කපිල කුමාර කාලිංග
කපිල කුමාර කාලිංග සම්මානනීය නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. නවකතා හා කෙටිකතා රචකයෙකි. රයිනෝසිරස්, නෙළුම් පොකුණ, උක්දඬු ගින්න, සිහින සාප්පුව, බිංගේ, අපි ගෙවන්නේ නෑ ඔහුගේ නාට්‍ය වන අතර පසුගිය වසරේ ඔහු අධ්‍යක්ෂණය කළ බැංකු වීරයා නාට්‍යය මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේදී ඇගැයීමට ලක්විය. මෙවර සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගය සඳහා ද කපිල කුමාර කාලිංගගේ නාට්‍ය (විජිත ගුණරත්නගේ නාට්‍ය ද සමඟ) නිර්දේශ කර තිබේ.
මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය රචනය ලෙස සම්මානයට පත්වූ බැංකු වීරයා ට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර කෙසේද?
ප්‍රතිචාර ගැන මම සෑහීමකට පත්වෙනවා. නාට්‍යයේ නමින්ම ඇඟවෙන පරිදි පසුගිය කාලයේ දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක් වුණ බැංකු සිද්ධියක් මෙයට පාදක වෙලා ඇති කියලා බොහෝ ප්‍රේක්ෂකයන් කල්පනා කර තිබුණා. සමහරු එවැනි තේමාවක් මේ තුළ දැකීමට බලාපොරොත්තු වුණා. නමුත් මේ නාට්‍යය රචනා කළේ ඒ සිද්ධියට බොහෝ කලකට පෙරයි.
සමහර තැන්වලදී ප්‍රේක්ෂකයන් ඒ බැංකු සිද්ධියට මේ තත්ත්වය ගලපාගන්න උත්සාහ කළා. කාලීන දෙයක් නාට්‍යයකට වස්තු විෂය කර ගත්තම ඒක රසවිඳිය හැක්කෙත් කාලීනවයි. නාට්‍යයක් වුණහම එහෙම නෙවේ. සර්වකාලීන හා සර්ව භෞමික වියයුතුයි.
මේ නාට්‍යයේ කතා තේමාව ගැන පැවසුවහොත්?
බැංකු වීරයා නාට්‍යයෙන් කියැවෙන්නේ මේ දරිද්‍රතාව හා සමාජ විෂමතාව මැද සමාජයේ තරුණයකු ජීවත්වීමට දරන එක්තරා අහිංසක ප්‍රශ්නයක්. ඔහු බැංකුවක් මංකොල්ලකෑමට යනවා. නමුත් ඔහු කිහිපවරක්ම කියනවා මම හොරෙක් නෙවෙයි කියලා. අන්තිමට ප්‍රේක්ෂකයෝ මේ හොරා තමන්ගේ වීරයෙක් කර ගන්නවා. ප්‍රේක්ෂකයොත් පිළිගන්නේ නෑ මේ තරැණයා හොරෙක් කියලා.
අද ස්වතන්ත්‍ර නාට්‍ය නිෂ්පාදනය අඩුවෙමින් යන කාලයක් තිබෙන්නේ. එවැනි කාලයක ස්වතන්ත්‍ර නාට්‍ය රචනයට සම්මානයක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැන සතුටක් තිබෙනවා. එය වියයුතු දෙයක්. රාජ්‍ය නාට්‍ය උළෙලේ පරමාර්ථය වන්නේ ස්වතන්ත්‍ර නාට්‍ය කලාවක් ගොඩනැංවීම. නමුත් අභාග්‍යයකට වගේ අද ස්වතන්ත්‍ර නාට්‍ය පිටපත් ලියවෙන්නැති ප්‍රශ්නයක් තිබෙනවා. මෙවර අවසන් වටයට තිබුණු නාට්‍ය 8න් ස්වතන්ත්‍ර නාට්‍ය පිටපත් තිබුණේ තුනයි. අනෙක් නාට්‍ය පහම පරිවර්තන හෝ අනුවර්තන.
අද තරුණ පෙළ අතින් හොඳ නාට්‍ය නිෂ්පාදන බිහිවෙනවා නේද?
ඔව්. නාට්‍ය ක්ෂේත්‍රයේ තරැණ පෙළක් හැදෙන බව පේනවා. නමුත් ඔවුන් පිටපත් ලියන්නේ නැහැ. අද තිබෙන තාක්ෂණික පහසුකම නිසා ලෝකයේ වෙනත් නාට්‍ය අන්තර්ජාලය හරහා ලේසියෙන්ම නැරඹීමට පුළුවන්. මේ නිසා පරිවර්තන නාට්‍ය කිරීමේ පහසුකම් වැඩියි. ඔවුන් ඒවායින් නරඹා උසස් නිෂ්පාදන බිහි කරනවා.
