ඕනෑම උත්සව සමයකදී පාරිභෝගිකයෝ සාමාන්‍ය කාලසීමාවකට වඩා වැඩිපුර වියදම් කිරීමට පෙළඹෙති. ඒ සඳහා අවශ්‍ය මුදල් ඔවුන්ට නොයෙක් ක්‍රමවලින් ලැබේ. උත්සව කාලය සැමදෙනාගේම අතේ මුදල් ගැවසෙන වකවානුවකි. වැටුප් කල් ඇතිව ලැබෙන අතර උත්සව අත්තිකාරම්, බෝනස් මුදල්, වැටුප් ණය ආදී විවිධ ක්‍රමවලින් මුදල් ලැබෙන බවක් දක්නට ඇත. එහෙත් විවිධාකාරයෙන් මෙලෙස ලැබෙන මුදල් අත රඳවාගැනීමට උත්සාහ කරන්නෝ අල්ප වෙති. බොහෝ දෙනා හෙට දිනය ගැන කල්පනා නොකර තම පොකැට්ටුව අවශ්‍ය දෙයට මෙන්ම අනවශ්‍ය දේවල්වලටද හිස් කිරීමට උනන්දුවක් දක්වන බවක් දක්නට ඇත. මුදල් කළමනාකරණය නොකර උත්සව සමයේ අත දිගහැර සුද්දන් මෙන් වැය කරන ඔවුන් උත්සව සමය අවසන් වූ වහාම හිඟන්නන් බවට පත්වෙන ප්‍රවණතාව වැඩිය. ඇතැම් වෙලාවට මාසය අවසන් වීමට පෙර එදිනෙදා අවශ්‍යතා සඳහා මුදල් ණයට ගැනීමට හෝ උත්සව කාලයේ මිලට ගත් ඇතැම් භාණ්ඩ අලෙවි කර මුදල් සෙවීමට හෝ ඔවුනට සිදුවේ.
උත්සව කාලයේදී වෙළෙඳපොළ හැඩගැසී ඇත්තේ පාරිභෝගිකයා අතරමං කරන ස්වරූපයෙනි. ගත යුත්තේ කුමක්ද, නොගත යුත්තේ කුමක්ද ආදී වශයෙන් තෝරා බේරාගැනීමට නොහැකිව පාරිභෝගිකයා වල්මත් වෙනවා ඇත. තමන් මිලට ගැනීමට අදහස් කරගෙන යන භාණ්ඩයට වඩා හාත්පසින් වෙනත් භාණ්ඩයක් මිලට ගැනීමට ඔවුහු නිතැතින්ම පෙළඹෙති. උදාහරණයක් වශයෙන් පවසතොත් අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීමට සිතා වෙළෙඳපොළට යන කෙනකු ඒ වෙනුවට අසල ඇති සේල් පොළකින් මුදල් කොටසක් ගෙවා ගෙවීමේ ක්‍රමයට රූපවාහිනියක් මිලට ගන්නට පෙළඹෙනවා ඇත. එහෙත් තමා ගත් තීරණය වැරදි බව ඔහුට වැටහෙන්නේ ආහාර නැතිව කුසගින්නේ සිටින්නට සිදුවන විටය.
