2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

පාරු කෙල්ල

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 225

අනුල ද සිල්වාගේ අලුත්ම යොවුන් නවකතාව පාරු කෙල්ලයි. මෙයට පෙර යොවුන් නවකතා සඳහා දෙවරක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇයට හිමි විය. ඒ නන්ද සහ සරණ නවකතාවට සහ රාමා සහ දිනූ නවකතාවටයි.

පාරු කෙල්ල තුළින් කතුවරිය උත්සාහ කර ඇත්තේ ගඟ හරහා තනා තිබූ ඒදණ්ඩ හදිසියේ කඩා වැටීම නිසා අතරමං වන ජනතාව එගොඩ කරවමින් පොදු යහපත සලසන පාසල් දැරියකගේ මානසික ධෛර්ය විවරණය කිරීමටයි. කතාව ගලාගෙන යන්නේ මේ දැරිය (මලී) ගේ දෘෂ්ටි කෝණයෙනි. මේ නිසා ඇයගේ මානසික ස්වභාවය පහසුවෙන් විවරණය කිරීමට කතුවරියට අවස්ථාව ලැබී ඇත. ‍

අප මතක ඇති කාලයක් තිස්සේ නගරයට ආවේ මේ ඒදණ්ඩ  මතිනි. ඒදණ්ඩට උඩින් අත්වැටක් සේ කඹයක් ද මානා තිබිණි. මල්ලී කකුලට දමන්නට යන සපත්තු දෙක බිම තබා බලාගෙන සිටියේය.

අද ළමයින්ට ඉස්කෝලේ යන්න වෙන්නෙත් නෑ. අපට වැඩට යන්න වෙන්නෙත් නෑ. එසේ කී තාත්තා කුමක් කරම්දැයි සිතමින් මිදුලට බැස්සේය. (පාරැ කෙල්ල, 8 පිට)

පියා එලෙස අධෛර්යමත් සිතුවිලි පැවසුවද මලීට අවශ්‍ය වූයේ බාධක මැද ජයගැනීමටයි. ඇය සේදිරිස් ආතාගේ ඔරුව පැදගෙන මගීන් එගොඩ කරන්නට ඉදිරිපත් වන්නීය. ඒ මවගේද විරෝධය නොතකමිනි. ඊට පසු පාසලේ වීරවරියක් ලෙස පැසසුම් ලබන්නීය.

මේ අතර මලී පිහිනුම් තරග සඳහා සහභාගී වී ජය ලබන අතර ඇය නිසාම ඉදිරියේදී ගමට පාලමක් ලැබීමේ අවස්ථාව ද උදාවේ. එහෙනම් මම මගේ ඉල්ලීම ඉදිරිපත් කරන්නම්. අපට එගොඩ වෙන්න පාලමක්. ඇත්තටම ඒදණ්ඩ හා පාලම කෙළින්ම අධ්‍යාපනයට සම්බන්ධ එකක් නොවෙයි. ඒ නිසා ඔබතුමාට මේ වගකීම ගන්න බැරිවෙයි. ඒ වුණත් ඔබතුමා මහ ඇමැතිතුමාට මගේ ඉල්ලීම ගැන සඳහනක් කරනවානම් ඒක ලොකු සතුටක්.

මේ දරුවා ගැන මම ආඩම්බර වෙනවා වගේම දරැවාගේ ඉල්ලීම වුණේ ගමේ අවශ්‍යතාවයක්. ඒදණ්ඩ වෙනුවට පාලමක්. මම හිතනවා මේ දරැවාගේ ඉල්ලීම ඉටුවෙයි කියලා. මම ඒ ගැන මහ ඇමැතිතුමාට කියලා නිසි පියවරක් ගන්නවා.* (පාරැ කෙල්ල, 99 පිට)

අද යොවුන් කතාවලින් අවශ්‍ය වන්නේ කාඩ්බෝඩ් වීර චරිත බිහිකිරීම නොවේ. ප්‍රායෝගිකව ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය දිරිය දරැවන් තුළ ඇති කිරීමය. පාරැ කෙල්ල කතාවේ මලී අනෙකුත් සිසු දරුවන්ට ද ආදර්ශයක් වන සේ තම ජීවිතය  හෙළි කරගන්නා චරිතයකි.

මෙහි ඒදණ්ඩ වෙනුවට දැව පාලමක් කඩා වැටීම වැනි සිද්ධියක් යොදා ගන්තේ නම් කතාවේ ගලායාම තවත් කුතුහලය දනවන අයුරින් ඉදිරිපත් කිරීමට කතුවරියට අවස්ථාව ලැබීමට ඉඩ තිබුණි. පාරැ කෙල්ල කර්තෘ ප්‍රකාශනයකි.

 පාඨක