බිස්නස් හොඳටම බැහැලා - වෙළෙන්දෝ
අතේ සල්ලි නැතුව බඩු ගන්නේ කොහොමද? - පාරිභෝගිකයා
සිංහල අලුත් අවුරුද්දට ඇත්තේ දින ගණනකි. කොහාගේ නාදයත් සමඟ අවුරුද්ද තවත් ළංව ඇති බව කියා පායි. ලොකු, කුඩා, දුප්පත්, පොහොසත් භේදයකින් තොරව අලුත් අවුරුදු සමයට රෙදිපිළි ගැනීම සඳහා සාප්පු සවාරි යන පිරිස් වෙන අවුරුදුවල නම් මේ දිනවල ඉතා සුලභව දැකගත හැකිය. වෙනදාට අවුරුදු කාලය තුළදී පාරිභෝගිකයන්ගෙන් පිරී ඉතිරී පවතින කඩ සාප්පු තුළ මෙවර තවමත් පාරිභෝගිකයන් සිටින්නේ සුළු වශයෙනි.
රට පුරා අලුත් අවුරුද්දට සූදානම් වනවිට මෙවර අවුරුද්දේ වෙළෙඳපොළ වටපිටාව නිරීක්ෂණය කිරීමට අපි අලුත් අවුරුදු වළෙඳපොළ සංචාරයක් ඇරඹුවෙමු. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මෙන්ම මහරගම, පමුණුව යන ප්‍රදේශ පෙර අවුරුදු සමයන්වලදී ජනතාවගෙන් පිරී ඉතිරී පැවතිය ද මෙම වසරේ පෙර වසරවලට සාපේක්ෂව ජනතාව අඩු බවක් සහ වළෙඳාමෙහි අඩුවක් පවතින බවද එම සංචාරයේදී දැකගත හැකිවිය.
විවිධාකාරයෙන් ඇඳුම් පැළඳුම් ඇති වායු සමීකරණය කළ කඩ සාප්පු වෙත ගොඩවීමට ප්‍රථමයෙන් එදා වේල සරිකර ගනිමින් ජීවිකාව ගෙනයාමට පදික වේදිකාවේ තට්ටුවක් දමාගෙන උගුර ලේ රහ වනතුරු කෑගසමින් බිස්නස් එකක් කරගැනීමට උත්සාහ ගන්නා පදික වෙළෙඳුන් කිහිප දෙනකුට සහ අවුරුදු සමයේ බඩු මිලදී ගැනීමට පැමිණ සිටි පාරිභෝගිකයන් කිහිප දෙනකුට කතා කිරීමට අපි තීරණය කළෙමු.
වසරේ ඕනෑම කාලයක රෙදිපිළි සඳහා ප්‍රසිද්ධියට පත් මෙන්ම උත්සව සමයන් තුළදී පාරිභෝගිකයන් වැඩිපුර ගැවසෙන මහරගම පමුණුව නගරය අප වෙළඳපොළ සංචාරයේ පළමු ඉලක්කය විය.
මහ පාරේ ලෑලි තට්ටුවක් මත දැඩි අව් රශ්මිය ද නොතකා විවිධ මාදිලියේ ඇඳුම් ගොන්නක් තබාගෙන සිටි වෙළඳුන් කිහිප දෙනෙක් ළඟට අපි කිට්ටු වූයෙමු. වසර දහයකට අධික කාලයක් මුළුල්ලේ තම ජීවිතයම පදික වේදිකාවේ ලෑලි තට්ටුවක තබා ඔට්ටුවන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි ජයවර්ධන අප පත්තරයෙන් යැයි කියූ පමණින්ම අප හා කතාවට වැටුණේ “මේ පාර අවුරුද්දට බිස්නස් නැහැ” යන මැසිවිල්ල නගාගෙනමය.
