2018 අප්‍රේල් 13 වන සිකුරාදා

අලුත් අවුරුද්දට ඇහෙන පැරැණි සින්දු

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 905

අලුත් අවුරුද්ද කියන්නේ රටම අලුත් වන දවසකි. ගෙවල් දොරවල්වල අලුත් තීන්ත ගා කලඑළි කෙරේ. පැල්පත් පවා ගොමමැටි ගා නැවුම් කෙරේ. රට පුරාම අලුත් අවුරුදු පණිවුඩ ඇසේ. අලුත් අවුරුද්දට වෙළෙඳ සමාගම් විසින් ඉදිරිපත් කරන අලුත් නිෂ්පාදනවලින් වෙළඳසල් වැසී ඉතිරී ගොසිනි.

අපේ රටේ හැම දෙයක්ම අවුරුද්දට අලුත් වුණත් එක් දෙයක් නම් පැරැණි බව නොකියාම බැහැ. ඒ තමයි අවුරුදු ගීත. අපට කලක පටන්ම අවුරුද්දට ඇහෙන්නේ දශක කිහිපයක් පැරැණි ගීත මිස අලුත් ගීත නොවේ.

සිංහල අලුත් අවුරුද්ද ජන සංගීතය හා ගායනය සමඟ අත්වැල් බැඳගත් සංස්කෘතිකාංගයකි. අවුරුදු මුල් කරගෙන කාලයක් තිස්සේ අසන්නට ලැබෙන ජන ගායනාවල රසය අදටත් එදාසේමය. ඔංචිලිවාරම්, ඔළිඳ කවි, රබන් පද, සිව්පද ආදී කවි රාශියක් මේ උළෙල මුල්කර ගත් ක්‍රීඩා ආශ්‍රිතව අපට හමුවේ. ඒ අතරම විවිධ පළාත්වල බක්මහ සංගීත ප්‍රසංගද බහුලව පැවැත්වේ. නමුත් ඒ කාටත් අමතක වී ගිය කාරණය තමයි අවුරුද්දට අලුත් ගීත බිහි නොවන්නේ ඇයි ද යන්න. අද ගුවන් විදුලි නාළිකා විශාල සංඛ්‍යාවක් තිබෙන අතර ඒවා පැය 24 පුරාම හඬ නගයි. රූපවාහිනී නාළිකා ද අති විශාල සංඛ්‍යාවක් පවතී. ඒවායේ නිරන්තරයෙන් ගීත ද ප්‍රචාරය වේ. නමුත් මේ එකකින්වත් මෑත කාලයේ අවුරුදු සින්දුවක් නිෂ්පාදනය වී නැත.

අපට අදටත් අවුරුදු මතක් කරන්නේ දශක කිහිපයක් පැරැණි ගුවන්විදුලි සරල ගීතයක් වන පියසිරි විජේරත්න සහ අමිතා වැදිසිංහ ගයන (පද රචනය හෙන්රි තෙන්නකෝන්) 

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි ඉද්ද පනා මල් කැනි පිපිලා සහ අමිතා වැදිසිංහම ගයන කන්ද උඩින් පායන හඳ ලීලා - බැද්ද වෙලේ රුක්අත්තන පිපිලා ගීතයයි. ඊට අමතරව මේ අවුරුදු කාලේ - හිනාවෙයං රාළේ (ලයනල් රන්වල), මී අඹ අත්තේ කොහෝ කොහෝ (මිල්ටන් මල්ලවආරච්චි නීලා වික්‍රමසිංහ - චංචල රේඛා චිත්‍රපටයේ), ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා (මොහිදින්බෙග්), ධීවරයෝ චිත්‍රපටයේ කිරි ඉතිරේවා නව වසරේ (එච්.ආර්. ජෝතිපාල), කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ (සනත් නන්දසිරි, සුජාතා අත්තනායක - පදවැල අජන්ත රණසිංහ) ආදී පැරණි ගීතත් ගුවන්විදුලි නාළිකාවල එකදිගට ප්‍රචාරය වනවා අසන්නට පුළුවන. බොහෝ විට මේ ගීත පැයකට දෙතුන් වරක් පවා ප්‍රචාරය වන්නේ අවුරුදු ගීත හිඟය එළිපනාපිටම පෙන්නුම් කරමිනි.

ගීත මෙතරම් සුලබ යුගයක අලුත් අවුරුදු ගීත හිඟයක් මතුව ඇත්තේ ඇයි? අපි ඒ ගැන ඇසීමට ප්‍රවීණ ගීත රචකයන් දෙපළකට කතා කළෙමු.

