2018 මාර්තු 31 වන සෙනසුරාදා

රස්නෙ... ඉවසන්න බෑ

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 154

දැන් තියන රස්නෙත් එක්ක කිසිම වැඩක් කරගන්න බැහැ. උදේ, දවල්, රෑ කියලා වෙනසක් නෑ... පෝරණුවක් ඇතුලේ ඉන්නවා වගේ.

පොඩි අය ඉස්කෝලේ ගිහින් එන්නේ හරිම අමාරුවෙන්... රස්නෙත් එක්ක හරියට පාඩම් වැඩක් කරගන්නවත් බෑ කියනවා...

මාරම රස්නයක් මේ දවස්වල තියෙන්නේ මුළු ඇඟම පිච්චෙනවා වගේ දැනෙන්නේ...

මේ දිනවල දිවයිනට බලපා තිබෙන උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධව විවිධ පුද්ගලයන් විසින් දැක්වූ අදහස් කිහිපයකි ඒ. මිනිසුන්ට පමණක් නොව ගහකොළ සතා සීපාවන්ට පවා පවතින දේශගුණික තත්ත්වය දරාගත නොහැකි වන අතර වැඩිමනක් පිරිසගේ දෛනික ජල පරිභෝජනයද මේ වනවිට දෙගුණ තෙගුණ වී ඇත.

සාමාන්‍යයෙන් මාර්තු, අප්‍රේල් මාසවල උණුසුම් කාලගුණික තත්ත්වයක් පැවතුණ ද මෙම වසරේ දී එය වෙනත් වසරවලට වඩා වැඩි බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි. මේ වනවිට ද දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හී උෂ්ණත්වය පැවතිය යුතු සාමාන්‍ය අගයට වඩා අංශක කිහිපයකින් ඉහළ ගොස් තිබේ. උතුර, උතුරු මැද හා නැගෙනහිර පළාත්වලින් වැඩිම උෂ්ණත්වයක් වාර්තා වී ඇත.

මේ දිනවල පවතින උෂ්ණත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අප කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන අතුල කරුණානායක මහතා මෙසේ සඳහන් කළේය.

මේ දිනවල දිවයිනට බලපා තිබෙන්නේ අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය. මේ තත්ත්වය මාර්තු මාසයෙන් ආරම්භ වෙලා අප්‍රේල් මාසය වෙනකම්ම පවතිනවා. සාමාන්‍යයෙන් දිවයිනට බලපාන කාලගුණික රටා හතරක් තියනවා. ඉන් පළමු එක තමයි ඊසාන දිග මෝසම් කාලය. මෙය පවතින්නේ දෙසැම්බර් සිට පෙබරවාරි යන කාලය තුළ. ඊළඟට අන්තර් මෝසම් කාලය ඒත පවතින්නේ මාර්තු සිට අප්‍රේල් දක්වා. මැයිවල සිට සැත්තැම්බර් දක්වා තිබෙන්නේ නිරිතදිග මෝසම් කාලය. ඉන්පසු ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා අන්තර් මෝසම් කාල පරිච්ඡේදයක් පවතිනවා. මෙය දිවයිනේ සාමාන්‍යය කාලගුණික රටාව.

මෙම කාලගුණික තත්ත්වයන්වලදී ඊසාන දිග මෝසම් හා නිරිතදිග මෝසම් කාලයේ ද ලංකාවට සුළං හමන්නේ නිශ්චිත දිශාවලින්. එනම් ඊසානදිග මෝසම් කාලයේ ඊසාන දෙසින් ද, නිරිත දිග මෝසම් කාලයේ දී එම දිශාවෙන් ද වශයෙන්. දැන් අපි ඉන්නේ අන්තර් මෝසම් කාලයේ. මෙම කාල පරිච්ඡේදයේ දී දිවයිනේ සුළං හැමීමට නිශ්චිත දිශාවක් නෑ. මෙය විවිධ දිශාවලින් හැමිය හැකි අතර සුළඟේ වේගය ද ඉතා අඩුයි. මෙම කාලයේ දී සුර්යා ගමන් කරන්නේ සමකයට ආසන්නයෙන්.
පවතින අධික උෂ්ණත්වය නිසා ජාලාශවල ජලය රත්වී ඒවා වාෂ්පීකරණය වෙනවා. මේ නිසා වායුගෝලයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය වැඩියි. දිවයිනේ ඇති සුළගේ වේගය අඩු නිසා මෙම ජලවාෂ්ප වායුගෝලයෙන් ඉවත්වීමත් සිදුවෙන්නේ නෑ. එම නිසා දහඩිය දමන අවස්ථාවේ දී එම දහඩිය ඉක්මනින් වාෂ්පීභවනය වෙන්නේ නෑ. වායු ගෝලය ජල වාෂ්පවලින් පිරී තිබෙන නිසා. එම නිසා මෙම අවස්ථාවේ අධික උෂ්ණත්වයක් වශයෙන් අපිට දැනෙනවා.