උත්සව සමයේදී වෙළෙන්දන් උත්සාහ කරනුයේ තම තමා වෙත ඔවුන් කෙසේ හෝ නැඹුරු කර ගැනීමටයි. අල්ලපු කඩයට නොගොස් තම කඩයට පාරිභෝගිකයන් අද්දා ගැනීමට ඔවුහු කටයුතු කරති. ඒ නිසා වෙළෙදුන් අතර ඇත්තේද තියුණු තරගයකි. මෙවර සිංහල අලුත් අවුරුදු සමය ගැන සලකා බැලූ විට විවිධ භාණ්ඩ සඳහා සේල් පොළවල් ආරම්භ වී තිබීම අධික වී ඇත. “Sale” යන ඉංග්‍රීසි වචනයේ අර්ථය “විකිණීම” නමුත් වෙළෙදුන් “සේල්” යන වචනයෙන් පාරිභෝගිකයාට දෙන පණිවුඩය වන්නේ අඩු මිලට බඩු විකිණීම යන්නය. “සේල් දානවා” යනුවෙන් ප්‍රචලිත වන්නේ මෙතෙක් විකිණූ බඩු අඩු මිලට දීමය. එය සිදුවන්නේ තම වෙළෙඳසල් ඉදිරිපිටය. නැතිනම් කුලියට ගන්නා ශාලාවලය. මෙවර පාවහන් සේල් සහ ඇඟලුම් සේල් පොළවල් විශාල වශයෙන් වැඩි වී ඇති බව මහ මඟ ගමන් කරන විට වැටහෙනවා ඇත.
“සේල්” පොළවලට පාරිභෝගිකයන් අද්දාගැනීම සඳහා එම ස්ථාන විවිධ වර්ණ විදුලි බුබුළුවලින්, කොඩි, බැනර්, මිනිස් අනුරෑ හෙවත් “ඩමි” වලින් සැරසීමද, ශබ්ද විකාශන යන්ත්‍ර යොදවා විවිධ චිත්තාකර්ෂණීය ගීත ප්‍රචාරය කිරීමද සිදුකෙරේ. එසේම ඇතැම් සේල් පොළවල් ඉදිරිපිට රැඳීසිටින රූමත් තරුණියන් පාරේ ගමන් කරන මගීන් පවා තම වෙළෙඳසල තුළට බලහත්කාරයෙන් මෙන් අද්දාගැනීමට කටයුතු කෙරෙන අවස්ථා තිබේ.
මෙවැනි වෙළෙඳපොළවල පාරිභෝගිකයන්ට වංචා කරන්නේ පුවරැවක යම් මිලක් සඳහන් කර එය පැහැදිලිව කපාදමා බොහෝ සේ අඩු මිලක් සඳහන් කරමිනි. ඇතැම් විට රුපියල් 1000ක භාණ්ඩයේ එම මිල කපා රුපියල් 490 ක් යොදා තිබෙනු දැකගත හැකිය. මෙහිදී පාරිභෝගිකයා සිතන්නේ එකකට එකකටත් වඩා මිල අඩුකර විකුණන බවය. එහෙත් සත්‍ය වන්නේ මෙම භාණ්ඩවල කපා දමා ඇති මිල ව්‍යාජ මිලක් වීමය. ඇත්ත වශයෙන්ම භාණ්ඩවල සාමාන්‍ය විකුණුම් මිලට වඩා වැඩි මිලක් ප්‍රදර්ශනය කර එය කපා දමා සාමාන්‍ය මිල පෙන්වා තිබේ. මෙයට රැවටෙන පාරිභෝගිකයා සේල් යැයි අඩුවට ගන්නේ භාණ්ඩයේ සාමාන්‍ය විකුණුම් මිල හෝ එයටත් වැඩි මිලකට විය හැකිය.
ඇතැම් විට අද සේල් පොළවල සිදුකරන තවත් වංචාවක් වන්නේ ඩිස්කවුන්ට් හෙවත් වට්ටම් සෙල්ලමය. සියයට 75 – 80 වැනි ගණන්වලින් “ඩිස්කවුන්ට්”දෙන භාණ්ඩ තිබේ. ඇතැම් පාවහන් වර්ගද මේ අතර ප්‍රධානය. DISCOUNT 75%යනුවෙන් ලියා ඊට පහළින් කුඩා අකුරෙන් “දක්වා” කියා ලියා තිබේ. පාරේ ගමන් කරන පාරිභෝගිකයාට වැඩිපුර පෙනෙන්නේ 75 යන සංඛ්‍යාව මිස“දක්වා” යනුවෙන් ලියා ඇති කොටස නොවේ. එතැන ඇති සැම භාණ්ඩයකම සියයට 75 ක් අඩුකර විකුණනවා ඇතැයි වරදවා වටහාගන්නා පාරිභෝගිකයා සතුටු සිතින් එතුළට යයි. එහෙත් එතැන සියයට 75ක වටිනාකමක් දෙන්නේ ඇතැම් විට එක භාණ්ඩයකට විය හැකිය. පාවහන් නම් කල් ඉකුත් වූ මෝස්තරයක් එක පාවහන් වර්ගයකට පමණයි. අනිත් සියල්ලේම වට්ටම සියයට 5 හෝ 10 ක් විය හැකිය. එක්කෝ ඒවායේ වුවද අවශ්‍ය “සයිස්” එක නැත.
