2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

අපි උපදිනකොටම පරාද වෙච්ච මිනිස්සු

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

එක්කෝ ඒලෙවල්වලින් පස්සෙ නැත්නම් කැම්පස් එකෙන් පස්සේ ගොඩක් දෙනෙක්ගේ අනාගතේ දිනන මූලෝපාය වෙලා තියෙන්නෙ රට යන එකයි. ටිකක් ඉගෙන ගෙන තියෙන එහෙමත් නැත්නම් ඥාති සම්බන්ධයක් එහේ තියෙන කෙනෙක්ට නම් ඕස්ට්‍රේලියාව, නවසීලන්තෙ වගේ ටිකක් හොඳ රටකට පැනගන්න චාන්ස් එක තියෙනවා. එහෙම බැරි කෙනාත් බලන්නේ විභාගෙ ලියලා කොරියාවට හරි නැත්නම් මැදපෙරදිග හරි පැන ගන්නයි. 

ඒත් සමහරු එහෙම යන්න අකමැතිකමට හරි නැත්නම් බැරිකමට හරි කියන කතාවක් තමයි පිටරටකට ගියොත් අපි එහේ දෙවැනි පන්තියේ මිනිස්සු වෙනවා කියන එක. සුද්දෝ ගොඩක් මැද්දෙ ඉන්දැද්දි හමේ වර්ණෙ හින්දම අපි එතැනට නොගැලපෙන බවක් තියෙනවා කියලා. හැබැයි ඔය කතාවට හොඳ උත්තරයක් ෆේස්බුක් හරහා එංගලන්තෙ හරි කැනඩාවෙ හරි ජීවත් වෙන ඩොක්ටර් කෙනෙක් දාලා තිබ්බා. ලොකු කතාවක් කියලා ඔහු මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහලා තිබ්බා. 

ඇයි අපි ලංකාවේ ජීවත් වෙන්නෙ පළමු පුරවැසියන් විදිහට ද? 

පත්තරේ වැඩට ඇවිත් ටික කාලෙකට පස්සේ ඉන්ටර්වීව් එකකට ජිප්සීස් නායක සුනිල් පෙරේරව මුණගැහෙන්න ගියා, රත්මලානට. යද්දි සුනිල් අයියා මොකක් හරි ටීවී කොමර්ෂල් එකක වැඩක හිටියෙ. ඒක ඉවරවෙලා අපි දෙන්නා කතාවට ලෑස්ති වුණා. මාත් ටේප් රෙකෝඩරේ එයායි හිටපු මේසෙ උඩින් තියලා කතාවට ලෑස්ති වුණා. 

කොලුවෝ මෙහේ තේ කෝපි නෑ බං. දාගනින් මේකෙන් ටිකක්. ඔහු සැරයටියක් අතින් ගත්තු මිනිහෙක් ඇවිදගෙන යන බෝතලයක් මගේ දිහාවට ළං කළා. ඔහුගේ ඒ ආගන්තුක සත්කාරෙ නොපිළිගෙන ඉන්න කොච්චර උත්සාහ කළත් හරිගියේ නැහැ. කතා කරන්න නම් ආගන්තුක සත්කාරෙ පිළිගන්නම ඕනෙ බව තේරුම් ගියා. 

මිනිත්තු කීපයක් ගියා. තාම කතාබහ පටන්ගත්තෙ නෑ. 

සුනිල් අයියේ අපි කතාකරමුද? 

උඹේ වයස කීයද? ප්‍රශ්නෙ එල්ල වුණේ මට. 

විසි පහයි. 

සුනිල් අයියා ටිකක් කල්පනා කළා. 

ඔය ඇති... හොඳටම ඇති... ඔය රෙකෝඩරේ අකුලා ගනින්. දැන්මම පලයන්... 

මාව තක්බීර් වෙලා ගියා. 

උඹලා තාම තරුණයි. මේ රටේ ජීවත් ‍වෙන්න එපා බං. පලයන් වෙන රටකට. මේ රට ජීවිත් වෙන්න හොඳ රටක් නෙමේ බං. 