“මම පාන්දර හය, හයහමාර වෙනකොට තමයි මෙතන රෙදි තට්ටුව දාන්නේ. ඒ වෙනකොට සමහර වෙළෙන්දෝ තමන්ගේ තට්ටු දාලා ඉවරයි. ඒ වුණත් මම තාමත් විකුණලා තියෙන්නේ කෑලි තුනයි. ඒ කියන්නේ උදේ හයේ ඉඳන් දැන් වෙලාව උදේ දහයයි. පැය හතරටම කෑලි තුනයි මම දීලා තියෙන්නේ. රුපියල් හත්සීයක බිස්නස් එකක්. කලින් අවුරුදුවල එහෙම නෑ. මේ පාරේ ඇඟිල්ලක් ගහන්න බැහැ. වාහනවල යන්න බැහැ. පාර වහනවා. ඒ තරමට සෙනඟ ඉන්නවා. අද මිනිස්සුත් නැහැ අපිත් වේලෙනවා. ඇත්තම කතාව තමයි අද මිනිස්සුත් බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මිනිස්සු දැන් ට්‍රයි කරන්නේ ඒකට. අඳින්න පළඳින්න කලින් මුලින් ජීවත්වෙලා ඉන්න එපැයි. මිනිස්සුන්ට සල්ලි තිබුණොත් තමයි අපිට බිස්නස් එකක් තියෙන්නේ. එහෙම වෙනවනම් අපිට හොඳයි. ඒ වුණාට දැන් බිස්නස් බැහැලා. මේ පාර අපේ දරුවන්ටත් අවුරුද්ද කන්න බැහැ. අපිට වේලි වේලි තමයි ඉන්න වෙන්නේ.”
ජයවර්ධනගෙන් සමුගත් අප පමුණුව රේල් පාර දිගේ ඉදිරියට ගියේ තවත් වෙළෙඳුන් කිහිපදෙනකු මුණගැසීමේ අරමුණෙන් යුතුවය.
මෙයට වසර පහක පමණ කාලයක සිට පමුණුවේ ලෑලි තට්ටුවක සිට සිය ජීවිකාව ගෙන යාමට වෙර දරන මහරගම ප්‍රදේශයේ පදිංචි දිමුතුගෙන් ද මෙවර අවුරුද්ද ගැන විමසූවිට අපට ලැබුණේ සුභදායක නොවූ පිළිතුරකි.
“අපි මේ රේල් පාරේ තට්ටුව උදේ පහ හමාර, හය වෙද්දි දානවා නිකම් දවස්වලට. මේ දවස්වලනම් පහ විතර වෙනකොට අපි බඩු ටික සෙට් කරගන්නවා. අවුරුදු සීසන් එක නිසා සමහර අය පාන්දර තුන, තුනහමාර වෙද්දි එයාලගේ තට්ටු දානවා. අපි කෝච්චියක් එන වෙලාවට මේ තට්ටුව අයින් කරනවා. ආයේ කෝච්චිය ගියාම තට්ටුව දානවා. ගිය අවුරුදුවල වගේ නෙවෙයි මේ පාර බිස්නස් අම්බානෙකට බැහැලා තියෙන්නේ. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න එක්ක මෙහෙම හරි බිස්නස් එකක් තියෙන එක ලොකු දෙයක්. මම තට්ටුව දාපු අවුරුද්දෙම සිංහල අලුත් අවුරුද්දට හොඳ බිස්නස් එකක් තිබ්බා. ඊට පස්සේ එන්න එන්න අඩු වුණා. දැන් අවුරුදු දෙකක වගේ කාලෙක ඉඳලා කිසිම බිස්නස් එකක් නැහැ. පාඩු පිට තමයි කරන් යන්නේ. බිස්නස් එක හොඳ වුණානම් අවුරුදු හොඳයි. බිස්නස් නැහැ කියන්නේ අවුරුද්දත් නෑ තමයි ඉතිං අපිට නම්”
රේල් පාර මැද මෙන්ම දෙපස ද දමා ඇති තට්ටුවලින් මඳක් ඈත්ව පාර දෙපස සිටි වෙළෙන්දන්ගෙන් ඈත කෙළවරක විඩාපත් මුහුණකින් යුතුව සිටි ශ්‍රියානි රම්‍යලතා අපට හමුවන්නේ ද පමුණුව නගරය තුළදීය.