බොහෝ සේල් පොළවල අඩුකර විකුණන්නේ සාමාන්‍යයෙන් අලෙවි වන “සයිස්” නොවේ. කමිස, කලිසම්, ටීෂර්ට්ස් ආදිය ඉතාම විශාල ප්‍රමාණයේ ඒවාය. එම ඇඳුම් අවශ්‍ය සුවිශේෂ පුද්ගලයන්ටය. එසේම සේල් දමා විකුණන භාණ්ඩ පැරැණි තොග වේ. ගබඩාවල පරණ වූ ඒවාය. නැත්නම් සායම් ගිය ඒවාය. මිලදී ගන්නා අයට වැඩි දවසක් පාවිච්චි කළ නොහැකිය. ඉතින් මෙහිදී සිදුවන්නේ පාරිභෝගිකයා රවටා දිරූ, නොගැලපෙන මෝස්තර සහ පළුදු වූ භාණ්ඩ ආදිය අලෙවි කිරීමය. “Two in One” ක්‍රමයද තවත් ප්‍රයෝගයකි. දෙකක් ගත් විට එකක් නොමිලයේ දෙන නමුත් එහි මිලද ඒ දෙකේ මිලට අඩංගු බව පාරිභෝගිකයා දන්නේ නැත.
උත්සව සමයේ වෙළෙඳ කුටි පාරිභෝගිකයන්ගෙන් පිරී පවතී. උත්සව දිනය ආසන්න වන විට පාරිභෝගිකයෝ අඩු පහසුකම් සහිත වෙළෙඳ කුටිවල සිරවී, හරියට හිටගෙන සිටීමට හෝ නොහැකිව, දහදිය පෙරමින් දුක් විඳිති. සාක්කු කපන්නන් සුලබ වන්නේද මෙම ස්ථානවලය. මෙහිදී තමා මිලට ගන්නා ද්‍රව්‍ය හරියට අතපත ගා සොයා බලා තමාට සුදුසුද යන්න තීරණය කිරීමට පාරිභෝගිකයාට ඉඩ නොලැබේ. වෙළෙන්දා දුන් දෙය කියන මුදලට මිලට ගැනීමට සිදුවී ඇත. මිල ගැන හෝ පරීක්ෂා කිරීමට අවස්ථාව නැත. අධික තදබදය නිසා දෙන දේ රැගෙන යාමට සිදුව තිබේ. ගන්නන් වාලේ ගනිති. ඇතැම් ස්ථානවල බිල්පත් නිකුත් නොකරන නිසා වැරදී දුන් භාණ්ඩයක් ආපසු මාරුකර ගැනීමටද නොහැකිය.
උත්සව දින ආසන්න වන විට නගරවල පටු මාර්ග පවා ජනතාවගෙන් අතුරු සිදුරු නැතිව පිරේ. මෙවැනි අවස්ථාවක සුළු ඉඩක භාණ්ඩ රාශියක් තබාගෙන කෑගසමින් අලෙවි කරන වෙළෙන්දන් දක්නට ඇත. ඇත්තටම මෙලෙස අලෙවි කරන ඇඳුම් පැළඳුම් සහ විවිධ පාරිභෝගික භාණ්ඩ විශාල ලෙස මිල අඩුය. වෛවර්ණ ඔරලෝසු ඉතාම අඩු මිලට විකිණේ. අතට ගත් විට මෙය ව්‍යාජ යැයි සිතීමට බැරි තරම්ය. එහෙත් ඒවායේ වෙලාව දුවන්නේ දවසක් හෝ දෙකක් පමණය. අන්තිමට ගලවා බැලූ විට මදය නැත.
