මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකයට ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේරාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරුය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනෙකු සමඟ කළ සංවාද සටහන් පෙළක දාහත් වැන්නයි. මෙවරත් අප හා කතාබහට එක්වූයේ නිහතමානී වෑකඩගෙදර මහත්මියයි. ඈ ඉංග්‍රීසි සහ ජර්මානු භාෂාවලින් සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙන්නීය.
කණාමුට්ටි බින්ද සුද්දෝ
අලුත් අවුරුද්ද උදාවෙන්නට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. මුළු මහත් පරිසරයම සිංහල අලුත් අවුරුද්දට සැරසෙමින් සිටියදී ලංකාවට එන සංචාරකයන්ට ද ඒ වෙනස දැනෙන බවට සැකයක් නැත. උත්තරාර්ධ ගෝලයේ රටක් ලෙස අපි අප්‍රේල් මාසයේ සමරන්නේ වසන්තයේ උදාවයි. වසන්ත උදාවට ලංකාවට එන ජර්මානු සංචාරකයන් ද මේ අලුත් අවුරුදු සිරිය විඳගැනීමට දක්වන්නේ මහත් රුචියකි.
වරක් අලුත් අවුරුදු සමයේ ලංකාවට පැමිණ සිටි ජර්මානු සංචාරක පිරිසකගෙන් නිහතමානීට ඉදිරිපත් වුණේ තරමක වෙනස් ඉල්ලීමකි. අලුත් අවුරුද්දත්, අලුත් අවුරුද්ද හා බැඳුණු ජන ගී, ජන ක්‍රීඩා වැනි බොහෝමයක් දේ ගැන නිහතමානී ඒ වනවිටත් මේ අයට කරුණු විස්තර කර දී තිබුණි.
“අපිටත් ඕනෙ අවුරුදු උත්සවයකට ගිහින් සෙල්ලම් කරන්න. ඔයාට පුළුවන්ද එහෙම දෙයක් ලෑස්ති කරන්න” ඔවුහු එකහඬින් ඉල්ලා සිටියහ.
අවුරුදු උත්සව ගැනත්, අවුරුදු කෙළි සෙල්ලම් ගැනත් රස කරමින් කියද්දී මෙවැනි අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි නිහතමානීට නිකමටවත් සිතුණේ නැත. එහෙත් දැන් ඉල්ලීම ඉටු කළ යුතුමය.
මහනුවර තෙල්දෙණියට ආසන්නයේ පිහිටි සම්ප්‍රදායික ගැමි පරිසරය සහිත ගම්මානයක් ගැන ඇගේ මතකයට ආවේ ක්ෂණයකිනි. කටු මැටි බිත්ති ගැසූ පාරම්පරික ගෙපැල් සහිත මේ ගම්මානය ජර්මානු සංචාරකයන්ට අලුත් අත්දැකීමක් හිමිකර දෙනු ඇති බවට ඈට හොඳ විශ්වාසයක් තිබුණි. දින කිහිපයකදී මේ ගම්මානය තුළ තම ජර්මානු සංචාරකයන් පිරිස වෙනුවෙන් අවුරුදු උත්සවයක් සූදානම් කරගැනීමට ඈ සමත් වූවාය.
“අපේ ගෘප් එකේ පොඩි ළමයි කිහිප දෙනෙකුත් හිටියා. ඉතින් ඒ අයට මේක හොඳ විනෝදයක් වෙයි කියලා මට හිතුණා”
ඔවුන් එහි යනවිට හිතුවාටත් වඩා හොඳින් සියල්ල සංවිධානය වී තිබුණි. කඹ ඇදීම, කනා මුට්ටිය බිඳීම, දෙහි ගෙඩිය හැන්ද මත තබා යාම, කොළපත් රේස්, බැලුම් පිපිරවීම වැනි ක්‍රීඩා කිහිපයකම නිරත වන්නට ඔවුන්ට අවස්ථාව ලැබුණි. කෙළි සෙල්ලම් කෙරුණේ ගමේ කමතේදීය. කමතට පිළී දෑ ගෙන එන සිරිතක් නැති නිසා බිත්තර පාස් කිරීම වැනි සෙල්ලම්වලට එහි ඉඩක් තිබුණේ නැත.
