♦ මස්-මාළු-බිත්තර මිල ගණන් ඉහළට
♦ සීනි මිලත් නංවන සැලැස්මක්
♦ වී ඒකාධිකාරය තවමත් එහෙමමයි
මේ වනවිට මුළු රටේම අවධානය යොමුවී තිබෙන්නේ දේශපාලන අර්බුද කෙරෙහිය. විශ්වාසභංග යෝජනාව, ව්‍යවස්ථා සංශෝධනය, පාර්ලිමේන්තු බලතුළනය ආදි මෙකී නොකී ගැටලු පිළිබඳ බොහෝ දෙනා කතාබහ කරනු දක්නට ඇත. ජනතාවගේ පමණක් නොව මැතිඇමැතිවරුන් සහ බලධරයන් උනන්දුව දක්වන්නේද රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවය. මේ වාතාවරණය තුළ ජනතාවගේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සහ සේවාවල මිල ක්‍රමයෙන් ඉහළ යාමට පටන්ගෙන ඇත. රට තුළ පවතින දේශපාලන සංවාද මෙලෙස මිල මට්ටම ඉහළ දමන අයට ආශිර්වාදයක් බවට පත්ව ඇත්තේ එය බොහෝ දෙනකුගේ අවධානයෙන් ගිලිහී ඇති බැවිනි. ඇතැම් දෙනා පැවසුවේ පළාත් මැතිවරණය අවසන් වන තෙක් බඩු මිල වැඩි නොකළ ද ඉන් අනතුරුව ඉක්මනින්ම මිල මට්ටම ඉහළ යනු ඇති බවය. ඉදිරියේදී ජනතාවට දරාගත නොහැකි වන තරමටම මිල ඉහළ යනු ඇතැයි සිතාගත හැකිය. එක් භාණ්ඩයක මිල වැඩි වූවිට දම්වැලක පුරුක් මෙන් එයට සම්බන්ධ භාණ්ඩ හා සේවා ගණනාවක මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ඇත. එයට හේතුව ඒ එකිනෙක අතර ඇති අන්තර් සම්බන්ධතාවයයි.
සහල්, පරිප්පු, සීනි ආදී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සීමාකර යම් පහළ මට්ටමක තබා ගැනීමට පසුගිය මැතිවරණයට පෙර බලධරයන් කටයුතු කළද මේ වනවිට එවැනි මිල සීමාවක් තිබෙන බවක් දක්නට නොමැත. ලංකා සතොස සහ සමූප වෙළෙඳසල්වල පවා සහල් මිල ඉහළ ගොස් ඇත. මේ වනවිට මුලින් තිබූ පාලන මිලට සහල් මිලට ගත හැකි නොවේ. පරිප්පු, සීනි ආදියේ මිල වැඩිවී ඇති බව ඒවා මිල ගැනීමට එම ස්ථානවලට ගියවිට අවබෝධ වේ.
එසේම කිරි පිටි මිලද ඉහළ ගොස් ඇත. ජීවන වියදම් කමිටුව කිරිපිටි කිලෝවක මිල රුපියල් අසූවකින් සහ ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 35කින් ද ඉහළ දැමීමට අනුමත කළ බව වාර්තා විය. ඒ ඇසිල්ලේම වාගේ වෙළෙඳපොළේ තිබූ කිරිපිටි වර්ග සඟවාගෙන රජයේ ගැසට් නිවේදනය ලැබෙනතුරු බලා සිටින්නට වෙළෙන්දෝ උත්සුක වූහ.