“අපි ඉරිදා දේශය පත්තරෙන්... කොහොමද අලුත් අවුරුද්දේ බිස්නස් එහෙම?”
“අනේ බිස්නස් ගැනනම් කතා කරන්න එපා. මම මේ පමුණුවට ඇවිල්ලා දැන් අවුරුදු දහයකටත් වැඩියි. මේ අවුරුද්ද තමයි මම දැකපු එපාම කරපු අවුරුද්ද. වෙනදා මේ කාලේ වෙද්දී අපි රුපියල් තිස් හතළිස් දහසක බිස්නස් කරනවා. දැන් තාම එක කෑල්ලක්වත් නැහැ විකුණුනේ. වෙනදට පාරවල් වහලා මේ දවස්වලට. යන්න එන්නත් බැහැ මිනිස්සුන්ට. ඒ වුණාට අද මේ ලෑලි තට්ටු වේලෙනවා. හැමෝටම එක වගේ තමයි බිස්නස් නැහැ. කොහොමත් බිස්නස් එක වැටුණා කියන්නේ අපිට අවුරුදු නැහැ.”
පෙර අවුරුදු සමයන්වලදී ජනයාගෙන් පිරී ඉතිරී ඇඟිල්ලක් ගැසීමට ඉඩකඩක්වත් නොමැති පමුණුව නගරය තුළ වෙළෙඳුන් පැවසූ පරිද්දෙන්ම අප දැකගත් ආකාරයට සිටියේ ඉතා අල්ප ප්‍රමාණයේ පාරිභෝගිකයන් පිරිසක් පමණි.
වෙනදාට ඇවිස්සුණු කඩි ගුලක් බඳු පමුණුව නගරය තුළ පාරිභෝගිකයන් පවා සිටියේ අතලොස්සකි. පමුණුවෙන් සමුගෙන අප ඉන් අනතුරුව පියමැන්නේ කොළඹ කොටුව පුරවරය දෙසටය. පමුණුව නගරයට වඩා තරමක් පාරිභෝගිකයන් ගැවසුණු කොළඹ හරස් වීදිවල ද පෙර අවුරුදුවල දක්නට ලැබුණු පාරිභෝගිකයන් ප්‍රමාණය මෙවර දැකගැනීමට නොහැකි විය.
ලෑලි තට්ටු අසල සහ වෙළෙඳසල් තුළට ගොඩවී යළිත් හිස් අතින්ම එළියට විත් කඩවුණු බලාපොරොත්තු සහිතව ගමන්ගත් පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් ද අපට දැකගැනීමට ලැබිණි.
“මොන අවුරුදුද සල්ලි නැතුව?” අප කොළඹ කොටුව පුරවරය තුළ සංචාරයේදී පළමුව අප වෙත අදහස් දැක්වූ බියගම චන්න හේරත් පැවසීය.
“රෙදි ටිකක් එහෙම බලලා යන්න හිතාගෙන තමයි මේ පැත්තට ආවේ. ඒත් ඉතින් දැන් මේ යන තත්ත්වෙත් එක්ක අවුරුදු සමරන්න අමාරුයි. අපි ජීවත් වෙන්නෙත් බොහොම අමාරුවෙන්. දැන් හැම බඩුවක්ම ජනතාවට දරාගන්න බැරි විදිහට ගණන් ගිහිල්ලා තියෙන්නේ. වෙනදට මේ කාලේ වෙද්දී අපේ අතේ මිටෙත් කීයක්හරි ගැවසෙනවා. දැන් තියෙන ආර්ථිකේ එක්ක බැලුවම බිරිඳ, දරුවෝ එක්ක එහෙම එකට ගිහින් රෙදි ගන්න, බඩු ගන්න තත්ත්වයක් නැහැ. මීට අවුරුදු පහ හයකට කලින් වගේ නෙවෙයි දැන් තියෙන තත්ත්වේ. ඒක නිසා දැන් හරි අමාරුයි අවුරුදු කන්න.”
