මීට දශක දෙකකට පමණ පෙරාතුව අන්තර්ජාලය තිබුණේ අදට වඩා බොහෝ දුරිනි. අන්තර්ජාලය භාවිත කිරීම තබා අන්තර්ජාලය යැයි කියා දෙයක් ඇති බව අසා තිබුණේත් නගරබදව විසූ අතළොස්සක පිරිසක් පමණි. එහෙත් අද දවසේ අන්තර්ජාලය යනු අපගේ එදිනෙදා ජීවිතයේ අනිවාර්ය කොටස්කරැවකු බවට පත්ව තිබේ. ගූගල් යනු දෙවියෙක් යැයි සිතන තරමට අන්තර්ජාලය අද මිනිසාගේ ප්‍රමුඛතාවයක්, අත්‍යවශ්‍යතාවයක් බවට පෙරළී ඇත. අන්තර්ජාලයේ මේ නැතිව බැරිකම ඇතිවන්නේ එමඟින් ලැබෙන සේවාවන් නිසාවෙනි. අන්තර්ජාලයත් නව තාක්ෂණයත් එය පදනම් කරගනිමින් අද දවසේ අපට හමුවන ඇප් සහ වෙබ් අඩවි පිළිබඳවත් අපි අරඹන මේ ලිපි පෙළ හරහා අරමුණු කෙරෙන්නේ අන්තර්ජාලය ඔබට තවදුරටත් සමීප කරවීමය. නැතහොත් අන්තර්ජාලයෙන් තවදුරටත් ප්‍රයෝජන ලබාගන්නා ආකාරය පිළිබඳ දැනුම වැඩි කිරීමය. ඒ අනුව අද අපේ අවධානය යොමුවන්නේ අන්තර්ජාලයෙන් බඩු මිලදී ගන්නා ආකාරය පිළිබඳවය.
එදිනෙදා කටයුතුවලට අවශ්‍ය හාල් සිල්ලර ටිකේ සිට රූපවාහිනී, ශීතකරණ වැනි විදුලි උපකරණය දක්වා සියල්ල අප මිලදී ගැනීමට හුරැව සිටියේ වෙළෙඳසලට නැතහොත් ගෘහභාණ්ඩ ප්‍රදර්ශනාගාරයට ගොසිනි. එහෙත් කාලය යනු මුදල් බවට පත්වීමත් සමඟ වෙළෙඳසලට ගොඩවීමට කාලය, ශ්‍රමය සොයාගැනීමේ ගැටලුවක් මතුවිය. ඊට තාක්ෂණයෙන් ලැබුණු පිළිතුර වූයේ අන්තර්ජාල සාප්පුකරණය හෙවත් ඊ වාණිජ්‍යයයි.
ලංකාව තුළ ද යුරෝපයේ තරම් නොවූවත් ඊ වාණිජ්‍ය සම්බන්ධයෙන් සැළකිය යුතු දියුණුවක් පසුගිය වසර පහක හයක කාලය තුළදී දැකගැනීමට හැකිවිය. අන්තර්ජාලයේ මෙන්ම ස්මාට් ජංගම දුරකථන සේවාවන්හි පුළුල් වර්ධනයත් මෙම අන්තර්ජාල සාප්පුකරණයේ දියුණුවට හේතුවී යැයි සැළකීම නිවැරදිය.
කාලයත් මුදලුත් ඉතිරි කරදෙන අන්තර්ජාල සාප්පුකරණය යනු වර්තමානයේදී කිසිසේත්ම සංකීර්ණ කටයුත්තක් නොවේ. එහෙත් අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගැනීම ලංකාව තුළ ඇත්තේ තවමත් වර්ධනය විය යුතු මට්ටමකය.
අන්තර්ජාලෙයන් භාණ්ඩ මිලදී ගැනීමේදී අපේ රට තුළ ජනප්‍රිය වෙබ් අඩවි කිහිපයක්ම හඳුනාගත හැක. ඒ අතර daraz.lk, takas.lk, kapruka.com වැනි සමාගම් ද eBay, amazon, Alibaba වැනි විදේශීය සමාගම් ද පෙරමුණ ගනී.
අන්තර්ජාලයෙන් භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා ඇති පියවර සරලව මෙසේ දැක්විය හැක.
පළමුව කළ යුත්තේ විශ්වාසනීය වෙබ් අඩවියක් තෝරාගැනීමයි. ඉහත කී වෙබ් අඩවි ඇතුළු ඕනෑම විශ්වාසනීය වෙබ් අඩවියකට පිවිස තමන්ට අවශ්‍ය භාණ්ඩය එහිදී සොයාගැනීමට පුළුවන. එහෙත් වඩාත්ම ජනප්‍රිය ක්‍රමය වන්නේ තමන්ට අවැසි භාණ්ඩය ගූගල්හි ටයිප් කිරීමෙන් අනතුරුව තිරය මත මතුවන වෙබ් අඩවි අතුරින් එකක් තෝරාගැනීමය. උදාහරණයක් ලෙස ලැප්ටොප් පරිගණකයක් අන්තර්ජාලයෙන් මිලදීගන්නේ නම් Laptop prices in Sri Lanka යනුවෙන් ගූගල් මත ටයිප් කිරීමෙන් එවැනි වෙබ් අඩවි රාශියක් විවෘත කරගත හැකිවේ.