සීනි සාන්ද්‍රණය වැඩි පැණි බීම බෝතල් නිසා ජනතාවට රෝග ඇතිවීම පාලනය කිරීමට යැයි ඒවාට බදු ගැසීම නිසා සාමාන්‍ය කුඩාම ප්‍රමාණයේ බෝතලයක මිල රුපියල් 10කින් වැඩි වී තිබේ. සෙසු බෝතල් රුපියල් 30- 50 අතර ප්‍රමාණයකින් ඉහළ නංවා ඇත. පැණි බීම සමාගම් මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සීනි අඩුවෙන් නිෂ්පාදනය කරන බෝතල් විශේෂයක් හඳුන්වා දුන් අතර ඒවායේ කුඩාම බෝතලයක මිල රුපියල් 80ක් විය. මෙහිදීද රජයේ අනුග්‍රහයෙන් පාරිභෝගිකයා ගසා කෑමට ව්‍යපාරිකයන්ට හැකිව තිබේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් හේමක ප්‍රනාන්දු පවසන්නේ රජය මැතිවරණයෙන් පසු අත්‍යවශ්‍ය ආහාරවලට පනවා ඇති මිල සීමා ගැන නොසලකා හැර ඇති බවය.
“ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය පැරදීම නිසා ජනතාව ගැන කලකිරී එකට එක කිරීමක් කරනවාද කියලා සැක හිතෙනවා. ඒ වුණත් අපි නම් සහල් සහ සීනි ආණ්ඩුවේ උපරිම මිල සලකලා තමා අලෙවි කරන්නේ. එහෙත් රජය වැඩි මිලට විකිණීම පාලනය නොකරන්නේ නම් අපි තොග වශයෙන් අඩු මිලට දීම ප්‍රතිඵලයක් නැහැ. සීනිවල තොග මිල රුපියල් 97- 98 වුවත් සිල්ලර මිල අසාධාරණ ලෙස වැඩියි. සාමාන්‍ය ලාභයක් තබාගෙන කිලෝව රුපියල් 105 පමණ අලෙවි කළ හැකි වුණත් එහෙම වෙන්නේ නැහැ.”
සීනි මිල ඉදිරියේදී වැඩි කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව ඔහු අනාවරණය කරයි. දේශපාලන සම්බන්ධකම් ඇති ප්‍රබල ව්‍යාපාරිකයන් දෙදෙනෙක් පසුගිය ජනවාරි පෙබරවාරිවල සීනි ටොන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ආනයනය කර තිබේ. ජනතාවගේ පරිභෝජනය වන්නේ මසකට මේ. ටොන් 35කි. මෙම ගෙනා ප්‍රමාණය රටේ අවශ්‍යතාවයෙන් 1/3කට ආසන්නය. දැනට සීනි සඳහා ගෙවන බද්ද කිලෝවට රුපියල් 31කි. මේ අය ජීවන වියදම් කමිටුවට බලපෑම් කිරීමට පටන්ගෙන ඇත්තේ සීනිවලට බද්ද තවත් රුපියල් 6කින් වැඩි කරන ලෙසටයි. එවිට සීනි මිල ඉහළ යාම නිසා ඒ අයට මිල වැඩිකර විශාල මුදලක් උපයාගත හැකියි. එසේම ඇතැම්විට ලෝක වෙළෙඳපොළේ සීනි මිල නුදුරේදී අඩුවීම පිළිබඳ සැකයක්ද තිබේ. එසේ වුවහොත් ඔවුන්ට විශාල පාඩුවක් සිදුවිය හැකි නිසා මෙලෙස බදු වැඩි කිරීමට ඉල්ලා ඇත. වියදම් කමිටුවේදී අප පැවසුවේ තවත් බදු අසාමාන්‍ය ලෙස ඉහළ දැමීම අසාධාරණ බවයි. ජාත්‍යන්තර මිල අඩුවුවහොත් එම වාසිය පාරිභෝගිකයාට දිය යුතු යැයි පැවසූ බවද ඔහු කියයි.
“එසේ වුවද ජීවන වියදම් කමිටුව නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයෙක් මෙම බදු ඉහළ නැංවීමේ යෝජනාවට කැමැත්ත පළ කළා. අප සහ තවත් අයගේ විරෝධය මත අවසානයට තීරණය කර ඇත්තේ සිංහල අවුරුදු උත්සවයෙන් පසු බද්ද වැඩි කිරීමටයි. එසේ සිදුවුවහොත් අනිවාර්යයෙන්ම මේ මස අවසානයට පෙර මිල ඉහළ යාම නොවැළැක්විය හැකියි.”