අවුරුදු ගීත අඩුවීම ගැන හිතාගන්න අමාරුයි 

ප්‍රවීණ ගීත රචක මහාචාර්ය සුනිල් ආරියරත්න

වෙසක් එකට වෙසක් ගීත තිබෙනවා. පොසොන් කාලයට යම් ප්‍රමාණයක් පොසොන් ගීත තිබෙනවා. අනිත් උත්සවලට සාපේක්ෂව ගත්තොත් නත්තල ගැන ගීත වැඩියි. ජාතික උත්සවයක් වූ සිංහල අවුරුද්ද ගැන ගීත ඉතාමත් අඩුයි. ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. මේ වගේ ජාතික උත්සවයක් මුල් කරගෙන අඩු ගීත සංඛ්‍යාවක් නිර්මාණය වූයේ ඇයි කියලා හිතාගන්න අමාරුයි. චිත්‍රපට ගීතත් මම දැනුවත්ව තිබෙන්නේ දෙකයි. ධීවරයෝ සහ චංචල රේඛා චිත්‍රපටවල. ගුවන් විදුලි ගීත දහස් ගණනක් තිබුණත් සිංහල අවුරුද්දම තේමා කරගත් ගීත සංඛ්‍යාව අඩුයි. ටික කලකට පෙර රූපවාහිනීයේ වසන්තයේ මියුරුසර වැඩසටහන් කීපයක් කළා අවුරුද්ද වෙනුවෙන්. රත්න ශ්‍රී විජේසිංහ සහ මහින්ද දිසානායක‍ ඒ වැඩසටහන්වලට ගීත රචනා කළා. ඊට පසු ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහ අවුරැදු ගීතයක් ගායනා කළා. (රත්න ශ්‍රී විජේසිංහ පද රචනය) ලන්දේ උකුල උඩ නින්ද ගිහින් සිටි එරබදු ඇහැ ඇරිලා... අන්න හිනා වෙනවා... ඒක තමයි මෑතකදී අහන්නට ලැබුණු එකම අවුරුදු ගීතය.

අවුරුද්දට ජන ගායනා සම්බන්ධ වුණත් ගීත සාහිත්‍යයක් බිහිවෙලා නෑ. ඇත්තටම පසුගිය අවුරුදු 10 තුළ සිංහල අවුරුද්ද ගැන තබා එකම බෞද්ධ ගීතයක්වත් බිහි වුණේ නෑ. ගුවන් විදුලි ගීතය අභාවයට ගොස් කැසට් ඔළුව උස්සන්න පටන් ගත් පසු රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ බෞද්ධ ගීත හැරෙන්නට වෙනත් බෞද්ධ ගීතයක් වත් බිහිවී නෑ. බෞද්ධ ගීත බිහිනොවන අපේ රටේ සිංහල අවුරුදු ගීත බිහිනොවීම ගැන කතා කරලා වැඩක් නෑ. නව පරපුරේ කිසිම ගායකයෙක් බෞද්ධ ගීතයක් ගායනා කරලා නෑ. ඒකට ඔවුන්ට දොස් කියන්නත් බෑ. මේක හරිම අවසනාවන්ත දෙයක්. 

අද ගීත බිහි වන්නේ ලේන්සු ගැනයි.

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩ

ඉස්සර ගීත උත්පාදන වැඩසටහන් තිබුණේ ගුවන් විදුලි සංස්ථාවේ. අවුරුද්දට, වෙසක් පෝයට, නත්තලට වගේ වෙන වෙනම ගීත නිර්මාණය වුණා. ගීත නාටක වැඩසටහන් තිබුණා. ගුවන්විදුලි සරල ගීත වැඩසටහන්වල නීතියක් තිබුණා බුදුගුණ ගීතයක්, මව්ගුණ ගීතයක්, උපදේශාත්මක ගීතයක් තිබිය යුතුමයි කියලා. දැන් මේ වැඩසටහන් ගුවන්විදුලි නාළිකා අමතක කරලා. එකකින්වත් ගීත බිහිවෙන්නේ නෑ.

කවුරු හරි ගීතයක් හදලා ගිහින් දෙන සී.ඩී. එකකින් තමයි ඒවා යැපෙන්නේ. මේවා කරන්නේ මේ ශිල්පය නොදන්න අයයි. අපේ රටේ කේශ නාළිකා වගේ ගුවන්විදුලි නාළිකා තිබුණට වැඩක් නෑ. ඒවායේ ඉන්න බාල බොළඳ බලධරයන් තම රසඥතාව අනුවයි කටයුතු කරන්නේ. ඉස්සර ගුවන්විදුලි ගීතයකට ප්‍රමිතියක් තිබුණා. ගීත රචනය අනුමත කර ඊට පසු පටිගත කළ ගීත පවා පරීක්ෂා කර තමයි අනුමත කළේ. ඒක තමයි අපට අදත් ගුවන්විදුලියේ එදා නිෂ්පාදනය කළ ගීත අහන්නට සිදුවී තිබෙන්නේ. අද කඳුළු ගැනයි, හදවත ගැනයි, ලේන්සු ගැනයි තමයි ගීත නිර්මාණ වන්නේ. අද ප්‍රේම කරන්නෙත් ගලනාලයෙන්නේ.

මේවාට මූලික වශයෙන් ගුවන්විදුලි නාළිකා වගකිව යුතුයි. හරවත් ගීත බිහිවන වැඩසටහන් අද අඩුයි. අද ගුවන්විදුලි නාළිකාවල ඉන්න ඔක්කොම විහිළුකාරයෝ වෙලා. මේ සියලු දේ අතර යහපත් දේ යට යනවා. අද හොඳ ගීත ඉඳහිට බිහිවෙනවා. නමුත් ඒවා ප්‍රචාරය වන්නෙත් නෑ. ඒ ගීත තෝරන අයගේ බාල බොළඳ රුචිකත්වය තමයි පේන්න තියෙන්නේ. ජාතික රූපවාහිනීයෙන් ඉස්සර අවුරුදු වැඩසටහන් කළා. දැන් ඒවත් කරන්නෙත් නෑ. ජාතිත රූපවාහිනී හා ජාතික ගුවන්විදුලි කරන්නෙත් පෞද්ගලික නාළිකා අනුගමනය කිරීම පමණයිනේ. ජාතික නාළිකා ගීත උත්පාදන වැඩසටහන් කළ යුතුයි. අවුරුදු ගීත බිහිවීම ඇනහිටීමට මේ සියලු කාරණා බලපානවා. නමුත් ප්‍රවීණ ගීත රචකයන් ගීත ලිවීම අතහැරීමත් වැරදියි. සැම තැනම මේ සෝදාපාලුව තමයි දකින්න තිබෙන්නේ.

 කුසුම්සිරි