නමුත් උෂ්ණත්වය වැඩිවීමට ඒ කියන්නේ මේ රස්නය වැඩිවීමට බලපාන්නේ මේ හේතු විතරක් නොවෙයි. තවත් හේතු බලපානවා. ඉන් එක හේතුවක් තමයි මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. මෙයට පෙර වසර 50කට 60කට පමණ පෙර තිබුණු පාරිසරික උෂ්ණත්වය සැලකිය යුතු වැඩිවීමක් වෙලා තිබෙන බවට විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ වගේම තමයි වර්තමානයේ මේ පවතින තත්ත්වය වෙනස් වීමට නම් වර්ෂාව ලැබෙන්න ඕන එසේ නොමැතිනම් සුළගේ වේගය වැඩි විය යුතුයි. මැයි මාසයේ මැද වෙද්දී නිරිතදිග මෝසම් වර්ෂාව ආරම්භ වීමක් සමඟ මේ තත්ත්වය මඟහැරෙයි කියලා අපි හිතනවා. ඒ වගේම විශේෂයෙන්ම කිවයුතුයි. මෙතනදී ගෝලීය උෂ්ණත්වයේ වෙනසක් සිදුවන්නේ නැහැ. මේ දිනවල පවතින අධික උණුසුම් ස්වභාවය පමණයි වෙනස් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය කේ.ආර්. අබේසිංහ මහතාගෙන් ද අපි විමසීමක් කළෙමු.

මැයි මාසයේ නිරිතදිග මෝසම් කාලය ආරම්භ වන තුරුම මෙම උෂ්ණත්වයේ වැඩි වීමක් තියෙන්න පුළුවන්. ඒ වගේම මේ දිනවල හමන සුළං ප්‍රමාණය අඩුවීමත් උෂ්ණත්වය වැඩිවීම කෙරෙහි බලපානවා. සාමාන්‍යයෙන් ලෝකයේ උත්තර අර්ධ ගෝලයේ හා දක්ෂිණ අර්ධගෝලයේ සුළං හමාගෙන එන්නේ නිරක්ෂය දෙසට. මෙම සුළං ප්‍රවාහ දෙක හඳුන්වන්නේ අන්තර් නිවර්තන අභිසාරි කලාපය ලෙසට මෙම කාල වකවානුව තුළ ශ්‍රී ලංකාවට ආසන්නව තමයි මෙම කලාපය පිහිටලා තියෙන්නේ. ඒ නිසා මේ කාලසීමාවේදී තියෙන්නේ මඳ සුළඟක් පමණයි. ඒ නිසා පරිසර උෂ්ණත්වය වැඩීවීමටත් වායුගෝලයට අධික ලෙස එකතු වූ ජලවාෂ්ප සුළග නැති නිසා ඉවත් වීමත් සිදුවන්නේ නැහැ. මෙම හේතුව නිසා තමයි අපිට තියන උෂ්ණත්වය වඩා වැඩි උෂ්ණත්වයක් ඇඟට දැනෙන්නේ. මේ තියන රස්නය එහෙම නැත්නම් උෂ්ණත්වය මැයි මාසේ මැද වෙද්දී අවසන් වෙනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව මේ දිනවල පවතින දැඩි උණුසුම නිසා පීඩාවට පත්ව සිටිති. එමෙන්ම මිනිසුන්ගේ එදිනෙදා කටයුතු සඳහා ද මේ වනවිට දැඩි උණුසුම බලපා ඇති අතර වෛද්‍යවරුන් පවසා සිටින්නේ මේ දිනවල හැකිතරම් විජලනයෙන් ආරක්ෂා වීමට හා අව්වෙන් පරිස්සම් වීමට කටයුතු කළ යුතු බවය.

 හසිත් අංජන

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00