අන්තිමේදී ආපු කාරණේ පැත්තක තියලා විනාඩි විස්සක් තිහක් සුනිල් අයියගේ දේශනාවට කන්දීගෙන ඉන්න වුණා. හැබැයි ඒ මිනිත්තු කීපය හරිම හෘදයාංගම බවකින් පිරුණු දැනුත් මතක් කරද්දි සංවේදී වෙන මොහොතක්. 

ගොඩක් සහෝදරවරු “සහෝදරයා” කියන වචනේ ඕනවටත් වඩා දූෂණය කරලා තියෙන හන්දා නාමල් ජයසිංහ “සහෝදරයා” කියලා නමකුත් දාගෙන නාට්ටියක් කරද්දි ගොඩක් අය හිතුවේ ඒක වමට බර නාට්ටියක් වෙන්න ඇති කියලා. හැබැයි නාමල් “සහෝදරයාට” පෙර නොතිබ්බ වටිනාකමක් එකතු කළා. නාමල් මුළු මහත් සමාජයක් ඉස්සරහා සහෝදරයෙක් වෙලා තමන්ගේ හිතේ කැකෑරෙමින් තිබ්බ හැඟීම් ටික රූපවලින්, වචනවලින් අපිට කිව්වා. 

“අපි උපදිනකොටම පරාදවෙච්ච මිනිස්සු” රොෂාන් රවීන්ද්‍ර එහෙමත් නැත්නම් අජන්තගේ කටින් ඒ වචන ටික පිටවුණේ නාට්ටියේ අන්තිම එපිසෝඩ් එකේදි. 

ෆේස්බුකියෙන් මුණගැහිච්ච ඩොක්ටර්ගේ වචන ටිකයි, සුනිල් අයියා පැය භාගයක් විතර තිස්සේ කියපු කතා ටිකයි, නාමල් ජයසිංහ වචන පහකින් කියලා දැම්මා. 

රටේ බහුතරය වන සාමාන්‍ය මිනිස්සු ජීවත්වෙන්නේ අපේ රටේ අයිතිකාරයින් විදිහට නෙමේ. කුලියට පදිංචි වෙච්ච එවුන් ගාණටයි. බඩ වියත ඇරැණම මේ රටේ වර්ග කිලෝමීටර හැටපන්දාස් හයසිය දහයක් ඇතුළෙ වෙන දේවල් ගැන බහුතරේකට ගාණක් නෑ. මොකද ඒක අර වියතෙන් එහා තියෙන දෙයක් නිසා. අනිත් අතට පොලිසියකට ගියත්, වෙන ඕනම ආණ්ඩුවේ කන්තෝරැවකට ගියත් පොඩි මිනිහට පොඩි සැළකිල්ලත්, ලොකු මිනිහට ලොකු සැළකිල්ලත් කියන්නෙ රටේ සාමාන්‍යකරණය වෙච්ච දෙයක්. 

ඉතින් එහෙම වෙද්දි මේ රටේත් පළමු පන්තියේ පුරවැසියෝ දෙවැනි පන්තියේ පුරවැසියෝ කියලා දෙගොල්ලක් හැදෙන එක ස්වභාවිකයි. 

හැබැයි සහෝදරයා අපිව අතරමං කළේ නැහැ. සහෝදරයා අලුත් බලාපොරොත්තුවක් දෙනවා. මේක අරගලයක්. ඒ අරගලය දිනන්න අපි හැම කෙනාටම ඉතිහාසයෙන් පැටවුණු කාර්යභාරයක් තියෙන බව මතක් කරලා දෙනවා. එකෙක් ඉඩම තෝරනවා, තව එකෙක් ඉඩම කොටනවා, වෙන එකෙක් වල් උදුරනවා. වෙනම එකෙක් බීජ වපුරනවා. පැල් රකින්නේ තවත් එකෙක්. ඒ එකෙක් වත් දන්නෙ නෑ සමහරවිට කවුද අස්වැන්න නෙළන්නෙ කියලා. හැබැයි අස්වැන්නට එනකල් සේරම පියවර ටික හරියට කරනවා. ඉතින් ඒ ටික හරියට කළොත් අස්වැන්න නෙළන්නෙ කවුරු වුණත් හොඳ අස්වැන්නක් ලැබෙන බව නම් විශ්වාසයි.

► ජා

 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00