2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

අවුරුදු කාලෙදි පරෙස්සම් කරගත යුතු කට

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 123

සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවීමත් සමඟ බොහෝ ගෙවල්වල කැවිලි පෙවිලි සූදානම් කිරීම ඈත අතීතයේ සිටම පැවතෙන සිරිතකි. කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා කැවිලිවලට දක්වන ප්‍රියතාවය සුළුපටු නම් නොවේ. මේ නිසාම බොහෝවිට පැණිරස ගැනීමෙන් පසුව ඇතිවන රෝග තත්ත්වයන් ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. 

සීනි මෙන්ම පිටි වර්ග සහිත ආහාර පැණිරසයෙන් යුක්ත වේ. ආයුර්වේදයට අනුව මෙය රෝගී වීමට ප්‍රධාන හේතුවක් වේ. විශේෂයෙන් හෘද රෝග, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්වයන් ඇතිවීමට මෙය හේතුවක් වේ. එමෙන්ම වැඩිපුර සීනි ශරීරයට එක් කරගැනීමෙන් සිරුරේ මේදය නිපදවීම ද සිදුවේ.

සීනි, පිටි, තෙල් ආහාර දිරවීමේදී බොහෝ අපහසුතා ඇති කරයි. ආහාර රැචිය අඩුකිරීම, බඩ පිපුම, මළබද්ධය වැනි තත්ත්වයන් ද ඇතිවිය හැක. බොහෝවිට කොලෙස්ටරෝල්, දියවැඩියාව, හෘද රෝග වැනි රෝග තත්ත්වයන් ඇති පුද්ගලයන් අවුරුදු කාලයේදී පැණිරස කැවිලිවලට දක්වන අධික රුචිය නිසාම එකක් දෙකක් කනවා යැයි පවසමින් රසකැවිලි කිහිපයක් ගැනීමෙන්ද රෝගය උත්සන්න වීමට පුළුවන. විශේෂයෙන් තම කට පරිස්සම් කිරීමට නොහැකි වීම නිසා අවුරුදු කාලයේදී එවැනි අය රෝගී තත්ත්වයටද පත්වීමට ඉඩ තිබේ.

මේ නිසා අවුරුදු කාලයේදී රසකැවිලිවලට කැමැත්තක් දක්වන ඔබ මේ පිළිබඳවද සැලකිලිමත් වන්න.

ආහාර ගැනීමෙන් පසුව උණුවතුර බොන්න

බොහෝවිට පැරැන්නන්ගේ මතය වන්නේ කුසෙන් අඩක් පිරෙන්නට කෑම ගෙන ඉතිරි ¼ සඳහා ජලය ද ඉතිරිය හිස්වද තබන ලෙසය. නමුත් මෙම කාලයේදී කුසෙන් අඩක් වෙනුවට 1/4ක් වන ලෙස ආහාර ගන්න. අවුරුදු කාලයේදී ඔබ ගන්නා බොහෝ ආහාරවල වැඩිපුර තෙල්, පිටි තැන්පත්ව පවතී. මේ නිසා කුසෙන් 1/4 ක් පමණක් ආහාර ගන්න. ආහාර ගැනීමෙන් පසුව මඳ උණුසුම් ජලය ස්වල්පයක් පානය කරන්න. ඔබ කෑම ගැනීමට පැය භාගයකට පෙරද ජලය පානය කරන්න. මෙලෙස දිනකට අඩුම තරමේ වතුර බෝතල් පහක් හෝ හයක් පානය කරන්න.

තේ වෙනුවට කැඳ වීදුරුවක්

අවුරුදු කාලයේදී පැණිරස, පිටි සහිත ආහාර ගැනීමට මෙන්ම නිතර නිතර තේ පානය කිරීමටද සිදුවේ. විශේෂයෙන් අවුරුද්දට නෑගම් යන විට බොහෝ ගෙවල්වලින් තේ පැන් සංග්‍රහයක් රසවිඳීමට සිදුවේ. මේ නිසා ශරීරයට එකතුවන සීනි ප්‍රමාණයද අධිකය. ඔබ නිවසේ සාදන තේ කෝප්පයට සීනි මෙන්ම පිටිකිරි ද අඩුවෙන් එකතු කර තේ කෝප්පය සාදාගන්න. හැකි නම් මේ කාලයේදීවත් උදේ තේ කෝප්පය වෙනුවට කැඳ කෝප්පයක් හෝ කොළ කැඳ කෝප්පයක් පානය කරන්න. දෙහි, දොඩම් වැනි ස්වභාවික පළතුරැවලින් සාදන ලද පළතුරු යුෂ වීදුරැවක රස බලන්න. අමතක නොකර එම පළතුරැ යුෂවලට සීනි එකතු නොකර හෝ අඩු සීනි දමා රස බලන්න.

අලුත් එළවළු පළතුරැ ආහාරයට ගන්න

අවුරුදු කාලයට බොහෝ නිවෙස්වල උත්සවශ්‍රීයෙන් යුතු කෑමවේලක් පිසිනු ලබයි. නෑදෑ නිවෙස්වලදීද බොහෝවිට මස් මාංශ සහිතව බුරියානි, කට්ලට් වැනි රසවත් ආහාරපානවලින් නොඅඩුව සංග්‍රහයක් භූක්ති විඳීමක් ලැබේ. අතුරැපසට අයිස්ක්‍රීම්, වටලප්පන්වලින් ද බොහෝවිට සංග්‍රහයක් ලැබේ. නමුත් අයිස්ක්‍රීම් වෙනුවට ඔබට අලුත් පළතුරු අතුරුපස සඳහා යොදාගත හැකිය. අඩුම තරමේ අලුත් අවුරුදු කාලයේදී ඔබේ නිවසේ ආහාර වේලට කෙඳි සහිත එළවළු වර්ගයක් ආහාරයට එක්කරගන්න. මේ කාලයේදී ආහාරයට දිනපතාම එක් කරන තෙල්, පිටි සහිත ආහාරවලට අමතරව අගුණකොළ, රණවරා කොළ, කතුරැමුරැංගා වැනි පලා වර්ගයක් ආහාරයට එක්කගන්න. මස් මාංශ ආහාරයට ගැනීම හැකිතාක් අඩු කරන්න. රාත්‍රියට එළවළු සුප් එකක් වැනි සුළු ආහාරයක් එකතු කරගන්න.

සුදුලූනු, කරපිංචා ඉතා ගුණයි

ඔබ දිනපතා ආහාරයට එක් කරන ව්‍යංජනවලට කරපිංචා, සුදුලූනු, කුරැඳුපොතු, ගොරකා, උළුහාල් වැඩිපුර එකතු කරන්න. විශේෂයෙන් සුදුලූනු ව්‍යංජනය ඉතා රසවත් මෙන්ම ඉතා ගුණදායක ව්‍යංජනයකි. අලුත් අවුරුදු සමයේදී ඔබේ ආහාර වේල පිළිබඳව ඉතා සැලකිලිමත් වන්න.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරුණෑගල ආයුර්වේද රෝහල