නමුත් ස්වතන්ත්‍ර නාට්‍ය බිහිවෙන්නේ නැත්නම් අපි ලෝකෙට අපේ නාට්‍ය කියලා පෙන්වන්නේ මොනවද? ඒ වගේම පරිකල්පනය නැතිකමත් ඒකට හේතුවක්. හොඳ පිටපත් ලිවිය හැකි රචකයන්ගේ අඩුවකුත් තිබෙනවා.
මුලින්ම රාජ්‍ය නාට්‍ය උළෙලේ ස්වතන්ත්‍ර නාට්‍ය වෙනම ඇගැයීමකට ලක්කළා නේද?
ඔව්. කලකට පෙර හොඳම ස්වතන්ත්‍ර නාට්‍යය, හොඳම පරිවර්තන නාට්‍ය විදිහට වෙනවෙනම වර්ගීකරණය කරලා සම්මාන දුන්නේ. පසු කාලයක ඒක වෙනස් වෙලා එකම නිෂ්පාදනයකට සම්මාන ලබා දීම ආරම්භ කළා. මෙවර බැංකු වීරයා හොඳම අධ්‍යක්ෂණය, හොඳම නාට්‍යය, හොඳම නළුවා යන අංගවලට නිර්දේශ වෙනවා. නමුත් හොඳම නාට්‍යය සම්මානය හිමිවන්නේ පරිවර්තන නාට්‍යයකට. ඒකෙන් ස්වතන්ත්‍ර නාට්‍ය අවතක්සේරුවට ලක්වෙනවා. මම නම් ඉන්නේ මේ නිර්ණායක වෙනස්විය යුතුයි කියන අදහසේ.
අද එදා නාට්‍ය නිර්මාණ්‍ය කළ ප්‍රවීණයෝ නිහඬයි. මේකට හේතුව ඔබ දකින්නේ කෙසේද?
ප්‍රවීණ නාට්‍යකරුවන් දිරිමත් කරන කිසිම වැඩපිළිකවෙලක් නැතිකම එක හේතුවක්. මම අවුරුදු හතකට පස්සේ ආයෙත් නාට්‍යයක් කළේ. නාට්‍යයක් කරගෙන යනකොට තේරෙනවා කොපමණ දුෂ්කරතා මතුචවෙනවද කියලා. 70 – 80 දශකවල තිබුණු දුෂ්කරතා තවමත් එහෙමම තියෙනවා. තාම පරණ නාට්‍ය බස් එකේම තමයි අපි යන්නේ. ඒ.සී. බස් එකක්වත් ලබාගන්න අපට බැරිවෙලා තියෙනවා. නමුත් එසේ නොවිය යුතුයි. ඉතා හොඳ නාට්‍ය රචකයන් කිහිප දෙනෙක්ම අපට ඉන්නවා. ඔවුන් නිර්මාණවලට නොපැමිණීම තමයි තිබෙන්නේ.
පසුගිය කාලයේ පත්වූ රජය බලයට පත්වනවිට කලාවට සංස්කෘතියට වැඩි සේවයක් සලසන බව පැවසුවා. එවැනි සේවයක් කරන බව පේනවද?
විශේෂ දෙයක් දකින්න නෑ. නමුත් සංස්කෘතික අමාත්‍යංශයේ නාට්‍ය උළෙල වඩාත් සංවිධානාත්මකව ඔවුන්ට හැකි උපරිමයෙන් කිරීමට උත්සාහ ගත් බව පෙනුණා. නමුත් එය ප්‍රමාණවත් නෑ.
අද නාට්‍යවලට උනන්දු තරුණ පෙළක් හිටියත් ඔවුන්ට ජාතික වේදිකාවේ තැනක් ලබාගැනීම අපහසු වෙලා තියෙනවා නේද?
ඒක හරි. දෙවැනි පෙළක් ලෙස දකින අය විශ්ව විද්‍යාල තුළින් බිහිවෙන්නේ. ඔවුන්ගේ නිෂ්පාදනවල ඉහළ ගුණාංග අපට දකින්න පුළුවන්. නමුත් ඔවුන් අධ්‍යාපන කටයුතු නිමාකළ පසුව වේදිකාවෙන් ද ඉවත්වන බවයි පේන්නේ. ඔවුන් තම විෂය දැනුම වර්ධනය කරගන්න එක් ව්‍යාපෘතියක් ලෙස නාට්‍ය කරන බවක් පේනවා. ඔවුන් සමහරු තමන් කරන නාට්‍ය හැරුණුවිට වෙනත් නාට්‍ය ගැන දන්නෙත් නැහැ. මෙවර අපි නාට්‍ය උළෙලේදී දැකපු දුර්ගුණයක් තමයි තරුණයන් තමන්ගේ නාට්‍යවලට පමණක් අත්පොලසන් දී වෙනත් ප්‍රවීණයන්ගේ නාට්‍යවලට සම්මාන ලැබෙනවිට නිහඬව සිටීම. ඔවුන් තමන්ගේ නාට්‍යය පමණක් අගය කරන බවයි පේන්නේ. එවැනි ගතිගුණ වෙනස් විය යුතුයි. එහෙම නැතිව දෙවැනි පෙළ ඉදිරියට එන්නේ කොහොමද? ප්‍රවීණයන්ට සුබ පැතීමටවත් තරැණ පෙළ ඉදිරියට එනවා මම දැක්කේ නෑ. රාජ්‍ය නාට්‍ය උළෙලේ ගාම්භීරත්වයට සහ උත්කර්ෂවත්භාවයට එය හානියක්.
