2018 මාර්තු 31 වන සෙනසුරාදා

ජයලලිතාගේ පාඩම

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

‟තමිල්නාඩු මහ ඇමැතිනිය ඉරිදා සවස ගාලු මුවදොරදී මෙරට ජනතාව අමතනු ඇත 

මේ කලකට ඉහත ලංකාවේ සිංහල පත්තරයක පළවෙච්ච නිව්ස් එකක්. ඔය ඇවිල්ලා යුද්දෙත් ඉවර වෙලා, තමිල්නාඩුවෙන් අපේ රටට හොඳටම බර බරේ දාන්න ගත්ත කාලේ. ඉතින් ජයලලිතාට ලංකාවට ඇවිල්ලා ජනතාව අමතන්න තියා, මෙහෙ එන්න වීසාවත් දෙයි කියලා හිතන්න පුළුවන් කාලයක් නෙමේ. හැබැයි ලංකාවේ ජාතික පත්තරේක මුල් පිටුවේ පොල් ගෙඩි අකුරින් ඔය නිව්ස් එක පළ කරලා තිබුණා. 

ජයලලිතා මෙහේ ඇවිත් මොනවා කරයිද කියලා අපේ කට්ටිය (දේශයේ කට්ටිය නොවේ) තර්ක විතර්ක කරන්නත් පටන් ගත්තා. එකෙක් මෙන්න මෙහෙම කිව්වා... ‟ඔය ගෑනි මෙහෙට එන්නෙ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට අනුව. බැන්කි මූන් තමා ගෑනිව එවනවා ඇත්තේ. 

‟ආණ්ඩුව මොන එහෙකට ඔය ගෑනිට එන්න දුන්න ද මම දන්නෑ. මුන් ඔක්කොටම පිස්සු” ඒ තව එකෙක්ගෙ අදහස. 

‟උඹලට මතක නැද්ද ඔය ගෑනි ඉස්සර කොටින්ට විරුද්ධව කෑගැහුවා. මම හිතන්නේ මේ පාරත් ඇවිල්ලා කොටින්ට විරුද්ධව කෑගහලා යාවි

ඔය විදිහට එක එක අය එක එක මත පළකරන්න ගත්තා. ඇත්තටම මේ කාරණේ ලොකු කුතුහලයක් මවලයි තිබ්බේ. 

අපේ එකෙක් විදේශ කටයුතු අමාත්‍යංශෙ දන්න කියන නිලධාරියෙක්ටත් කෝල් කළා. 

‟මිස්ටර් එක්ස්, ඇත්තද මේ ජයලලිතා ජයරාම් මහ ඇමැතිනිය ලංකාවට එනවා කියන්නෙ?

අපිත් දැන් කට ඇරන් ඌ දිහා බලන් ඉන්නවා. අපේ එකාගේ මූණෙ තාම ලියවිලා තියෙන්නෙ ප්‍රශ්නකාරී බවක්.

‟ආ හරි මිස්ටර් එක්ස්. මම තව ටිකක් හොයලා බලන්නම් 

‟පොර දන්නෙත් නෑ මචං. මාර වැඩක්නෙ මේක. ගෑනි හොරෙන් එනවද දන්නෙත් නෑ. කොහොමද මේක හොයාගන්නෙ. අනික මේක මුන්ට විතරක් වැටිච්ච එක්ස්කූලූසිව් නිව්ස් එකක් නම් අපිටත් කේස්! 

මේ අතර තවත් එකෙක් අන්තර්ජාලය අවුස්සමින් ජයලලිතා ලබන ඉරිදා කරන්නේ මොකක්දැයි හොයන්න උත්සාහ කරමින් හිටියා. මිනිත්තු දහයක් පහළොවක් තිස්සේ අන්තර්ජාලය පීරැවත් ඌටත් මුකුත් ලැබිලා තිබුණේ නැහැ. 

‟මොකෝ මේ කට්ටිය උදේ පාන්දරම උනන්දුවෙන් වැඩට බැහැලා...” ප්‍රවෘත්ති කර්තෘතුමා එතැනට ආවේ එතකොටයි. 

‟නැහැ අයියේ මේ..  මේ.. ජය.. ලලි.. තා... 

‟ඔව් ඔව් කියපන් ගොතගහන්නෙ නැතුව”

‟නෑ මේ ජයලලිතා ලංකාවට එනවලු.. අපිට නිව්ස් එක මිස් වෙලා

ඒක කියලා ඉවරවෙනවාත් එක්කම ප්‍රවෘත්ති කර්තෘතුමා මහ හයියෙන් හිනා වෙන්න ගත්තා.

අපි කට ඇරන් බලා හිටියේ මේ මොකක්ද මේ වෙන්නෙ කියලයි. 

‟අනේ යකෝ තොපිලා වගේ බූරුවෝ ටිකක්. මුලින්ම බලපන් පත්තරේ දිනේ කවද්ද කියලා 

කට්ටියම පටස් ගාලා මුල් පිටුවේ උඩින්ම තිබුණු දිනය දිහාවට එබුණා. 

‟2012 අප්‍රේල් 01 

කට්ටියටම වැඩේ තේරුණේ එතකොටයි. 

අප්‍රේල් පළවෙනිදා කියන්නේ එකිනෙකාව අන්දන්න, පොඩි විහිළුවක් කරන්න තියාගෙන ඉන්න දවසක්. මේ මෝඩයාගේ දවස සමරන්නේ අපේ රටේ විතරකුත් නෙමේ. ඇත්තටම මෝඩයාගේ දවස කියන සංකල්පය බටහිරින් ආපු එකක් බවටයි කියවෙන්නෙ. එදාට යාළු මිත්‍රයෝ, කාර්යාල සගයෝ එකිනෙකාට පොඩි පොඩි විහිළු තහළු කරගත්තට ජාතික පත්තරේක මෙහෙම විහිළු කරනවා, එහෙම කරන්න පුළුවන් කියලා ඉගෙන ගත්තේ එදායි. 

ඇත්තටම ඒක හරි අපූරු නිර්මාණාත්මක වැඩක්. කාටවත් ලොකු හානියක් නැති පුංචි විහිළුවක් කියන්නේ හැමෝගෙම දවස සතුටු කරවන කාරණයක්. අපිට වුණත් ජයලලිතා ලංකාවට ඇවිත් ජනතාව අමතන්න යනවා කියලා ඇන්දිච්ච ඒ දවස මතක් කරද්දි අදටත් හිනා යනවා. ඒ විදිහට අපේ මෝඩකම්වලට, ගොන්කම්වලට අපිටම හිනාවෙන්න පුළුවන් නම් ජීවිතේ සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් වේවි. හැබැයි විහිළුවේ සීමාව මොකක්ද කියලා තේරැම් ගන්නත් ඕනෙ. මොකද විහිළු කරන්න ගිහින් රජකමත් නැතිවෙච්ච යසලාලක තිස්ස ගැනත් අමතක කරන්න බෑ.

► ජා