීන් පැන නැගි ප්‍රශ්න හමුවේ ඒ මහතා මෙසේද පැවසීය.

“කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා ග්ලයිපොසේට් නැවත භාවිත කරන්න ඕන කියලා. ඒකෙ හිතපු තරම් විසක් නැතිලු. මම දන්නේ නැහැ එතුමා 

පර්යේෂණයක් කරලද එහෙම කියන්නේ කියල. 2014 දෙසැම්බර් මාසේ මුල්වරට ග්ලයිපොසේට් කෘෂිකාර්මික වකුගඩු අසනීපෙ පැතිරෙන පළාත්වල තහනම් කළේ දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් පස්සේ. ඉන් පස්සේ 2015 මාර්තු මාසේ මුළු ලංකාවේම තහනම් කළා. එදා ඉඳන් අද දක්වා කරපු පර් යේෂණවලින් පෙනිලා ගිහිල්ල තියෙන්නේ තහනම නිවැරදියි. වකුගඩු ලෙඩ කරන්න මේ රසායනේ සම්බන්ධයක් තියෙනවම කියල. ඒ විතරක්ද ලෝක සෞඛ්‍ය සංවිධානය ග්ලයිපොසේට් 2A වර්ගයේ පිළිකාකාරකයක් විදිහට නම් කළා. චීනේ මේ ළඟදි කරපු පර්යේෂණයකින් පෙන්නලා තියෙනවා ග්ලයිපොසේට් කර්මාන්ත ශාලාවල වැඩ කරන අයගේ වකුගඩු නරක් වෙනවා කියලා. මේවා කියවල බලලා තේරුම්ගන්න සාමාන්‍ය පෙළවත් සමත්වෙලා තියෙන්න ඕන. මේ පිළිකාකාරකය, වකුගඩු විස ඕන කියලා කැබිනට් පත්‍රිකා දාන කැබිනට් ඇමැතිවරු ලබන්න මේ රටේ මිනිස්සු පුදුම වාසනාවන්තයි. ඒ විතරක් නම් බැරියැ. ඉරාන් වික්‍රමරත්න ඇමැතිතුමා පාර්ලිමේන්තුවේදි කියනවා මහාචාර්ය බුද්ධි මාරඹේ කියනවලු ග්ලයිපොසේට් නිසා වකුගඩු ලෙඩ හැදෙන්නේ නෑ කියල. නල්ල මරේ කෙනෙක් කියලා තියෙන්නේ. බුද්ධි මාරඹේ පෞද්ගලික කෘෂිරසායක කොම්පැනියක අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙක්.

ඊළඟට ග්ලයිපොසේට් ප්‍රශ්නයක් නෑ කියන්න ඇමරිකාවේ ඉඳන් කෙනෙක් ගෙනල්ල සුනිල් විමලවංස කියලා. ලංකාවේ ඉන්න බැරුව ඇමරිකාවට පැනලා ගිය අයෙක්. අපේ පර් යේෂණ පත්‍රිකාවල කරුණු හොරකම් කළ බවට චෝදනා එල්ලවුණා. ඇමරිකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් සල්ලි එකතු කළා වකුගඩු ලෙඩ්ඩුන්ට උදව් කරන්න කියල. කරපු දෙයක් නෑ. 

ඊළඟට ජාතික පර්යේෂණ සභාවේ පුවත්පත් සාකච්ඡාවක් තියල, ඒකෙ කියල තිබෙනවා කෘෂි රසායන වකුගඩු ලෙඩේට බලපානවා කියල හොයාගෙන නෑලු. කවුද කියන්නේ. නුවර ඉස්පිරිතාලේ වෛද්‍ය නිශාන්ත නානායක්කාරයි, 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිතුයි ග්ලයිපොසේට් ඕන කියන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මම පහුවෙනිදා නුවර ඉඳන් කොළඹ ඇවිත් මාධ්‍ය සාකච්ඡා තියන්න පුදුම අමාරුවක් තියෙන්න එපැයි. මේගොල්ලොන්ට ජාතික පර්යේෂණ සභාව මිලියන් 50 ක් දුන්න පර්යේෂණවලට කියලා. තවත් රාජ්‍ය ආයතනවලින් කෝටි ගාණක් දීල තියෙනවා. දැන් හෙව්වද ලෙඩේට හේතුව? කෘෂි රසායන බලපාන්නේ නෑ කියල කවුද හොයාගත්තේ? කවදද? මාධ්‍ය ඉස්සරහට ඇවිත් පට්ටපල් බොරු කියනවා. කෘෂිකාර්මික වකුගඩු රෝගය ගැන ලංකාවේ කරපු හැම වසංගතවේද පර් යේෂණයකින්ම තහවුරු වෙලා තියෙන්නේ කෘෂි රසායන ලෙඩේට බලපානවා කියල.

රෝගීන්ගේ වකුගඩු පටක යොදාගෙන අපි ළඟදි බෙල්ජියමේ කරපු පර්යේෂණයකින් තහවුරු කරගත්ත වල්නාශක ඍජුවම රෝගයට බලපානවා කියල. ලෝකයේ වකුගඩු විෂ ගැන ඉන්න අංක එකේ විද්වතා එක්ක ඒ පර්යේෂණ කළේ. ඒක තහවුරු කරලා පර් යේෂණ නමින් කෝටි ගණන් සල්ලි නාස්ති කිරිල්ල නවත්තන්න අපට ඕන වුණා. පරණ රෝගීන්ගේ වකුගඩු පටක පරීක්ෂාවට ලක් කරන්න. ඒ ගොඩක් අය මියගිහිල්ලා. ඔක්කොම පටක ගොඩගහගෙන ඉන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ. මේ කණ්ඩායම ඒක තමන්ට ලැබුණු දෑවැද්දක් කියලා හිතාගෙන ඉන්නේ. ඒ බෙල්ජියම් විද්වතා එක්ක අපි නුවරට ගිහින් මේ කණ්ඩායමට අපේ සොයාගැනීම ගැන කියල පරණ රෝගීන්ගේ පටක ටික බලන්න අවස්ථාවක් ඉල්ලුවා. ඔය නානායක්කාරයි චන්දජිතුයි එතන හිටියා. අපිට දුන්නේ නෑ. දැන් කොළඹ ඇවිත් බයිලා කියනවා. මම ඔය හැමෝටම කියනවා හොඳට මතක තියාගන්න ඔය දැඟලිලි හැමදාම බෑ. කකුළුවාගේ නැටිල්ල වතුර රත්වෙනකම් විතරයි. මේ පාර දඟලලා ග්ලයිපොසේට් තහනම ඉවත් කරගනී සමහර විට. ලෑස්තිවෙලා ඉන්න ඔය ඔක්කොම වැඩි කල් යන්න ඉස්සෙල්ල ගේනවා බලගතු කොමිසමක් ඉදිරියට. අපේ රටේ මිනිස්සු මරන්න, පොඩි ළමයි හිටන් වකුගඩු ලෙඩ්ඩු කරන්න, පිළිකා ලෙඩ්ඩු කරන්න උල්පන්දම් දීපු හැම කෙනාගේම අග ගිය මුල ගිය තැන් ඔක්කොම එළියට ගන්නවා. ඔය පර්යේෂණ සභාවල, සම්බන්ධීකරණ කාර්යාලවල දඟලන අයටත් එක්කයි කියන්නේ.