“එයාලා හොඳටම විනෝද වුණේ කනා මුට්ටිය බිඳින එකෙන් තමා. ලොකු පොඩි භේදයකින් තොරව හැමෝම ඒකට ආසා වුණා. කොළපත් පදින එකටත් ඒගොල්ලෝ ගොඩක් ආසවුණා. හැබැයි වැඩේ කියන්නේ අපි ගිහිල්ලා කොළපත් පදිනකල් ඒ ගමේ මිනිස්සුත් එහෙම දෙයක් ගැන දැනගෙන ඉඳලා නෑ. තව අර කොපර කොපර පිපිඤ්ඤා කියන සෙල්ලමත් කළා. හැබැයි ඒක එයාලට තේරුම් කරලා දෙන්න නම් සෑහෙන මහන්සි වෙන්න සිද්ධ වුණා”
නිහතමානී සහ ගමේ උදවිය කොපර කොපර පිපිඤ්ඤා ගීය කියද්දී ජර්මානු පොඩ්ඩෝ ඒ තාලයටම යන ජර්මානු ගීයක් ගැයූහ. සතුට, සිනහව මැදින් හෝරා කිහිපයක් එසේ ගෙවී ගියේය.
අවුරුදු ක්‍රීඩා නිමා වනවිට මධ්‍යාහ්නය ද පසු වී තිබුණි. කමතට ඇඹුල ගෙනාවේ ඒ මොහොතේ ය. සංචාරකයන්ට කියා වෙනසක්, විශේෂයක් තිබුණේ නැත. කැකුළු හාලේ බත් සමඟ ඇඹුලට ගෙනැවිත් තිබුණේ කොස්, කිරි හොදි, කෙසෙල් මුව මැල්ලුම්, ගොටුකොළ සම්බෝල, කොහිල ආදියයි. සාමාන්‍යයෙන් මස් වර්ග කන්නට වැඩි කැමැත්තක් දක්වන ඔවුහු බොහෝ දෙනෙක් කිරිහොදි සමඟ කොස් කෑවේ මහත් පෙරේතකමිනි.
ජර්මනියට ත්‍රීවීල්
ලංකාවේ පොදු ප්‍රවාහනය ද සුද්දන්ට අපූරු අත්දැකීමකි. ලංකාවේ මිනිසුන් ජීවත්වන ආකාරය දැනගැනීමේ ආසාවෙන් මෙහි එන සුද්දෝ සාමාන්‍ය ජනතාව යන එන බස් රථයක කැටුව යාම ද නිහතමානීට වරින් වර පැවරෙන රාජකාරියකි.
එහෙත් ලංකාවේ බස් ජර්මනියේ, එංගලන්තයේ බස් මෙන් නොවේ. අපේ බස්වල සැප පහසුවත්, ඩ්‍රයිවර් තැනගේ බිහිසුණු එළවිල්ලත් සුද්දන්ට කිසිවිටෙක වචනයෙන් විස්තර කළ හැකි දෙයක් නොවේ. එය ඔවුන් අත්විඳිය යුතුම දෙයකි.
බස් රියකට ගොඩවන සුද්දන්ට හදිසියේවත් හිටගෙන යාමට සිදුවුවහොත් සිටගත යුතු ඉරියව්ව පවා පවා කියාදීමට නිහතමානීට සිදුවේ. එසේ නැති වුවහොත් ඩ්‍රයිවර් තැනගේ තිරිංග පෑගීමකදී බස් රථයෙන් එළියට විසිවී යන්නට පවා ඉඩ නැතුවා නොවේ.
“අපේ රටේ බස්වල යන එන එක ලේසි වැඩක් නෙමේනෙ. හැබැයි එයාලාට ඒක විනෝදයක්. ආසාවෙන් හිනාවෙවී බස්වල යනවා”
දිනක් නිහතමානී තනිවම බස් රථයක ගමනක් යමින් උන්නාය. බහින ස්ථානය ගැන කොන්දොස්තර තැනට කී ඈට තමන් දුන් රුපියල් විස්සේ නෝට්ටුවට ඉතිරි මුදල් ලැබිණි. ඇගේ ආසනයේ අනෙක් පස වාඩි වී උන්නේ සුදු කාන්තාවකි. ඈ සංචාරයක් සඳහා මෙහි පැමිණි තැනැත්තියක් විය යුතුය.
ඈ ද රුපියල් සියයේ නෝට්ටුවක් දිගු කර නිහතමානී බසින ස්ථානයේම නම කීවාය. කිසිත් නොකී කොන්දොස්තර තැන රුපියල් සීයේ නෝට්ටුව හරි මැදින් නමා තම ඇඟිලි අතර රුවාගනිමින් එතැනින් ඉවත්ව ගියේය.
“මට ඇහුණු විදිහ හරිනම් ඔයා බහින්නෙත් මම බහින තැනමයි. ඔයා දුන්නෙ රුපියල් විස්සයි. ඔයාට ඉතුරු සල්ලි ලැබුණා. මට සීයක් දීලත් ඉතුරු ලැබුණෙ නෑ. ඇයි ඒ?” සුදු කාන්තාව නිහතමානීගෙන් ඇසුවාය.