පානදුර ප්‍රදේශයේ සිට කොළඹ නගරයට පැමිණ සිටි ආර්. පී. රංජනී අපත් සමඟ කතාවට වැටුණේ “සල්ලි නැතුව මොන අවුරුදුද” යන මැසිවිල්ලත් නගාගෙනය.
“මේ පාර අවුරුදු සමරන්න කලින් බලන්න ඕන එදා දවස ජීවත් වෙන්නේ කොහොමද කියලා. බඩු ගන්න බැහැ. හැම බඩුවක්ම ගිනි ගණන්. රෙදිපිළි ගන්න විදිහක් නැහැ. වෙන අවුරුදුවල අතේ තියෙන සල්ලිවලට අවුරුද්දට මුළු පවුලටම රෙදි, බඩු ගන්න පුළුවන්. ඒ වුණාට අද එහෙම ගන්න බැහැ. මම හිතන්නේ මේ කඩවලටත් බිස්නස් එහෙම අඩු ඇති. මහත්තයලටම පේනවනේ මොකක්ද තත්ත්වේ කියලා. වෙනදා පිටකොටුවට මේ දවස්වලට ඇඟිල්ලක් ගහන්න පුළුවන් වුණාද?නැහැනේ. දැන් තියෙන තත්ත්වේ බලන්නකෝ. මොනවත් නිසා නෙවෙයි. සල්ලි නැති නිසා තමයි මිනිස්සු අවුරුද්ද ගැන වැඩිය හිතන්නේ නැත්තේ. ඒ වුණාට ඉතින් අවුරුද්දකට පාරයිනේ මේ සිංහල අලුත් අවුරුද්ද එන්නෙත්.”
කොළඹ දෙවැනි හරස් වීදියේ පදික වේදිකාවේ ලෑලි තට්ටුවක් මත රෙදිපිළි විකුණමින් සිටි මැද කොළඹ අස්මින් මොහොමඩ් අපහට මෙලෙස අදහස් දැක්විය.
“බිස්නස් ගැනනම් කතා කරලා වැඩක් නැහැ. මම අවුරුදු ගාණක් මේ කොටුවේ බිස්නස් කරනවා. ඒත් මේ පේනවනේ එක කෑල්ලක්වත් විකුණගන්න බැරි වුණා තවම. වෙනදට ගෝලයෝ හත් අට දෙනෙක් දාලාත් බිස්නස් එක කරන්නත් බැහැ. ඒ තරමටම සෙනඟ. ඒ වුණාට දැන් එහෙම නෑ. මිනිස්සු එනවා ගාණ අහනවා. යනවා. ගෙනාව ගාණටවත් බඩු දෙන්න බැහැ. අතින් පාඩු කාලා මේ බිස්නස් කරන්නේ. තව සතියයි තියෙන්නේ. ඒ වුණාට කිසි වැඩක් නැහැ. ඇත්තටම ජීවත් වෙන්න අමාරුයි. මේ කාලේ එහෙම තත්ත්වයක් එක්ක මිනිස්සු රෙදි ගන්න එන්නේ නැහැ. මගේ බිස්නස් කරන අවුරුදු ගාණ ඇතුළත මම අලුත් අවුරුද්දකට දැකපු බිස්නස් අඩුම අවුරුද්ද මේක.”
අප වෙළඳපොළ සංචාරය අතරතුරදී හමුවූ නිට්ටඹුවේ රූපිකා දමයන්ති මෙලෙස අදහස් දැක්වීය.
“අවුරුද්ද කියලා කිසිම ගාණක් නැහැ. මිනිස්සුන්ගේ ඒ තරමටම ප්‍රශ්න තියෙනවා. ලොකු ලොකු උදවියට ප්‍රශ්න නැතිවෙන්න පුළුවන්. ඒ වුණාට පොඩි මිනිහට ඒක හොඳට දැනෙනවා. ඒ නිසා අවුරැදු ගැන කතාකරලා වැඩක් නැහැ.”