සහතික මිලට වී මිලට ගැනීම තවම සිදුව නැති නිසා අනාගතයේදී සහල් මිල ඉහළ යනු ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයෝ පවසති. දිස්ත්‍රික්ක 10ක වී වගාකළ ගොවීන්ගේ අස්වනු මේවනවිට ලැබෙමින් තිබෙන නමුත් ඒවා මිලට ගැනීමට රජය තවමත් අපොහොසත් වී ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි. මෙයට පෙර රජය නිවේදනය කළේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා හිස්කර අස්වනු කැපුණු වහාම නාඩු කිලෝව රුපියල් 38ට සහ සම්බා කිලෝව රුපියල් 41ට මිලට ගැනීමට සූදානම් කර ඇති බවය. එහෙත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න පවසන්නේ මේවා රජයේ මාධ්‍ය සන්දර්ශන පමණක් වන අතර, වෙළෙඳපොළට පැමිණෙන වී කලින් වසරවල මෙන් මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනකු ඒකාධිකාරයක් පවත්වාගෙන මිලට ගනිමින් සිටින බවය.
මේ නිසා වී කිලෝවක ගැනුම් මිල රුපියල් 32 දක්වා පහත වැටී තිබෙන අතර, ඉදිරියේදී තවදුරටත් පහළ වැටීමෙන් ගොවියන් විශාල අසාධාරණයකට ලක්වනවා හැර ඉදිරියේදී සහල් මිල ඉහළ යාමෙන් මේ වසරේ මෙන් සහල් පිටරටින් ගෙන්වීමට රජයට සිදුවිය හැකි බවද ඔහු කියයි.
මස්, මාළු සහ බිත්තර මිලද ඉහළ යමින් පවතී. කෙසේ වුවත් උත්සව අවස්ථා ආසන්නයේදී මෙම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම කවදත් සිදුවන දෙයකි. එහෙත් රජය කල්තියා මෙම මිල ගණන් පාලනය කිරීමට කිසිදු විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවක් දැකගත නොහැකිය. මේ වනවිට වෙළෙඳපොළේ කුකුළු මස් කිලෝව රුපියල් 500 සීමාවට පැමිණ ඇත. මෙයට පෙර රජය මැදිහත් වී කුකුල් මස් මිල පාලනය කළද කුකුළු ගොවීන් එම මිලට මස් සැපයිය නොහැකි බව ප්‍රකාශ කිරීම නිසා එම පාලන මිල ඉවත් කිරීමට සිදුවිය. ඒ නිසා මෙම උත්සව සමයේ උපරිම මිලක් පැනවීමට ඉඩ නොමැති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මිල ඉහළ යාමට පටන් ගැනීම නිසා පාරිභෝගිකයාට අසාධාරණයක් වී තිබේ.
මාළු මිල ඉහළ යාමට පටන් ගෙන ඇති අතර මේ වනවිට විවෘත වෙළෙඳපොළේ තලපත් කිලෝව රුපියල් 1100ක් සහ කෙලවල්ලා කිලෝව රුපියල් 1200 ඉක්මවා ගොස් ඇත. තෝර මාළු සැපයීමද අඩුව ඇති අතර තෝර මාළු කිලෝව රුපියල් 2000 ඉක්මවා වැඩි වී තිබේ. පෑලියගොඩ වෙළෙඳ සංකීර්ණයේ තොග වෙළෙඳුන් පවසන්නේ ආනයනය කරන මාළු මිල මේ දිනවල වැඩි වී ඇති අතර එයට සමගාමීව දේශීය මත්ස්‍ය මිල ගණන් ද වැඩි කිරීමට තොග වෙළෙඳුන් ක්‍රියා කරන බවයි. එම තත්ත්වය නිසා මත්ස්‍ය මිල ගණන් ඉහළ යාම වැළැක්විය නොහැකි අතර කුඩා මත්ස්‍ය මිල ගණන්වල එතරම් වෙනසක් නොවන බව කියයි.
