අපේ රටේ සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකය ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේ රාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරැය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනකු සමඟ කළ සංවාදයක සටහන් පෙළේ දහසය වැන්නයි. මෙවරද අපේ කථා නායිකාව වන්නේ නිහතමානී වෑකඩගෙදර නම් වූ ඒ කාන්තා සංචාරක මාර්ගෝපදේශීකාවයි.
මුහුද දකින්න පියාඹන සුද්දෝ
කොළඹ ගැවසෙද්දී අපට ඉන්දීය, චීන, කොරියානු මෙන්ම බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයින් රැගත් දැවැන්ත බස් රථ ඔබමොබ යනු දැකීම සාමාන්‍ය කරුණකි. ඇතැම් විට ඩබල් ඩෙකර් රථයක නැගී කොළඹ සිරි නරඹමින් යන සංචාරකයන් ද බහුලව මුණගැසේ. එහෙත් නිහතමානී පවසන ආකාරයට ඇයට මුණගැසී ඇති ජර්මානු සංචාරකයන්ට නම් කොළඹ ගැන ඒ තරම් තැකීමක් නැත.
‟එයාලා කොළඹ නවතින්නෙත් එහෙම නැතුවම බැරි වෙලාවක විතරයි. එහෙම නැත්නම් ඒ ගොල්ලොන්ට ඕනෙ බීච් එකක, කැලේක කාලය ගත කරන්න තමා”.
තංගල්ල යනු එසේ ජර්මානුවන් ආසාවෙන් ඇදෙන මුහුදු තීරයකි. වරක් ඈ සමඟ තංගල්ලට ගිය සංචාරක පිරිසක් තංගල්ලේ දින දෙකක්ම නැවතී සිටියේ රළ පැන්නුම් ක්‍රීඩාවට ඇති ඇල්ම නිසාවෙනි. සංචාරක නඩයේ සිටි කුඩා පිරිමි දරුවකු මුහුද යට ඡායාරූප ගත හැකි කැමරාවක් ද රැගෙනවිත් තිබුණි. එය ද භාවිත කරමින් ජර්මානුවන් පිරිස මුහුද යට සහ රළ මත ගෙවූ කාලය හෝරා ගණනකි.
ජර්මනිය යුරෝපයේ පිහිටි විශාල රටකි. බ්‍රිතාන්‍ය ආසන්නයේ පිහිටි උතුරු මුහුදත් ඩෙන්මාර්කයට යාබදව පිහිටි බෝල්ටික් මුහුදත් නිසා සෑදෙන වෙරළ තීරයක් ජර්මනිය සතුය. එහෙත් ජර්මනියේ දකුණු ප්‍රදේශයේ වෙසෙන අයකුට ජර්මානු මුහුදු වෙරළ දැකීම සඳහා උතුරට ගමන් කරන්නට ඇති දුර කිලෝමීටර දහස් ගණනකි. එතරම් දුරක් ගෙවා එහි ගිය පසු ද වෙරළ තීරය මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. ඒ නිසා බොහෝ ජර්මානුවන්ට වෙරළක සුන්දරත්වය දකින්නට ලංකාව වැනි රටකට ඇදෙන්නට සිදුවන්නේ ඉබේටමය.
“අනිත් එක ලංකාවට ආවම එයාලට ලාබයි. එයාර් ටිකට් එකට යන ගාණ ඇරුණම මෙහේ අනිත් හැම දෙයක්ම එයාලගේ සල්ලිවලින් බැලුවම ගොඩක් ලාබයි. ඉතින් එයාලා අර තරම් දුරක් රට ඇතුළේ යන්නෙ නැතිව අපේ රටට ඇවිල්ලා බීච් එකේ නිදහසේ කාලය ගත කරලා යනවා”.
ඈ තවත් වැදගත් යමක් පැවසුවාය. එනම් අපේ අසල්වැසි මාලදිවයින සංචාරක කර්මාන්තයේ දියුණුව නාමයෙන් දඩිබිඩියේ කෘත්‍රිම මුහුදු වෙරළවල් හැදුව ද ජර්මානුවන් එවැනි ස්ථාන දෙස බැලීමටවත් අකමැති බවය.
‟ඒගොල්ලෝ කෘත්‍රිම දේවල්වලට පොඩ්ඩක්වත් ආස නෑ. ස්වභාවික දේවල්ම තමා ඉල්ලන්නෙ”.
මීගමුවට සුනාමියක්?
