අවුරුදු විසිහතක් තිස්සේ ගල් ගෙයක් තුළ ජීවත්වන වයෝවෘද්ධ යුවළක් ගැන දේශයට දැනගන්නට ලැබුණේ අහම්බෙනි. අම්පාර දිස්ත්‍රික්කයේ, පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේරන්කඩ ග්‍රාමසේවක වසමේ කොළානේ යාය නමින් හඳුන්වන හේන් යායක පිහිටි ගල්ගෙයක් තුළ මෙම යුවළ දිවිගෙවති.
සේරන්කඩ නගරයේ සිට කි.මී. අටක් ගෙවා චොරදෙණිය කොටිකේවෙල පසුකර කොළානේ යායට යායුතු වෙයි. මෙම ගල්ගේ තුළ හුදෙකලාව වෙසෙන්නේ ජේ.එම්. බංඩාර මැණිකේ මහත්මිය සහ ආර්.බී. ගුණදාස මහතාය. මනුෂ්‍යයකුට අවශ්‍ය ජීවත්වීමට මූලික පහසුකම් ටිකවත් මොවුනට නැත. පානීය ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් මොවුනට සිහිනයකි.
සනීපාරක්ෂක පහසුකම් ගැන කතා කරද්දී බණ්ඩාර මැණිකේ මහත්මිය අපූරැ අත්දැකීමක් අප හා විස්තර කළාය. දැනට අවුරුදු තිහකට (30) පමණ පෙර එක් හිමිදිරි උදෑසනක තම ශාරීරික අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමට ඇය ගොස් තිබුණේ අසල තිබූ ළඳු කැලෑවකටය. අඳුර පහ වෙමින් තිබුණත් හොඳින් ඉරඑළිය වැටී තිබුණේ නැත. අසල තිබූ දිරාගිය දර කොටසක් උඩ ඇය ඇනතියා ගත්තේ තම අවශ්‍යතාවය පහසුවෙන් ඉටුකර ගැනීමටය. තමා වාඩි වී සිටිය දර කොටය එක්වරම ඇදී යන්නා සේ ඇයට දැනී තිබිණි. “බැලින්නම් මම වාඩිවෙලා හිටියේ තඩි පිඹුරෙකුගේ උඩ”යැයි බණ්ඩාර මැණිකේ මහත්මිය පැවසුවාය. එවැනි බිහිසුණු අත්දැකීම් ඔවුන්ට හුරුපුරුදුය. මේ වනවිට අවුරුදු 80ක් වයසැති බණ්ඩාර මැණිකේ මාතාවට කොන්ද කුදු වී තිබුණාට වෙනත් කිසිම අසනීපයක් නැත. “මේ වෙනකම් මම පැනඩෝල් පෙත්තක්වත් බීලා නැහැ” ඇය පවසන්නේ මහත් ආඩම්බරයෙනි.
ඔවුන්ට ජීවත්වීමට තිබෙන එකම මාසික ආදායම සමෘද්ධියෙන් ලැබෙන රුපියල් 2000 සහ මහජන ආධාර රුපියල් 250 පමණි. සමෘද්ධි ආධාරයත් මහජන ආධාරයත් එකම දිනක දී ලබාගත නොහැකි නිසා මාසයකට දින දෙකක් සේරන්කඩට යාමට මොවුනට සිදුව තිබේ. එහිදී රුපියල් 250 ගන්නට රුපියල් 100ක් වැයකළ යුතු බව ධර්මදාස මහතා කියයි. ඔවුනගේ කටුමැටි ගසා ඉලුක් සෙවිලි කර තිබුණු පැල්පත 1992 වසරේදී පැවැති මහ වර්ෂාවට කඩා වැටී තිබේ.
“හොඳ ගෙයක් හදාගන්න තරම් ශක්තියක් අපිට තිබුණේ නෑ. අපි දෙන්නා මේ ගල්ගෙට ඇවිත් නැවැතුණා. දැන් අවුරුදු විසි හතක්ම ජීවත් වෙන්නේ මේ ගල්ගේ. ගම්මානෙට ගිහින් මොනවා හරි ඉල්ලාගෙන ඇවිත් යාන්තම් වේල පිරිමසා ගන්නවා. සමහර දවස්වලට අපි දෙන්නා බඩගින්නේම ඉන්නවා” බණ්ඩාර මැණිකේ මාතාව පැවසුවාය.
“පුරාවිද්‍යා එකේ මහත්තුරු ඇවිත් මේ ගල්ගෙයින් අපිට යන්න කිව්වා. ඒත් අපිට යන්න තැනක් නෑ. කවුරු හැරි අපිට ගෙයක් හදලා දෙනවා නම් ඕනෑම වෙලාවක යන්න අපි සූදානම්” යැයි ධර්මදාස මහතා කියයි. ඔවුන් සතු එකම ගෘහභාණ්ඩය ලී වලින් තැනූ මැස්ස පමණි. ඊට අමතරව හට්ටි දෙකක්, මුට්ටියක්, පොල්කටු හැන්දක් සහ වැරහැලි වූ ඇඳුම් කිහිපයක්ද ඔවුන් සතුය. කුඩා ගල් කුටි පහක්ද මධ්‍යම ප්‍රමාණයේ ගල් ලෙන් දෙකක්ද ඔවුන් සිටින තැන දැකගත හැකිය. මෙම ගල්ලෙන් දඹුළු ගල් ලෙන්වලට බෙහෙවින් සමානය. කටාරම් සහිත ගල්ලෙන් තුළ සෙල්ලිපි කිහිපයක්ම දක්නට තිබේ.
සද්ධාතිස්ස රජු සමයේ මෙම ගල්ලෙන්වල මහා රහතුන් වහන්සේලා වැඩ සිටිය බවට විශ්වාස කෙරේ. නටබුන් වූ චෛත්‍යයක ඉපැරැණි ගඩොල්ද දැකිය හැක. තවද මීටර් 30-40 තරම් දිග නටබුන් වූ වැව් බැම්මක්ද මෙහි තිබේ. මෙම ස්ථානයට එන ඕනෑම අයකුට වැවයි දාගැබයි සංකල්පය මතකයට නැගෙයි. මෙම ගල් ලෙන අහුළවනේ ගල්ලෙන ලෙස හඳුන්වන බව අප හා පැවැසුවේ ප්‍රදේශවාසියකු වන ආර්.බී. ගුණදාස මහතාය.
බණ්ඩාර මැණිකේ මෑණියන්ටත්, ධර්මදාස පියාණන්ටත් ජීවිතයේ සැඳෑ සමය සුවසේ ගත කිරීමට හැකිවන පරිදි නව නිවසක් තනා දීමට කිසියම් පරිත්‍යාගශීලියකු ඉදිරිපත් වේ නම් එය මහඟු පින්කමක් බව එම ස්ථානයට ගිය අපට හොඳින්ම වැටහී ගිය සත්‍යයයි.
මෙම තොරතුරු සොයා ගැනීමට සහාය දුන් සේරන්කඩ ත්‍රිරෝද රියැදුරු මහත්මයකු වන නන්දසේන සහ පදියතලාවේ පළතුරු ව්‍යාපාරිකයකු වන විජේරත්න මහත්වරුන්ට විශේෂ ස්තූතිය පිරිනැමේ.
► කතාව හා සේයාරූ I ආරියලතා දහනායක