රතුලූනු යනු ලොව ඇති රසයෙන් ගුණයෙන් පිරි පැරැණිම ඖෂධ ආහාරයකි. ආයුර්වේදයට අනුව රතුලූනු හඳුන්වනු ලබන්නේ. “කේත පලාණ්ඩු” නමිනි. එය මධුර රසයෙන් යුක්ත වන අතර වාත රෝග නස්නා ඖෂධයකි. රතුලූනුවල මධුර රසය සෙම වඩයි. උෂ්ණාධික ගතිය හේතුවෙන් ශරීරයේ පිත රෝග වැඩිකරයි. රතුලූනුවල මධුර රසයෙන් සෙම වැඩිකළ ද එහි තීක්ෂණ ගුණය හේතුවෙන් සෙම්ප්‍රතිශ්‍යාව සහ පීනස් රෝගීන්ට ඉතා ගුණදායක ඖෂධයක් ලෙස හැඳින්විය හැක. සොටු දියර නාසයෙන් පිටවී කිවිසුම් යන පීනස් රෝගීන්ට රතුලූනු ඉතා ගුණදායක වේ. ඇදුම රෝගයටද රතුලූනු ඉතා ගුණදායක වන අතර ශ්වසන හා ප්‍රදාහ තත්ත්වයන් සඳහා රතුලූනු ඉතා ප්‍රයෝජනවත් ඖෂධයකි.එමෙන්ම වරින්වර ඇති වෛරස් උණ රෝගීන්ට ද රතුලූනු ඉතා ගුණදායක වන අතර රතුලූනු ටිකක් කපා එය වතුර බඳුනකට දමා එම වතුර බඳුන නිදාගන්නා තැන අසල තැබීමෙන් මෙම රෝගය ඉතා ඉක්මණින් සුවපත් කරගැනීමට උදවු කෙරේ. එහිදී වාතයේ ඇති විෂබීජ රතුලූනුවලට උරාගනී.
බොහෝ විට රතුලූනු අඩංගු පෝෂණගුණය ශරීරයට ලැබෙනුයේ අමුවෙන් ආහාරයට ගත් විටය. එය සීයයට අසූ දෙකක ප්‍රතිශතයකි. ආහාර පිසීමේදී රතුලූනුවල ඇති ගුණයන් බොහෝමයක් විනාශ වී යයි. මේ නිසා පෝෂණය ලබාගැනීමට රතුලූනු අමුවෙන් ආහාරයට එක්කරගන්න. රතුලූනුවල අඩංගු සල්ෆර් සහ ෆේලේමනොයිඩ් ආහාර පිසීමේදී විනාශ වී යයි.
වෛරස් ආසාදන සඳහා මීපැණි සහ රතුලූනු ඉතා ගුණදායක ඖෂධයකි. හිසරදයක් ඇති වූවිට යුෂ හෝ කපාගත් රතුලූනු නළලේ ආලේප කිරීමෙන් වේදනාව සමනය කර ගැනීමට පුළුවනි. කටහඬ වෙනස් වීම, උගුර බැරැන්ඩි වීම ඇති වූ විට රතුලූනු යුෂ මීපැණි සමඟ ගැනීම ද, දත් කැක්කුමට රතුලූනු සපා කෑමෙන්ද ඉතා ඉක්මණින් එම රෝගයත් සමනය කර ගතහැක.
කෙස්වලට රතුලූනුවලින් ලැබෙන්නේ ඉතා වටිනා සත්කාරයෙකි. අකලට හිසකෙස් පැසීම, හිසකෙස් වැටීම ආදියට ගුණදායක ප්‍රතිඵල අත්විඳිය හැක. හිසට ගල්වන තෙල් බොහෝමයක රතුලූනු අඩංගු වේ. එමෙන්ම පොල්තෙල්වලට රතුලූනු දමා හින්දවීමෙන්ද ඉතා ගුණදායක හිසට ගල්වන තෙලක් නිෂ්පාදනය කරගත හැක.