පදික වේදිකාවේ විකුණන ඇතැම් කමිසවල මිල ඉතා අඩුය. රුපියල් දහස් ගණනක පෙනුම ඇති කමිසයක් රුපියල් 200කට පමණ විශාල ප්‍රචාරයන් දෙමින් අලෙවි කරයි. ඒවා ආවරණවල දමා පෙට්ටිවල අසුරා කිසිවකුත් යම්තම් හෝ නොඇල්ලූ අලුත්ම ඒවා සේ විකිණේ. එවැනි ඇඳුමක් නිවෙසට රැගෙන ගොස් පරීක්ෂා කළ විට පෙනීයන්නේ ඒවා මුලින් පාවිච්චි කර පසුව පිරිසුදු කර, ඔපදමා, ස්ත්‍රික්ක කර අලුත් ඒවා බවට පත්කර ඇති බවය. එසේ නොමැති නම් කමිසයක පිට පැත්ත නැත. ඇත්තේ කොලරය හා ඉදිරිපස කොටස පමණි. අසරණ පාරිභෝගිකයා අමාරැවේය.
“ජෝඩුව දෙසීයයි - ජෝඩුව දෙසීයයි” යනුවෙන් කෑගසමින් පිටකොටුව පදික වේදිකාවේ සරොම් අලෙවි කරන වෙළෙන්දෙකි. ලේබල් ගැසූ අලුත්ම අලුත් පට සරොම්ය. සෙනඟ පොදිකමින් මිලට ගනු දැකගත හැක්කේ සරොම් දෙකක් රුපියල් දෙසියට දෙනවා නම් ගජ ලාභ නිසාය. පොදිකන සෙනඟ අතරින් වෙළෙන්දා සමීපයට යන දුප්පත් පාරිභෝගිකයා රුපියල් 200 ක් දෙයි. ඔහුට වෙළෙන්දා දෙන්නේ එක සරමකි.
“ඇයි මේ එකක්... ජෝඩුව නේද දෙසීය”
පාරිභෝගිකයා විමසයි.
“ඇයි බලනවා ඇස් පේන්නෙ නැද්ද? ජෝඩුව තමයි දෙසීය”
වෙළෙන්දා මහ හයියෙන් කෑගසයි. ජෝඩුව යනුවෙන් හඳුන්වා ඇත්තේ එහි වෙළෙඳ ලාංඡනය මිස දෙකක් නොවන බව පාරිභෝගිකයාට වැටහෙන්නේ එවිටය. ලාභයට දෙකක් මිලට ගන්න ආ අසරණයාට සිදුවන්නේ වෙළෙන්දාගේ රැවුම් ගෙරවුම් මත ජෝඩුව ලකුණ දරන බාල සරමක් රුපියල් දෙසියයකට මිලට ගැනීමටය.
බොහෝ වෙලාවට මෙලෙස පදික වේදිකා මත සංචාරක වෙළෙදුන්ගේ වෙළෙදාම එම ස්ථානයේ සිදුවන්නේ එක් දිනක් පමණි. නැතිනම් වරුවකි. ඊළඟට වෙළෙන්දා වෙනත් ස්ථානයකට මාරුවෙයි. සෑහෙන භාණ්ඩ තොගයක් වංචාවෙන් විකුණාගත් පසු වෙළෙන්දා අතුරැදන් වෙයි. ඔහු කොහේ ගියාදැයි දන්නා කෙනකු නැත. සොයාගැනීමට අනන්‍යතාවක්ද නොමැත.