අනතුරුව අතවශ්‍යය ආහාර තොග අලෙවි කරන වෙළෙඳසල් කිහිපයකින්ම අපි අලුත් අවුරුද්දට වෙළෙඳාම ගැන ඇසූවිටදී ඔවුන්ද කියා සිටියේ පෙර වසරවලට සාපේක්ෂව මෙවර අවුරුදු සමයේදී වෙළෙඳාම පහළ බැස ඇති බවය.
වෙනදා සිංහල අවුරුද්දට ජනයාගෙන් පිරී ඉතිරී යන නගර බොහෝමයක පදික වේදිකාවල ඇති රෙදි තට්ටුවල මෙන්ම බොහෝ වෙළෙඳසල් අතර මෙවර අපට දැකගත හැකි වූයේ මිනිසුන් අතලොස්සකි. ඉදිරි දිනවල ද මෙහි වෙනසක් වනු ඇතිදැයි පැවසීම අපහසුය. කෙසේ වුවත් අපට හමුවූ කිහිපදෙනකු පැවසුවේ තව දින දෙක තුනකින් පමණ මේ තත්ත්වය වෙනස් වීමට ඉඩ ඇති බවය.
(ජෝඩුව දෙසීයයි - ජෝඩුව දෙසීයයි) යනුවෙන් කෑගසමින් පිටකොටුව පදික වේදිකාවේ සරොම් අලෙවි කරන වෙළෙන්දෙකි. ලේබල් ගැසූ අලුත්ම අලුත් පට සරොම්ය. සෙනඟ පොදිකමින් මිලට ගනු දැකගත හැක්කේ සරොම් දෙකක් රුපියල් දෙසියට දෙනවා නම් ගජ ලාභ නිසාය. පොදිකන සෙනඟ අතරින් වෙළෙන්දා සමීපයට යන දුප්පත් පාරිභෝගිකයා රුපියල් 200 ක් දෙයි. ඔහුට වෙළෙන්දා දෙන්නේ එක සරමකි.
“ඇයි මේ එකක්... ජෝඩුව නේද දෙසීය”
පාරිභෝගිකයා විමසයි.
“ඇයි බලනවා ඇස් පේන්නෙ නැද්ද? ජෝඩුව තමයි දෙසීය”
වෙළෙන්දා මහ හයියෙන් කෑගසයි. ජෝඩුව යනුවෙන් හඳුන්වා ඇත්තේ එහි වෙළෙඳ ලාංඡනය මිස දෙකක් නොවන බව පාරිභෝගිකයාට වැටහෙන්නේ එවිටය. ලාභයට දෙකක් මිලට ගන්න ආ අසරණයාට සිදුවන්නේ වෙළෙන්දාගේ රැවුම් ගෙරවුම් මත ජෝඩුව ලකුණ දරන බාල සරමක් රුපියල් දෙසියයකට මිලට ගැනීමටය.
බොහෝ වෙලාවට මෙලෙස පදික වේදිකා මත සංචාරක වෙළෙදුන්ගේ වෙළෙදාම එම ස්ථානයේ සිදුවන්නේ එක් දිනක් පමණි. නැතිනම් වරුවකි. ඊළඟට වෙළෙන්දා වෙනත් ස්ථානයකට මාරුවෙයි. සෑහෙන භාණ්ඩ තොගයක් වංචාවෙන් විකුණාගත් පසු වෙළෙන්දා අතුරුදන් වෙයි. ඔහු කොහේ ගියාදැයි දන්නා කෙනකු නැත. සොයාගැනීමට අනන්‍යතාවක්ද නොමැත.