නාට්‍ය කලාව වර්ධනය කර ගැනීමට විචාරකයන් ඉඩ සලසනවා. අද නාට්‍ය විචාරයක් සිදුවන්නේ කලාතුරකින් නේද?
පසුගිය කාලයේ ඉංග්‍රීසියෙන් නාට්‍ය විචාරය කරන කිහිපදෙනක් හිටියා. 70—80 දශකවල නාට්‍ය විචාචරය කරන වෙනම පිරිසක් හිටියා. අද එහෙම වෙන්වුණු පිරිසක් නෑ. කලා පිටුව කරන කෙනා සිනමා, නාට්‍ය සියල්ලම ලියනවා. විචාරක වර්ධනයක් පසුගිය කාලයේ දකින්න නොලැබීම කනගාටුදායක කාරණයක්. හොඳ විචාරය නාට්‍යකරුවන්ට අත්වැලක්.
70 දශකයේදී නාට්‍ය විචාර කියවා නාට්‍ය බලන්න යන ප්‍රේක්ෂකයො පිරිසක් හිටියා නේද?
ඇත්ත. නාට්‍යකරුවා ඒ කාලේ විචාරකයන්ට බයයි. විචාරය ඒ කාලේ ප්‍රබල තැනක තිබුණා.
අද උසස් නාට්‍ය වෙනම පෙන්වන අතර ප්‍රහසන නාට්‍ය රැල්ලක් වෙනම පවතිනවා.
මම ඒවාට කියන්නේ කානිවල් නාට්‍ය කියලා. කානිවල් සංගීතය, නැටුම්, ගැයුම්, විහිළු ඔක්කොම කියනවා. ඒවා විනෝදය සපයන දෙවැනි පෙළ නාට්‍ය, නාට්‍යකරුවෝ විශ්වාස කරන්නේ ප්‍රේක්ෂකාගාරයට එන පුද්ගලයා වඩාත් දියුණු තැනකට පත්කර එළියට යැවීය යුතු බවයි. කානිවල් නාට්‍යවලින් කරන්නේ ප්‍රේක්ෂකයා ඉන්න රසිකත්වයෙනුත් පහළට තල්ලු කර දැමීමයි. අවුලෙන් අවුලට පත්වීමට මුදල් වියදම් කරගෙන යාම අනවශ්‍ය බවයි, මගේ හැඟීම.
ගම්වල හුඟ දෙනෙක් නාට්‍ය විදිහට දන්නේ මේ ප්‍රහසන නාට්‍ය පමණයිනේ.
ඒක කනගාටුදායකයි. සංවිධායකයෝ විශ්වාස කරනවා එවැනි නාට්‍යවලට ප්‍රේක්ෂකයො පැමිණේවි කියලා. ඒ නිසා ඔවුන් ඒවායේ දර්ශන සංවිධානය කරනවා. සල්ලි හොයන්න ඒවා පෙන්වනවා. පසුගිය කාලෙ විශිෂ්ට නළුවොත් මේ නාට්‍යවල විකටයන් බවට පත් වුණා.
අද නාට්‍ය කලාව වර්ධනය කර ගැනීමට නම් අනුගමනය කළ යුත්තේ කුමන පියවරද?
අද ප්‍රධාන ප්‍රශ්නය නම් හොඳ නාට්‍ය පෙන්වීමට අවස්ථාව අඩුවීම. සම්මාන ලැබෙන නාට්‍ය ප්‍රදේශ කිහිපයක පෙන්වීමට වැඩපිළිවෙළක් තිබෙන බව සංස්කෘතික අමාත්‍යංශය පවසනවා. ඒක ඉතා හොඳ වැඩක්. ලෝක නාට්‍ය දිනයට පමණක් නාට්‍ය පෙන්වලා වැඩක් නෑ. නාට්‍ය සති වෙනම පළාත්වල පැවැත්විය යුතුයි. නාට්‍යකරැවන් අතර විවිධ කතිකා, වැඩමුළු පැවැත්වීම අවශ්‍යයි. තරැණ පෙළ නාට්‍ය ක්ෂේත්‍රයේ රඳවාගත යුතුයි. රංග ශාලා රටේ බොහෝ පළාත්වල නෑ.
ලංකාවේ කෙටි නාට්‍ය කලාවට තරුණයන් උනන්දු බව පේනවා නේද?
ඔව්. අපේ කෙටි නාට්‍ය ඉතා දියුණුයි. ඔවුන් දිගු නාට්‍යවලට ඒම අවශ්‍යයි. නමුත් කෙටි නාට්‍ය උළෙලින් පසු ඔවුන් දැකගැනීම අසීරැයි. මේ තරැණයන් රුකගැනීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා.
කුසුම්සිරි