උත්සව සමයට පාරිභෝගිකයා සූරාකන තවත් ක්‍රමයක් වන්නේ “ෆිනෑන්ස්” ක්‍රමයට කොටස් වශයෙන් ගෙවීමට ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවි කිරීමේදීය. ආඩම්බරයෙන් ප්‍රචාරය කරමින් අලෙවි කරන ඇතැම් රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර ආදියෙන්ද පාරිභෝගිකයාගේ ඇස් වසා වැඩි මිලට විකිණීම සිදුකෙරේ. ඒවායේ සඳහන් කරන මිල සත්‍ය වශයෙන්ම නියම මිලට වඩා වැඩිය. පොලිය සඳහා ප්‍රතිශතයද ඒ මිලටම අඩංගු කර ඇති අතර පොලිය වෙනම පෙන්වන්නේ නැත. පාරිභෝගිකයා භාණ්ඩයට කොටස් වශයෙන් ගෙවා අවසන් වන විට එහි සාමාන්‍ය විකුණුම් මිලට අතිරේක වශයෙන් පොලියට වැඩි මුදලක් ඔහුට ගෙවන්නට සිදුවේ. එසේම වාරික ගෙවීමේ යම් ප්‍රමාදයක් සිදුවූ විට දඩ පොලියක්ද එකතුවන අතර වාරික 2-3 නොගෙවුවහොත් අදාළ ආයතනයේ කණ්ඩායමක් පැමිණ භාණ්ඩය ආපසු රැගෙන යයි. මෙහිදී පාරිභෝගිකයාට ගෙවූ මුදලද භාණ්ඩයද අහිමි වේ.
උත්සව දිනවල ඈත පිටිසර ගම්මානවලට පවා වෙළෙඳ සමාගම්වල නියෝජිතයෝ වාහනවල භාණ්ඩ පුරවාගෙන පැමිණෙති. භාණ්ඩ පිළිබඳ විස්තරද ප්‍රමිතිය පිළිබඳ සහතික පත්‍රිකාද සමඟ නිවෙස්වලට යති. බොහෝ අවස්ථාවල දහවල් කාලවල නිවෙස්වල රැඳී සිටින්නේ කාන්තාවන් සහ වයසක අය පමණය. මේ අයට භාණ්ඩ පිළිබඳ දැනුමක් නැත. නියමිත මිල ගැනද නොදනී. එහෙත් භාණ්ඩ හා මිල පිළිබඳ වෙළෙඳ නියෝජිතයෝ ඔවුන් පැහැදෙන පරිදි කතා කරති. මූලික ගෙවීම ඉතාම සුළුය. වාරික මුදලද අඩුය. ගිවිසුමක් හෝ ඇපකරුවන් නොමැතිව භාණ්ඩ කොටස් වශයෙන් ගෙවීමට අලෙවි කරයි. මේවාට රැවටෙන කාන්තාවෝ විශාල දක්ෂකමක් කළා සේ මිලට ගනිති. එහෙත් මෙම භාණ්ඩවල ප්‍රමිතියක් නොමැත. කෙටි කාලයකින් අක්‍රිය වේ. එවැනි අවස්ථාවල සමාගම නොමිලේ අලුත්වැඩියා කර දෙයි. එහෙත් වාරික ගෙවා අවසන් වන විට භාණ්ඩයේ ජීවිතයද අවසන්ය.
ප්‍රමිතියෙන් මෙන්ම ක්‍රියාකාරීත්වයෙන්ද දුර්වල භාණ්ඩ වැඩි මිලට අලෙවි කරමින් පාරිභෝගිකයන් සූරාකෑමට මේ “එදාවේල ට්‍රෙඩර්ස්” ලා සූදානම්ය. ඔවුන් මුළු වාණිජ ලෝකයටම පිළිකුළක් වේ. පාරිභෝගිකයන් ආවේගවලට යට නොවී බුද්ධියෙන් යුතුව නිවැරදිව දැනගෙන භාණ්ඩ මිලදී ගතහොත් මේ අයගෙන් ප්‍රවේශම් වීමට පුළුවන.
► යසවර්ධන රුද්රිගු