නවීන පර්යේෂණයකට අනුව අධික රුධිර පීඩනයට සහ කොලෙස්ටරෝල් පාලනය කරගැනීමට රතුලූනුවලින් ඉතා වටිනා කාර්යයභාර්යක් සිදුවේ. හෘද රෝග වළක්වාලීම සඳහා ඉතා ගුණදායි ඔසුවක් වන මෙය හදවතට අහිතකර කොලොස්ටරෝල් (LDL) අඩුකර හිතකර කොලොස්ටරෝල් (HDL) වැඩිකර ගැනීමට උදව් කරයි.
වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ට ද ඉතා ගුණදායක ආහාරයකි. පණුරෝග සෑදුණු විට රතුලූනු කපා වතුර භාජනයකට දමා රැයක් තබා පසුදින උදෑසන මීපැණි ස්වල්පයක් එයට එක්කර උදේට බීමට දීම පණු රෝගවලට ඉතා සාර්ථක ප්‍රතිකාරයකි. ආහාර ගැනීමට කැමැත්තක් නැති දරුවන්ට ආහාරවේලට වැඩිපුර රතුලූනු එක්කිරීමෙන් ආහාර රුචිය ද වර්ධනය වේ.
සමේ ඇති වන විවිධාකාර චර්ම රෝගවලට මෙන්ම කැසීම්, රතුගෙඩි, සැරව ගෙඩි, ලේ දූෂණය වීමෙන් ඇතිවන බිබිලි සඳහා රතුලූනු ගුණදායක වේ. කුරුලෑ ඇතිවීම වැළැක්වීම රතුලූනු උදව් කෙරේ. මුත්‍රා හොඳින් පිටකිරීමට මෙන්ම විවිධ මුත්‍රා රෝගවලට මෙන්ම ආහාර මාර්ගයේ හටගන්නා විවිධ රෝගාබාධවලට රතුලූනු ගුණදායක වේ. ක්ෂය රෝගයට මෙන්ම ගලපටල රෝගයට ඉතා ගුණදායක මෙන්ම බඩපිපුම, උදරයට දැනෙනා අපහසුතාවයන් ද රතුලූනුවලින් වළකාලයි.
පිළිකා වැළැක්වීමේ ප්‍රතිඔක්සිකාරක ඉහළ ප්‍රතිශක්තියක් ඇති නිසා ශරීරයේ හටගන්නා නොයෙකුත් පිළිකා කාරක ද්‍රව්‍යවලට විරැද්ධව ක්‍රියා කරයි. එසේම පිළිකා බවට පත්විය හැකි ගෙඩි වර්ධනය වීම වළකාලයි.
කාන්තාවන්ගේ ආර්තවහරණයෙන් පසුව ඇතිවන ඔස්ටියෝපොරෝසීස් රෝග තත්ත්වය සඳහා රතුලූනු ඉතා ගුණදායක ඔසුවකි. එමෙන්ම ආර්තවහරණයෙන් පසුව රතුලූනු වැඩිපුර ගැනීමෙන් කොලොස්ටරෝල් වැඩිවීම සියයට විස්සකින් අඩුකර ගත හැකිය. දරැඵල පමාවීම සහ වඳභාවය ඇති විට රතුලූනු ඉතා හොඳ ඔසුවකි. රතුලූනු පලා වතුරට දමා කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම බීමෙන් ලිංගික උත්තේජනය ඇතිකරන බවද සොයාගෙන ඇත. දියවැඩියාව රෝගීන්ට වියළන ලද රතුලූනු උණුවතුරට දමා විනාඩි විස්සක් තබා බීම දියවැඩියා රෝගයට ඉතා ගුණදායකය.
මේ අනුව බැලූකළ රතුලූනු ඉතා රසවත් ආහාරයක් වන අතර බොහෝ රෝග සඳහා ගුණදායක ඉතා වටිනා ඖෂධයක් ද වේ.
විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරුණෑගල ආයුර්වේද රෝහල