2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

ඡන්ද වසරක්?

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 203

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මොහොතේ උදාවූ රාශිය හා ග්‍රහ පිහිටීම සැළකිල්ලට ගෙන ඒ ඒ දේශයන්හි වෙසෙන ජනතාවගේ ඉදිරි ගමන් මඟ පිළිබඳ අනාවැකි පැවසිය හැකිය. ඔවුන්ගේ දියුණුව පරිහානිය සිදුවේද, පෞද්ගලික අපේක්ෂා ඉටුකර ගනීද එසේම අවශ්‍ය ඉලක්ක කරා යාමට ඇති බාධක කවරේද යන්න පිළිබඳ පැවසිය හැකිය. එසේම ආර්ථික තත්ත්වය සමාජමය ගැටලු හා විසඳුම් ආදී සෑම දෙයක් පිළිබඳව පලාඵල කිව හැකි අවස්ථාවකි.

නමුත් කිසියම් රටක ජීවත් වන ජනතාව විසින් නිර්මාණය කරන ලද පරිසරයට අනුගතව ග්‍රහයන්ගේ බලපෑම සිදුවන බව වැඩි දෙනා නොදන්නා රහසකි. රටේ හෝ ලෝකය ආශ්‍රිත ග්‍රහ පිහිටීම්වලට වඩා එදිනෙදා මුහුණ දෙන පාරිසරික ගැටලු හා ඒවාට ලැබෙන පිළියම් ආදියද මෙයට බලපායි. අද රටේ පොදු ප්‍රවාහන පද්ධතිය අතිශයින් පිරිහී ඇත. මෙමගින් දැඩි මගී තදබදයක් තුළ වරැ ගණන් කාලය කා දමමින් කොන්දොස්තරගේ රැවුම් ගෙරවුම් මධ්‍යයේ තෙරපෙමින් ඇඹරෙමින් දහඩිය හෙළමින් බසයකින් තම සේවා ස්ථානය වෙත ගමන් ගන්නේ දැඩි පීඩනයකි. තවත් කෙනෙක් එම මාර්ගයේම තම අධි සුඛෝපභෝගී වාහනයක සුවපහසු අසුනක හිඳ කෙටි කාලයක් තුළදී තම සේවා ස්ථානයට යන්නේ දැඩි ප්‍රබෝධයකිනි. මෙය රටවල් දෙකක නොව එකම රටේ  පොදු හා පෞද්ගලික ප්‍රවාහන පද්ධතියේ ස්වභාවයයි. එවැනි තත්ත්වයන්ට පත් කරන්නේ ග්‍රහයන් නොව මිනිසා විසින් නිර්මාණය කරගත් පරිසරයයි.

ඒ පරිසරය තුළ ඔහුගේ සිතේ පහලවන හැඟීම් හා ඒ ආශ්‍රයෙන් කරන ක්‍රියාවල දැඩි විෂමතාවක් පවතී. ඒ නිසා පුද්ගලයාගේ හෝ රටේ ග්‍රහ පිහිටීම්වලට වඩා ඔහුගේ සිතුම් පැතුම් හා ක්‍රියා යහපත් හෝ අයහපත් ප්‍රතිඵලවලට හේතුවේ. ඒ නිසා දෛවඥයන් පවසන ග්‍රහ පලාපල වෙනස්විය හැකිය. එයට ජ්‍යොතිෂයට වගකිව නොහැක.

මෙවර සූර්ය සංක්‍රාන්ති මොහොතේ ග්‍රහචාරය

2018 අප්‍රේල් 14 උදේ 8.13ට ප්‍රබල ග්‍රහයන් සියලු දුෂ්ඨ ස්ථානවල පිහිටයි. හතර කේන්දරය පාලුවට ගොසිනි. 11 වැන්නේ බුධ අෂ්ඨාටාම්‍ය දෝෂයට ලක්ව හා නීචව ඇත. ඒ සමඟ විපරීත රාජ යෝග පිහිටා ඇත. බලාපොරොත්තු නොවූ දේශපාලන වෙනස්කම් රැසකට භාජනය වන වර්ෂයකි. රටේ පෙරළි රැසක් සිදුවීමට නියමිතයි.

හදිසියේ පවත්වන මැතිවරණ ඇතිවේ. වෙන කවරදාකටත් වඩා ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව සිදුවෙයි. ආරක්ෂක හමුදාවලට හා පොලීසියට වැඩ වැඩිවේ. කැරළි කෝලාහල, මිනී මැරුම්, රාජ්‍ය නායකයන්ට අපල ගෙනදෙයි.

ගොඩනැගිලි කඩා වැටීම්, ජල විපත්, නායයාම් ආදිය ද වැඩියෙන් සිදු වේ. කෙසේ වෙතත් අප මුලදී පෙන්වා දුන් පරිදි පරිසරයේ හා ජනතාවගේ ක්‍රියාකාරකම් නිසා මෙම තත්ත්වයේ යහපත් හෝ අයහපත් වෙනසක් ඇති විය හැකිය. එබැවින් ජනතාව වඩාත් වගකීමෙන් යුක්තව යහපත් ක්‍රියාවල යෙදී මේ වසරේ රටට සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට ද තම තමාටම යහපතක් සිදුකර ගැනීමටද උනන්දු වීම ද මැනවි.

ජ්‍යොතිෂවේදී ඩබ්ලිව් තිලක් ද සිල්වා
මාලඹේ.