2018 මාර්තු 31 වන සෙනසුරාදා

ලිංගිකත්වය සහ ලිංගික සෞඛ්‍යය

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 558

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චිගේ අභිනව ග්‍රන්ථය “ලිංගිකත්වය හා සෞඛ්‍යය” ලෙස එළි දැක තිබේ. ඔහු මේ ග්‍රන්ථය මගින් විශේෂයෙන් ප්‍රජනන සෞඛ්‍යය හා ප්‍රජනක පද්ධතිය පිළිබඳ විෂයානුබද්ධ පැහැදිලි කිරීමක් සහිතව, ප්‍රජාව කෙරේ බලපාන ලිංගික විද්‍යාව ආශ්‍රිත ප්‍රායෝගික දැනුම ද සපයයි. ග්‍රන්ථයේ පටුනෙහි විද්‍යමාන පරිච්ඡේද නාමාවලිය කියවන්නෙකුට හැඟෙන්නේ තමා ලිංගිකත්වයට අදාළ පරිපූර්ණ මූලාශ්‍රයක් ඇසුරු කරන බවය. සාමාන්‍ය ලිංගික ක්‍රියාවලිය මෙන්ම ඊට උපයෝගි වන අවයව පිළිබඳ ක්‍රියාවලිය මේ ග්‍රන්ථයෙන් රූපසටහන් ද සහිතව විස්තර කර තිබීම අතිශයින් ප්‍රයෝජනවත් වේ. එමතුදු නොව ලිංගිකත්වය පිළිබඳ මේ ජනප්‍රිය සමාජයෙහි ගොඩනැගී ඇති මිථ්‍යා ආකල්පද මෙමගින් විවරණයට ලක්වෙයි.

විද්‍යාවේ ප්‍රායෝගික භාවිතය පිළිබඳ පොදු දැනුමක් ව්‍යාප්ත වන මෙකල ලිංගික විද්‍යාව පිළිබඳව පොදු ප්‍රජාව දන්නේ ඉතා අල්පයක් බව ලිංගිකත්වයේ මානුෂික භාවිතයට අදාළව ප්‍රවීණ ලේඛක ඩී.එච්. ලෝරන්ස් සිය Love and Life ග්‍රන්ථයේ පවසයි. වෛද්‍ය ශාන්තද එය යළි අවධාරණය කරයි. තවමත් ස්ථිර විසඳුම් නොලැබුණු ගැටලුවක් ලෙස ලිංගිකත්වය පිළිබඳ උපදේශනය දැක්විය හැකි බව වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි සිය ග්‍රන්ථයේ මාතෘකා කීපයකදීම අවධාරණය කරයි. යොවුන් පිරිසට නියමිත පරිදි ලිංගිකත්ව උපදේශන නොලැබෙන්නා සේම මාතෘත්වයට සූදානම් වන තරුණියන් හට සේම ගැබිණි මව්වරුනට ද දරුවන් ලැබුණු අභිනව මව්වරැනට ද එය හරිහැටි නොලැබෙන බව ග්‍රන්ථය කියවද්දී තදින් දැනේ. අපේ සමාජය, මේ වනවිට සාක්ෂරතාව අතින් ඉහළ ඇතැයි ඇතැම් සංඛ්‍යා ලේඛන මගින් පෙන්වුවද ගැඹුරු හා පරිණත විෂය දැනුමින් බොහෝ ඈතක වෙසෙන බව මගේ දැක්මයි. පෙරදිග ජනයාට, ලිංගික විද්‍යාව හා ලිංගිකත්වය පිළිබඳ ආධ්‍යාත්මික සාහිත්‍යයක් උරුමය. විශේෂයෙන් ක්‍රිස්තු වර්ෂ 4 හි පටන් උදාවූ ඉන්දීය ගුප්ත රජවරැන්ගේ යුගයේහි ලියැවුණු වාත්ස්‍යායන ඍෂිවරයාගේ කාමසූත්‍රය එබන්දකි. එහි නොයෙක් ස්ථානවල ලිංගිකත්වයේ ප්‍රායෝගික අංශයත්, ලිංගික උත්කර්ෂණය සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් සේම ඖෂධත් දැක්වේ. ලිංගික බෙලහීනතාව සඳහා අතිශ්‍ය ඵලදායක ඖෂධවේදයක් ගැන කාම සූත්‍රයේ සඳහන් වේ. එමතුදු නොවේ. ලිංගිකත්වය හා බද්ධ වූ තුලනාත්මක සමාජ ජීවිතය ද ලලිත කලා සම්ප්‍රදායක් ද පුරාණ භාරතයේත්, තිබ්බතයේ, චීනය හා ජපානය, ලාඕසය වැනි රටවලත් තිබී ඇත. ලිංගිකත්වය භෞතිකව පමණක් නොසැලකූ පුරාණ විද්වතුන් එය අධ්‍යාත්මය සමඟ ද සම්බන්ධ කළ සැටි කජුරාහෝ හා කොණාරක් වැනි දෙවොල් සාක්ෂි දරයි.

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චිගේ ලිංගිකත්වය හා සෞඛ්‍යය මේ යුගයේ තරුණ පිරිස් අත්පොතක් සේ පරිශීලනය කළයුතු අතිශ්‍ය ප්‍රායෝගික ග්‍රන්ථයකි යනු මගේ හැඟීමය.

මහාචාර්ය සාලිය කුලරත්න
පේරාදෙණිය විශ්වවිද්‍යාලය