සුද්දන් දුටු තැන මුදල් ගරන අපේ අයියලාගේ වැඩ ගැන දන්නා නිහතමානී ඊට පිළිතුරු බඳිනවා වෙනුවට කළේ, කොන්දොස්තර තැන ඔවුන් වාඩිවී සිටි තැනට අඬගසා ගැනීමය.
“මල්ලි ඇයි මේ මිස්ට ඉතුරු සල්ලි දුන්නෙ නැත්තෙ?”
මොහොතක් ඇඹරුණු කොන්දොස්තර මලයා සිහින් හඬින් උත්තර දුන්නේය.
“මම දෙන්න තමා හිටියෙ.”
“බොරු කියන්නෙපා මල්ලි, ඔයා අතේ මාරු සල්ලිත් තියෙනවා. ඉතින් ඇයි ඉතුරු දෙන්න බැරි? අනික අපි වංචාවක් කළොත් නොතේරෙන්න එයාලා බබ්බු නෙමේ. කරුණාකරලා මේ මිස්ට එයාගෙ ඉතුරැ සල්ලි දෙන්න.” නිහතමානීටත්, සුදු කාන්තාවටත් ‘සොරි’ යැයි මිමිණූ කොන්දොස්තර මලයා ඉතුරු මුදල් දී විගසින් මාරැවුණේ ය.
“තෑන්ක් යූ වෙරි මච්” සුදු කාන්තාව නිහතමානීට ස්තූති කළාය.
“බස්වලට විතරක් නෙමේ. ජර්මන් කට්ටිය ත්‍රීවිල්වලටත් පුදුම විදිහට ආසයි. ලංකාවට එන හැම ජර්මන් කෙනෙක්ම වගේ ත්‍රීවිල් එකක යනවාමයි” කතාබහ බස්රථයේ සිට ත්‍රීරෝද රථයට මාරු වුණේය.
ජර්මනිය යනු යුරෝපයේ ඇති දියුණුම රටකි. එනිසාම ත්‍රීවීල් වැනි අනාරක්ෂිත ප්‍රවාහන ක්‍රම ඒ රටවල දකින්නට නැත. ඒ රටවල ටැක්සි සේවාවන්වලට පවා යොදාගන්නේ අපේ රටේ ඉහළ මධ්‍යම පාන්තික මිනිසුන්ටත් නැති මර්සිඩීස් බෙන්ස්, ෆොක්ස්වැගන් වැනි සුපිරි මෝටර් රථය. එනිසා ත්‍රීවීල් යනු ඔවුන්ට සම්පූර්ණයෙන්ම ආගන්තුක වාහනයකි.
“එයාලා ත්‍රීවීල්වලට ආසා ඒක හරිම හුරුබුහුටි වාහනයක් හින්දා කියලයි මට හිතෙන්නෙ. අනික ඒකේ යද්දි හොඳට එළිමහන බලන්නත් පුළුවන්නේ. දවසක්දා එක්කෙනෙක් මට කියනවා, පුළුවන් නම් ත්‍රීවීල් එකක් ජර්මනියටත් එවන්න කියලා”
සිංහල අකුරුවලට පෙම් බැඳි සුද්දෝ
සිංහල භාෂාවට ඇත්තේ ඊටම අනන්‍ය වූ අපූරු අක්ෂර වර්ගයකි. මෑතකාලීනව ජාත්‍යන්තර වශයෙන් සිදුකෙරුණු පර් යේෂණයකදී ද සිංහල අක්ෂර යනු ලෝකයේ අලංකාරම අක්ෂර වර්ගයක් ලෙස නම් කර තිබුණි. එනිසා ජර්මානුවන් ද සිංහල අකුරුවලට ඇළුම් කිරීම පුදුමයක් නොවේ.
“ජර්මන් කට්ටිය සිංහල අකුරු ගැන ගොඩක් වෙලාවට කතාකරනවා. අපේ අකුරු හරි ලස්සනයි කියලා කියනවා. එක ගෘප් එකක ක්‍රිස්ටෝෆ කියලා සුද්දෙක් හිටියා. මෙහේ ටුවර් එක අතරතුරේදීම තමා එයාගේ උපන්දිනේත් වැටිලා තිබුණෙ. ඉතින් ගෘප් එකේ හිටපු අය එයාට දීපු තෑග්ග තමා සිංහලෙන් ක්‍රිස්ටෝෆ කියලා ලියපු ටී ෂර්ට් එකක් තෑගි කරපු එක. එදා ක්‍රිස්ටෝෆ පුදුම විදිහට සතුටු වුණා”
(තවත් රසවත් කොටසක් සමඟ ලබන සතියේ හමුවෙමු)
► රජිත ජාගොඩ ආරච්චි