ජනතාව කෑලි මාළුවලට දක්වන කැමැත්ත අඩුකර ඒ වෙනුවට කුඩා මසුන් පාරිභෝජනයට පුරුදු වෙතොත් අඩු මිලට පෝෂ්‍ය ගුණයෙන් ඉහළ මසුන් ලබාගැනීමට හැකිවන බවද ඔහු පැවසීය.
ආනයනික අල සඳහා පසුගිය පෙබරවාරි 24 දා සිට බදු ඉහළ දැමීමක් සිදුවිය. ආනයන අල සඳහා කිලෝවකට රුපියල් එකක්ව පැවැති බද්ද කිලෝවකට රුපියල් 30 දක්වා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ. මෙම බදු ඉහළ යාම කල්තබා දැනගත් සමහර ආනයනකරුවන් 24 වැනිදාට පසු ලැබුණු තොගවලටද වැඩි කළ බද්ද නොගෙවා රුපියලේ බද්ද පමණක් ගෙවූ බවද වාර්තා විය. කෙසේ නමුත් ඒ වන විට තිබුණු තොග පවා බද්ද හේතුවෙන් වැඩිකර ඇති අතර මේ වන විට අර්තාපල් කිලෝව රුපියල් 100 ඉක්මවා ගොස් තිබේ.
මේ අතර පසුගියදා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 30කින් වැඩි කෙරුණි. එහෙත් මෙහි අසාධාරණය වන්නේ සිමෙන්ති ව්‍යාපාරිකයන්ගෙන් එක්තරා කොටසකට පමණක් මෙලෙස මිල ඉහළ දැමීමය. කිලෝ 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරන සිමෙන්තිවලට පමණක් සියයට 14ක සෙස් බද්දක් පනවා ඇති අතර, කිලෝ 50ට හා ඊට වැඩි සිමෙන්තිවලට බලපාන්නේ මුලින් තිබූ සියයට 8 සෙස් බද්ද පමණකි. මෙරට සිමෙන්ති අලෙවියෙන් සියයට 70 ක් පවතින්නේ මහා පරිමාණ ආනයනකරැවන් කිහිපදෙනකු අතය. මේ නිසා සිදුවන්නේ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට වෙළෙඳපොළට මුහුණදීමට නොහැකිව ඉවත් වී යාම බව එම ව්‍යාපාරිකයෝ පවසති. එයින් පාරිභෝගිකයාට සිදුවන අසාධාරණය වන්නේ මෙම රුපියල් 30 මිල වැඩිවීම දඩමීමා කරගෙන වෙළෙඳපොළේ සිමෙන්තිවල මිල ඉහළ යාමය.
පසුගිය සතියේ සිට ත්‍රීරෝද රථවල අවම ගාස්තුව 2 වැනි සැතපුමේ සිට රුපියල් 10 බැගින් වැඩි විය. එසේම ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය තීරණය කර ඇත්තේ දැනට සවිකර ඇති මීටර් ගලවා දමා පොරොන්දු ගාස්තු මත රථ ධාවනය කිරීමටය. ත්‍රීරෝද රථවල අමතර කොටස්වල මිල සියයට 150කින් ඉහළ යාම හා නඩත්තු වියදම් ඉහළ යාම මෙයට හේතුව බව ස්වයංරැකියා ජාතික ත්‍රීරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන කියයි. ත්‍රීරෝද රථ නියාමනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බව ආණ්ඩුව මෙයට පෙර පැවසුවද එය ඉටුනොවීම නිසා පාරිභෝගිකයෝ ත්‍රීරෝද රියැදුරන්ගේ ගසාකෑම්වලට නිරතුරුව ලක්වෙති.