උත්සව සමයට පාරිභෝගිකයා සූරාකන තවත් ක්‍රමයක් වන්නේ (ෆිනෑන්ස්) ක්‍රමයට කොටස් වශයෙන් ගෙවීමට ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවි කිරීමේදීය. ආඩම්බරයෙන් ප්‍රචාරය කරමින් අලෙවි කරන ඇතැම් රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර ආදියෙන්ද පාරිභෝගිකයාගේ ඇස් වසා වැඩි මිලට විකිණීම සිදුකෙරේ. ඒවායේ සඳහන් කරන මිල සත්‍ය වශයෙන්ම නියම මිලට වඩා වැඩිය. පොලිය සඳහා ප්‍රතිශතයද ඒ මිලටම අඩංගු කර ඇති අතර පොලිය වෙනම පෙන්වන්නේ නැත. පාරිභෝගිකයා භාණ්ඩයට කොටස් වශයෙන් ගෙවා අවසන් වන විට එහි සාමාන්‍ය විකුණුම් මිලට අතිරේක වශයෙන් පොලියට වැඩි මුදලක් ඔහුට ගෙවන්නට සිදුවේ. එසේම වාරික ගෙවීමේ යම් ප්‍රමාදයක් සිදුවූ විට දඩ පොලියක්ද එකතුවන අතර වාරික 2-3 නොගෙවුවහොත් අදාළ ආයතනයේ කණ්ඩායමක් පැමිණ භාණ්ඩය ආපසු රැගෙන යයි. මෙහිදී පාරිභෝගිකයාට ගෙවූ මුදලද භාණ්ඩයද අහිමි වේ.
උත්සව දිනවල ඈත පිටිසර ගම්මානවලට පවා වෙළෙඳ සමාගම්වල නියෝජිතයෝ වාහනවල භාණ්ඩ පුරවාගෙන පැමිණෙති. භාණ්ඩ පිළිබඳ විස්තරද ප්‍රමිතිය පිළිබඳ සහතික පත්‍රිකාද සමඟ නිවෙස්වලට යති. බොහෝ අවස්ථාවල දහවල් කාලවල නිවෙස්වල රැඳී සිටින්නේ කාන්තාවන් සහ වයසක අය පමණය. මේ අයට භාණ්ඩ පිළිබඳ දැනුමක් නැත. නියමිත මිල ගැනද නොදනී. එහෙත් භාණ්ඩ හා මිල පිළිබඳ වෙළෙඳ නියෝජිතයෝ ඔවුන් පැහැදෙන පරිදි කතා කරති. මූලික ගෙවීම ඉතාම සුළුය. වාරික මුදලද අඩුය. ගිවිසුමක් හෝ ඇපකරුවන් නොමැතිව භාණ්ඩ කොටස් වශයෙන් ගෙවීමට අලෙවි කරයි. මේවාට රැවටෙන කාන්තාවෝ විශාල දක්ෂකමක් කළා සේ මිලට ගනිති. එහෙත් මෙම භාණ්ඩවල ප්‍රමිතියක් නොමැත. කෙටි කාලයකින් අක්‍රිය වේ. එවැනි අවස්ථාවල සමාගම නොමිලේ අලුත්වැඩියා කර දෙයි. එහෙත් වාරික ගෙවා අවසන් වන විට භාණ්ඩයේ ජීවිතයද අවසන්ය.
ප්‍රමිතියෙන් මෙන්ම ක්‍රියාකාරීත්වයෙන්ද දුර්වල භාණ්ඩ වැඩි මිලට අලෙවි කරමින් පාරිභෝගිකයන් සූරාකෑමට මේ (එදාවේල ට්‍රෙඩර්ස්) ලා සූදානම්ය. ඔවුන් මුළු වාණිජ ලෝකයටම පිළිකුළක් වේ. පාරිභෝගිකයන් ආවේගවලට යට නොවී බුද්ධියෙන් යුතුව නිවැරදිව දැනගෙන භාණ්ඩ මිලදී ගතහොත් මේ අයගෙන් ප්‍රවේශම් වීමට පුළුවන.
♦ හසිත් අංජන
සේයාරූ - සමන්ත ප්‍රදීප් විල්තෙර