එසේ කැමැති වෙබ් අඩවියකින් අදාළ භාණ්ඩය තෝරාගත් විට කළ හැකි දේ වන්නේ අදාළ භාණ්ඩය සතු විස්තරය කියවා බැලීමය. එහිදී විශේෂයෙන්ම අදාළ භාණ්ඩයට ලබාදෙන වගකීම, මුදල් ගෙවූ අවස්ථාවේ පටන් කොපමණ දින සංඛ්‍යාවකින් භාණ්ඩය ලැබේද?, භාණ්ඩය ප්‍රවාහනය සඳහා අමතර ගාස්තුවක් අය කෙරේද ආදී කරුණු ගැනද සැළකිලිමත් විය යුතුය. තවත් වැදගත් කරැණක් වන්නේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් හරහා මිලදී ගැනීමෙන් යම් වට්ටමක් හිමිවේද යන්න පිළිබඳ සොයා බැලීමය. බොහෝ විට ප්‍රධාන බැංකුවල ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම ද මේවාට අන්තර්ගතය.
තව ද එම භාණ්ඩය ඒ හා සමාන වෙනත් භාණ්ඩ සමඟ සංසන්දනය කරබැලීමේ අවස්ථාව ද බොහෝ වෙබ් අඩවිවලින් හිමිකරදී තිබේ.
තමන් අදාළ භාණ්ඩය මිලදී ගැනීමට තීරණය කළ පසු සිදුකළ යුත්තේ එහි ඇති Buy හෝ Add to basket බොත්තම එබීමයි. ඉන් අනතුරැව ඔබ යොමුවන්නේ ඔබේ පෞද්ගලික විස්තර ඇතුළත් කිරීමේ තීරැවටය. එහිදී ඔබේ නම, ලිපිනය, විද්‍යුත් ලිපිනය, ජංගම දුරකථන අංකය ආදිය යෙදීමට හිස්තැන් හිමිවේ. මෙහිදී බොහෝ වෙබ් අඩවිවලින් එම වෙබ් අඩවිය තුළ ඔබටම වෙන් වූ ගිණුමක් සාදා ගැනීමට යෝජනා කෙරෙන නමුත් එය බොහෝවිට අත්‍යවශ්‍යතාවයක් වන්නේ නැත. එහෙත් නිරන්තරයෙන් අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදීගැනීමට බලාපොරොත්තු වන අයකුට නම් එවැනි ගිණුමක් විවෘත කිරීම ප්‍රයෝජනවත් වනු නිසැකය. මන්ද සෑම වතාවකදීම තම පෞද්ගලික තොරතුරැ ඇතුළත් කිරීමට සිදුනොවන අතරම තමන්ගේ මිලදීගැනීම් පිළිබඳ වාර්තා තබාගැනීමටත් එය උපකාරී වේ.
අවසානයේ කරන්නට ඇත්තේ ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත් අංක යෙදීමය. එය අවශ්‍ය වන්නේ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් ගෙවීම් සිදුකරන්නේනම් පමණි. එම අදියර ද සම්පූර්ණ කිරීමෙන් පසු ඔබට මිලදීගැනීම තහවුරු කරමින් විද්‍යුත් පණිවුඩක් ලැබෙන අතර එම පණිවුඩයේ මිලදීගැනීමට අදාළ පරිග්‍රහණ අංකයක් (Reference number) ද හිමිවේ. යම්කිසි හෙයකින් භාණ්ඩය ලැබීමේ ප්‍රමාදයක් හෝ කිසියම් ගැටලුවක් මතු වුවහොත් ඊට අදාළ විමසීම් කළ යුත්තේ එම පරිග්‍රහණ අංකය ඉදිරිපත් කරමිනි.
අතීතයේදී අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදීගැනීමට ක්‍රෙඩිට් කාඩ්පතක හිමිකරැවකු වීම අනිවාර්ය කරැණක් විය. නමුත් අද වන විට එම තත්ත්වය බොහෝ දුරට වෙනස් වී තිබේ. ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම්වලට අමතරව භාණ්ඩය ලැබුණු අවස්ථාවේදී ගෙවීම (Cash on delivery), බැංකු මුදල් හුවමාරුව හරහා ගෙවීම (Online transferring), බැංකු තැන්පතු හරහා ගෙවීම (Bank deposits), මොබයිල් කෑෂ් සේවා හරහා ගෙවීම ආදී පහසු ක්‍රමවේද භාවිත කිරීමේ අවස්ථාව ද හිමිවේ. නමුත් ඒ අදාළ වෙබ් අඩවියේ එම සේවා ලබාදෙන්නේ නම් පමණි.
මේ අනුව ගත්කළ අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදීගැනීම යනු අතිශය සරල පියවර කිහිපයක ක්‍රියාවලියකි. නමුත් එය කළයුත්තේ ප්‍රවේශමෙනි.
අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදීගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු
වෙළෙන්දා කවුරුන්ද යන වග
ඔබ ඇතැම්විට පිළිගත් වෙබ් අඩවියක් හරහා අන්තර්ජාල සාප්පුකරණයේ යෙදෙනවා විය හැක. නමුත් යම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී ඔබ වැඩිම සැළකිල්ලක් දැක්විය යුත්තේ ඔබ මිලදී ගැනීමට සූදානම් වන භාණ්ඩය අලෙවිකරන තැනැත්තා හෝ ආයතනය කුමක්ද යන්නයි. මන්ද බොහෝ විට අදාළ භාණ්ඩය සපයන්නේ ඔබ සම්බන්ධවන වෙබ් අඩවිය නොවේ. වෙබ් අඩවියෙන් සිදුකරනු ලබන්නේ අතරමැදියකු ලෙස සේවා සැපයීමක් පමණි. එහිදී අලෙවිකරැ පිළිබඳ විශ්වාසය ගොඩනගා ගැනීමේදී වෙබ් අඩවිය තුළ අදාළ අලෙවිකරැට ලැබී ඇති සහතිකය කෙබඳුද යන්න විමසා බැලීම වටී. ඇතැම් වෙබ් අඩවිවල තරැ අගයන්ගෙන් අදාළ අලෙවිකරැවන්ගේ හොඳ නරක ගැන අදහසක් සැපයේ. එමෙන්ම බොහෝ වෙබ් අඩවිවල ඒ ඒ අලෙවිකරුවන්ට වෙන්වුණු වෙනම වෙබ් පිටු දක්නට ලැබෙන අතර ඒවායේ එම අලෙවිකරැවන් පිළිබඳ අතීත පාරිභෝගිකයන් දැක්වූ අදහස් ද පළ කර තිබේ. එම අදහස් කියැවීමෙන් ද අලෙවිකරැ පිළිබඳ විශ්වාසය ගොඩනඟා ගත හැක.
වගකීම
අන්තර්ජාලය හරහා භාණ්ඩයක් මිලදී ගැනීමේදී එහි වගකීම පිළිබඳ සොයාබැලීම අතිශය වැදගත් කරුණකි. විශේෂයෙන්ම ඔබ අතට අල්ලා බලා ස්පර්ශ කර හෝ නොමැති භාණ්ඩයක් මිලදී ගන්නා විට වගකීමේ සහතිකය පිළිබඳ වඩාත් අවධානය යොමුකළ යුතුය. එමෙන්ම භාණ්ඩය ලැබීමෙන් පසු දින 14ක් හෝ 21ක් තුළ එම භාණ්ඩයේ ප්‍රමිතිය පිළිබඳ තෘප්තියක් නැත්නම් හෝ තමා ඇණවුම් කළ භාණ්ඩයම ලැබී නොමැති නම් භාණ්ඩය නැවත හරවා යැවීමේ පහසුකම පවතී ද යන්න ද විමසා බැලිය යුතුය.
බදු සහ ගාස්තු ගැන දැනුවත් වීම
අන්තර්ජාලය තුළ අපිට හමුවන භාණ්ඩවල බැලූ බැල්මටම අඩු මිල ගණන් දක්නට ලැබුණත් විශේෂයෙන්ම ඒවා මෙරටට ආනයනය කිරීමේදී අතිරේක බදු මුදලක්, ගාස්තුවක් ගෙවීමට සිදුවේද යන්න පිළිබඳව ද සැළකිලිමත් වීම වැදගත්ය. නැතහොත් අන්තර්ජාල සාප්පුකරණය තුළින් ඔබට වාසියකට වඩා පාඩුවක් සිදුවීමට ඉඩ තිබේ.
විදුලි භාණ්ඩ ගැලපෙනවාද යන්න
බොහෝ විට පිටරට හරහා අන්තර්ජාලය ඔස්සේ විදුලි භාණ්ඩ ගෙන්වීමේදී ඔබ සැළකිල්ලට ගත යුතු වැදගත් කරුණක් වන්නේ එම විදුලි භාණ්ඩය ක්‍රියාත්මක වීමට අවශ්‍ය විදුලියේ වෝල්ටීයතාව කුමක්ද යන්නයි. මන්ද මෙරට තුළ භාවිත කළ හැක්කේ 100-240 V වෝල්ටීය අගයෙන් යුත් විදුලි භාණ්ඩ පමණි.
මේ කරුණු පිළිබඳ සැළකිල්ලකින් යුතුව අන්තර්ජාල සාප්පුකරණයේ යෙදීමෙන් ඔබට කාලය මෙන්ම මුදල් ද විශාල ප්‍රමාණයකින් ඉතිරි කරගත හැකි වනු ඇත. එමෙන්ම ඔබ තවමත් කිසිදිනෙක අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදීගෙන නැත්නම් පළමු පියවරේදී අඩු වටිනාකමක් ඇති සුළු භාණ්ඩයක් මිලදී ගැනීමෙන් ක්ෂේත්‍රය ගැන අවබෝධයක් ලබා ගැනීම වඩා නුවණට හුරැය.
රෙහාන්