මේ අතර පසුගිය සතියේ දී ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්දියානු ඔයිල් සමාගමට රජය අවසර දී තිබේ. ඒ අනුව පෙට්‍රල් ලීටරය රුපියල් 9කින් සහ ඩීසල් ලීටරය රුපියල් 5කින් වැඩිකර ඇත. සමාගම පවසා ඇත්තේ ඉන්ධන බැරලය ලෝක වෙළෙඳපොළේ ඩොලර් 55 සිට 65 දක්වා වැඩි වී ඇති අතර දැනට ඛනිජ තෙල් වෙළෙඳාමෙන් සමාගම ලබන පාඩුව අවම කිරීමට මෙම ඉහළ දැමීම සිදුකළ බවයි.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ මුලින්ම ඉන්දියානු සමාගමට මිල ඉහළ දැමීමට අවසර දී දෙවනුව ආණ්ඩුව සංස්ථාවේ ඉන්ධන මිලද ඉහළ දැමීමේ සැලසුමකට යොමුව ඇති බවය. ඉදිරි දින කිහිපය තුළදී එයට සාපේක්ෂව මිල වැඩිවනු ඇතැයි ඔහු අනතුරු හඟවයි. මිල සූත්‍රයක් ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව ඔහු කියයි.
යම් විදියකින් සංස්ථාව ඉන්ධන මිල ඉහළ නැංවුවහොත් ඒ අනුසාරයෙන් ප්‍රවාහන ගාස්තු පමණක් නොව සෑම පාරිභෝගික භාණ්ඩයකම මිල ඉහළ යන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. එයට හේතුව සෑම භාණ්ඩයක් හා සේවාවක්ම ඉන්ධන සමඟ බැඳී පැවතීමයි.
ඉන්ධන මිල ඉහළ යාම නිසා පෞද්ගලික බස් කර්මාන්තය අලාභ ලබන තත්ත්වයට පත්ව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියයි. විශේෂයෙන් කෙටිදුර ධාවනය වන බස් දැඩි පීඩාවකට පත්ව ඇත. කොළඹ නගරයේ ඉන්ධන හල්වලින් ඉන්ධන පිරවීමට ඇති පහසුකම්වලින් සමන්විත වන්නේ ඉන්දියානු සමාගමේ පිරවුම්හල් පමණක් බව ඔහු කියයි. බස් රථවල අමතර කොටස්, ටයර්, බැටරි ආදිය මෙන්ම සියලු පිරිවැය මේ වන විට ඉහළ නැඟ ඇති අතර සංස්ථාව යම් විදියකින් ඉන්ධන මිල වැඩි කළහොත් බස් රථ ගෙදර නවතා ගාස්තු අඩු කිරීම සඳහා සටන් කිරීමට සිදුවන බව ඔහු කියයි.
රුපියලේ විදේශ අගය අවප්‍රමාණ වීම සහ ජපානයෙන් සහ ස්ටර්ලින් පවුම් ආදී විදේශ මුදල් ඒකකවල අගය ඉහළ යාම නිසා මේ වන විට වාහන මිල පාලනය කරගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජිත් පීරිස් පවසයි. සුසුකි වැගන් ආර් ඇතුළු රජයේ බදු සහන ලැබූ වාහනවල මිල ගණන් පෙර පැවැති මිලට හෝ ඊටත් වඩා ඉහළ ගොස් ඇති බව ඔහු පවසයි. වැගන් ආර් රථයක් මේ වන විට රුපියල් ලක්ෂ 33 සිට 35 දක්වා මිල ඉහළ ගොස් ඇති අතර සෙසු වාහන ඊට සාපේක්ෂව මිල වැඩි වී ඇති බව ඔහු කියයි. දිගින් දිගටම විනිමය අනුපාත ඉහළ ගියහොත් අනාගතයේදී මිල තවත් ඉහළ යනු ඇත.
♦ යසවර්ධන රුද්රිගු