“කොණ්ඩෙ කැපීම යනු එසේ මෙසේ කටයුත්තක් නොවේ. එය සමාජ විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක සහ ආර්ථික විද්‍යාත්මක කරුණු රැසක එකතුවකි. ඒ ගැන මට ඇති පරණම මතකය නම් මත්තේගොඩ නැෂනල් සැලූන් එකෙන් කොණ්ඩෙ කැපූ සමයයි. ඒ 1980 දශකයේ අග භාගයේදී සහ 90 දශකයේ මුල වගේ. ස්ටයිල් කැපීමකට අවසර නැත. නෑඹිලි කට් එක පමණි. “හොඳින් කොට කරන්න” යන පියාගේ විධානයෙන් එහා ස්ටයිල් එකක් කැපීමට නැෂනල් සැලූන් එකේ සුදු සරම්කාර බාබර්ට අවසර නැත.
කතුරෙන් කපා ඉවරවූ පසු රිදී පාට මොකද්දෝ ටිකි ටිකියක් කන් වටේට බෙල්ල වටේ ගෙනියයි. ඊටපසු එළඹෙන්නේ බිහිසුණු දැලි පිහි හරඹයයි. කොහොමත් හං කිති කාරයෙක් වන මට මේ දැලිපිහි හරඹය ඉවසා වැදෑරීම පහසු කටයුත්තක් නොවේ. බෙල්ලේ කඩියෙක් යනවා වගේ දැනුණත් ඉවසා සිටින්නේ පොඩ්ඩ ගැස්සුණොත් “හිස නැති කඳක්” බවට පත්වේය යන භීතිය නිසාය. කොණ්ඩය කපාගෙන ඉවර වූ පසු නෑඹිලි කට් මම මහත් ශෝකයෙන් යතුරුපැදියට නගින්නේ කවදානම් මට “මයිකල් නයිට්” ගේ මෙන් කොණ්ඩය කැපීමට ලැබේවිද යන වේදනාව සිතේ සිර කරගෙනය. බටහිර කතාවල ඉන්න පොඩි එවුන් මොනතරම් ස්ටයිල් එකට කොණ්ඩෙ තියාගෙන ඉන්නවද? ඇයි අපේ රටවල්වල මෙහෙම?
කොණ්ඩය පැත්තෙන් පීරීමට (වීරසිරි කට්) එකට මිසක් වෙන කට් එකකට පාසැලෙන් ද ගෙදරින්ද අවසර නැත. මා හය වසරේ ඉගෙන ගන්නා කාලයේ මැදින් බෙදීමේ ස්ටයිල් එක ජනප්‍රිය වී තිබුණි. නමුත් එය ඉතා නොහොඹිනා ක්‍රමයක් බව වැඩිහිටියන්ගේද දහම්පාසලේ ගුරුවරුන්ගේ ද තීරණය වී තිබූ නිසා මට ඒ අවස්ථාවද අහිමි විය. කොණ්ඩය මැදින් බෙදා කන් වටේට පොඩ්ඩක් අඩුවෙන්න කැපීමේ ස්ටයිල් එකට මොනතරම් ආස වුවද ඒ සඳහා අවසර නොවීය. පාසැලේ ශිෂ්‍ය නායකයින්ටද මැදින් බෙදන උන් ඇල්ලීමට වෙනම පඩියක් ගෙව්වාක් මෙනි. දිනක් මම හොරෙන්ම මැදින් බෙදාගෙන පාසැල් ගියෙමි. හදිස්සියේම එක් ශිෂ්‍ය නායකයෙක් “මෙන්න මැදින් බෙදලා. ඕක පැත්තට පීර ගන්නවා” යැයි තග දැමීය. පුදුමයක් වූයේ එසේ කියූ නායක උතුමාද මැදින් බෙදාගත් එකෙකු වීමය. නමුත් මම ඒ ගැන ප්‍රශ්න නොකළේ මිනිහා දිග කලිසමක් ඇඳ සිටි නිසා සහ මම කොට කලිසමක් ඇඳ සිටි නිසාය. ඔය මැදින් බෙදන ක්‍රමය උග්‍ර වුණේ ටයිටැනික් චිත්‍රපටය කාලයේය. පාර පුරා හද්ද හපුටු ඩිකැප්‍රියෝලා වැහි වහින්නට වූහ.
පෙට්ටියක් මෙන් උඩට පීරන ක්‍රමයක් ද අත්හදා බැලුවෙමි. නමුත් එවිට “මල්ලී කරන්ට් වැදිලද?” කියා අසන එවුන් වැඩි වූ නිසා ඒ ක්‍රමයද මම අත්හැර දැමුවෙමි. පැත්තෙන් පීරා අනික් පැත්තෙන් මඳක් පහත් වන අමුතුම ක්‍රමයක්ද මම දිනක් අත්හදා බැලුවෙමි. “ආ දේව් ආනන්ද් වගේ” කියා වැඩිහිටියෝ කියන්නට වීම නිසා එයද නවතා දැමූවෙමි. මොකාද යකෝ දේව් ආනන්ද්? ඌත් මිනිහෙක්ද?
කොහොමින් කොහොම හරි සාපෙළ ලියන තුරුම මගේ කොණ්ඩය මගේ නොවීය. මා කැමති නළුවෙක්ගේ මෙන් කොණ්ඩය තබා ගැනීමට මම බොහෝ උත්සාහ කළෙමි. නළුවාට උගේ එම පෙනුම ලැබී තිබෙන්නේ තනිකරම උගේ කොණ්ඩයෙනි යන මිත්‍යා දෘෂ්ඨිය මනෝභ්‍රාන්තියක් බවට පත්වන්නේ මොන විදිහට කොණ්ඩේ කැපුවත් කණ්ණාඩියෙන් පෙනෙන කොණ්ඩය පමණක් තරමක් වෙනස් වූ පැරැණි සත්ත්ව රෑපයම දැකීමෙනි. මෙයට පිළියමක් ලෙස කරන්නේ සැලූන් එක මාරු කිරීමය.
කොහොමවුණත් අදටත් මට ගැලපෙන ඉස්ටයිල් එක හමු වී නැත. නමුත් මම උත්සාහය අත නොහරිමි. මැරෙන්නට පෙර එය මම සොයා ගනිමි.
► අනුෂ්ක තිලකරත්න