සංචාරකයන් රැගෙන රට පුරා තැනින් තැනට ගමන් කිරීම යනු විශාල වගකීමක් සහිත කාරියකි. ඒ වගකීම, අවදානම කොතෙක් ද යන්න නිහතමානීට වැටහුණු, අවබෝධ වුණු අවස්ථාවක් ගැන තොරතුරු ද ඈ අප හා බෙදාගත්තාය.
ඒ 2004 සුනාමියෙන් පසු රටම සුනාමි පිළිබඳ කතාකරමින් සිටි අවධියයි. සුනාමි අනතුරු සංඥා රටේ බොහෝ මුහුදු ආශ්‍රිත ස්ථානවල සවි කර තිබුණි.
‟අපි කට්ටියක් එදා මීගමුවේ බීච් එක කිට්ටුව හෝටලේක නැවතිලා හිටියේ. එදා හවස් වෙද්දි එකපාරටම හෝටලයේ එලාම් එකක් නාද වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම කවුදෝ කිව්වා මේක සුනාමි එලාම් එකක් කියලා. අන්තිමට මුළු හෝටලේම කඩි ගුලක් වගේ ඇවිස්සිලා ගියා. මිනිස්සු බයවෙච්ච පාර එක එක පැත්තට දුවන්න ගත්තා. අපේ ගෘෘප් එකේ කට්ටියත් එක එක පැතිවලට දුවලා.
නිහතමානී සමඟ පැමිණ සිටි ජර්මානුවන් පිරිස ද මෙම අනතුරු ඇඟවීමේ සංඥාව නිසා තැතිගෙන ඒ මේ අත දුවන්නට පටන් ගෙන තිබුණි. එහෙත් අවසානයේදී කණ්ඩායමේ සාමාජිකයන් එක් තැනකට ගොනු කරගන්නට ඈ සමත් වූවාය.
මට දෙයියෝ සිහිවුණේ අපේ ගෘෘප් එකේ හිටපු ළමයි කණ්ඩායම නැහැ කියලා දැනගත්තමයි. අනිත් ගෙස්ට්ලා ටික හොයාගත්තට ළමයි ටික පේන්න හිටියේ නැහැ”.
ළමයි පිරිස නැතිව වෙනත් තැනකට යාමට නිහතමානී සමඟ රැඳී හුන් සංචාරකයන් පිරිස ද කැමැත්තක් දැක්වූයේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ ළමුන් කොහිද කියා සොයාගැනීම පමණි.
‟අන්තිමට බලනකොට ළමයි ටික අර කලබලේ අස්සේ එතැන තිබ්බ වෑන් එකකට නැගලා ගිහින්. පැයකට දෙකකට විතර පස්සෙ තමා අපි එයාලව හොයාගත්තෙ”.
පසුව දැනගන්නට ලැබුණේ එය සුනාමි සංඥාවක් නොවන බවය. කාගේ අතින් හෝ වැරදීමකින් අනතුරු ඇඟවීමේ සංඥාවක් නාද වී තිබුණු බව පසුව සොයා ගැනිණ. එහෙත් ඒ වන විට සිදුවන්නට තිබූ බොහෝමයක් සිදුවී හමාරය.
හිට්ලර්ට පුළුවන්නම් ඇයි අපිට බැරි?
ජර්මානුවන් උපතින් ක්‍රිස්තු භක්තිකයන් වුවද සාමාන්‍යයෙන් පල්ලියේ කාලය ගත කරන්නේ අඩුවෙනි. නිහතමානීට මුණගැසී ඇති බොහෝමයක් ජර්මානුවන් ද පල්ලියේ වතාවත්වලට යන්නේ අඩුවෙනි. එහෙත් පුණ්‍යාධාර වැඩසටහන් වෙනුවෙන් පල්ලියට මුදල් දෙන්නට ඔවුහු නොපැකිළව ඉදිරිපත් වෙති. ලංකාවට පැමිණි පසු ද ඔවුන් මෙරට ඇති ක්‍රිස්තියානි දේවස්ථාන කරා යාමට ඒ තරම් උනන්දුවක් නැත. එහෙත් බෞද්ධ පන්සල් කරා යන්නට ඔවුන් දක්වන්නේ මහත් ආසාවකි.
“මට හම්බවෙන ගොඩක් සංචාරකයෝ අපේ ගම්වල සුන්දරත්වය දකින්න කැමති අය. ඉතින් ඒ අය ගම්වල තියෙන පන්සල්වලට ගිහින් ගමේ මිනිස්සු එක්ක එකට එකතු වෙලා මල් පූජා කරන්න, පහන් පූජා කරන්න ගොඩක් කැමතියි”.
ජර්මානුවෝ හිත යටින් හිට්ලර්ට දක්වන කැමැත්ත ගැන අපි මීට පෙරද අසා ඇත්තෙමු. එනම් මීට අපි සමඟ කතාබහට එක්වුණු ජර්මානු සංචාරක මාර්ගෝපදේශකයන් ද කීවේ ලෝකෙට නොපෙන්නුව ද ජර්මානුවන් හිට්ලර් තමන්ගේ වීරයෙක් ලෙස සලකන බවය. නිහතමානී කීවේ ද එවැනිම කතාවකි.
‟මට හම්බවුණු හැම ජර්මානුවෙක්ම වගේ හරිම මානුෂීයයි. හරිම කරුණාවන්තයි. හැබැයි එයාලා හිත යටින් හිට්ලර්ට ගොඩක් ආදරෙයි. හිට්ලර් තමන්ගේ මිනිහා කියන හැඟීම එයාලට තියෙනවා. එක ගෙස්ට් කෙනෙක් දවසක් මට නියම කතාවක් කිව්වා. එයා අහනවා, උගත්කමින් අඩු නිකම්ම නිකම් සොල්දාදුවෙක් වෙච්ච හිට්ලර්ට ලෝක යුද්ධයක් කරගෙන යනවා වගේ ලොකු දෙයක් කරන්න පුළුවන්නම්, එයාලා වගේ යම් උගත්කමක් තියෙන බුද්ධියක් තියෙන ජර්මානුවන්ට මොනවද කරන්න බැරි කියලා...” නිහතමානී ඒ ටික කීවේ ඇස් පුංචි කරමින් සිනාසෙමිනි.
ජර්මනියට බැරිවුණු; ලංකාවට පුළුවන් වුණු පෝලියෝ වෙදකම
ඈට හමුවුණු තවත් ජර්මානු කාන්තාවක් මෙරට ආයුර්වේද ප්‍රතිකර්ම නිසා යුරෝපයේදී පවා සුව කරගත නොහැකි වූ දරැණු පෝලියෝ රෝගයකින් මිදුණු ආකාරය ද නිහතමානී විස්තර කළාය.
වරක් ලංකාවට පැමිණි ජර්මන් නඩයක සිටි වයසක කාන්තාවක් ගුවන් තොටුපොළේ බට මොහොතේ සිට ගමන් කළේ ඇයටම විශේෂ වූ රෝද පුටුවක නැඟී ගෙනය. ඇය දරුණු ලෙස පෝලියෝ රෝගයෙන් පීඩා විඳිමින් සිටියාය. යුරෝපයේ බොහෝ තැන්වලින් ප්‍රතිකාර ලබා තිබුණත් ඇගේ රෝගය සුව වී තිබුණේ නැත. ලංකාවට පැමිණි අවස්ථාවේදී පෝලියෝ සඳහා දේශීය ප්‍රතිකාර ක්‍රම ඇත්දැයි ඔවුහු නිහතමානීගෙන් විමසා තිබුණේ නිකමට වාගේය.
අවසානයේදී නිහතමානී කළ සොයාබැලීමකින් පසු ගාල්ල ප්‍රදේශයේ වෙසෙන ප්‍රකට වෙද මහතකු කරා ඔවුහු එම කාන්තාව යොමු කළහ. රෝගියා පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව එය සුව කිරීමේ වගකීම බාරගත් වෙදැදුරු ආයුර්වේද ප්‍රතිකාර ඇයට ලබා දුන්නාය. අන්තිමේදී තම දෙපා යළි ප්‍රකෘති තත්ත්වයට පත් කරගත් ජර්මානු කාන්තාව තවමත් වරින් වර ලංකාවට පැමිණ තම පාද වෙද මහතා ලවා පරීක්ෂා කරගන්නීය. එපමණක් නොව ඇය ආයුර්වේද වෙදකමේ විස්මිත ප්‍රතිඵල පිළිබඳ ජර්මනියේ තම හිතමිතුරන් ද දැනුම්වත් කර තිබේ.
(ජර්මානුවන්ගේ අවුරුදු කෙළි සෙල්ලම් පිළිබඳ තොරතුරු රැගත් තවත් රසවත් පරිච්ඡේදයක් සමඟින් ලබන සතියේ හමුවෙමු)
►රජිත ජාගොඩ ආරච්චි