මේක මට ටික කාලෙකට කලින් වෙච්ච වෙච්ච දෙයක්. නොදන්නකමටයි පුරුද්දට එන හැම මැසේජ් එකටම ok කියලා ප්‍රෙස් කරන හන්දයි මේ ඔක්කොම.
හැමෝම අහලා ඇති දමිත් අසංක ගායනා කරන මට හීනයක්වෙලා ඔබේ ඔය ආදරේ සින්දුව. මේ ඔය සින්දුව ආපු මුල් කාලෙ. දවසක් බස් එකක යනකොට ඔය සින්දුව මට ඇහුණා. (බස්වල යන හුඟක් සින්දු අහන ඒවා නෙමෙයි ඇහෙන ඒවා) ටිකක් හොඳ හින්දා මම සින්දුවෙ ඉතුරු ටික ඇහැව්වා. සින්දුව සෑහෙන්න හිතට අල්ලපු හින්ද ගෙදර ආපු ගමන්ම අන්තර්ජංජාලෙ දමාගෙන හෙව්වා. කොහෙවත් තිබ්බෙ නෑ. ඉතින් ඒ ආසාව එදාට ඉවරවුණා.
දවස් කීපයක ඇවෑමෙන් ආයි සින්දුව මතකෙට ආවා. එදා හිටියෙ කාර්යාලෙ. ගූගල් දෙයියන්ට කතාකරලා පොඩ්ඩක් හොයලා බැලුවා. ඔන්න තියනවා. ගිහින් බැලුවහම ලංකාවෙ ජංගම දුරකතන සේවා වෙබ් අඩවියක තියනවා සින්දුව. පොඩ්ඩක් එහා මෙහා වෙලා බැලුවම මෙන්න තියනවා Download Icon එකක්. දැන් ඉතින් වැඩේ හරි. හැමදාමත් පුරුද්දට කරනවා වගේ එබුවා Download එක.
එතකොට කියනවා ඒකට අහවල් ජංගම දුරකතන සේවා ජාලයේ දුරකතන අංකයක් ඇතුළු කරන්න කියලා. ඉතින් මුළු කාර්යාලෙම ඒ ජංගම දුරකතන සේවාව පාවිච්චි කළේ එකෙක් විතරයි. (ඒකත් මහ ගෙදරට සිග්නල් නෑ කියලා). නම නම් කියන්න බෑ අයියෝ. ඉතින් ඌ ගාවට ගිහින් මගෙ අවශ්‍යතාවය කියලා නොම්මරේ ඉල්ලගෙන ඇතුළත් කළා. ඒත් ඉතින් Download ලින්ක් එකක් හම්බවුණේ නෑ. ආයෙත් ඒ දේම කළා. කිසිම විදිහකින් මට ඕනෙ සින්දුව හම්බවුණේ නෑ. පස්සෙ මම වැඩේ අතහැරලා දැම්මා.
පැය කාලකට විතර පස්සෙ රා බීපු නාලාගිරියා වගේ යාළුවා කඩාගෙන බිඳගෙන මගෙ පැත්තට එනවා.
“උඹ මොකද්ද බං කරපු කැත වැඩේ?”
කියලා යාළුවා මට බැණගෙන බැණගෙන ගියා. මම අන්දුන් කුන්දුන් වෙලා අහගෙන හිටියා. පස්සෙ හෙමින් මම ඇහැව්වා මොකක්ද වුණේ කියලා. එතකොටයි වැඩේ තේරුණේ. ඒ සින්දුව යාළුවගෙ රින්ගින් ටෝන් එකට සෙට් වෙලා. රුපියල් අසූවකුත් කැපිලා. ඒ අස්සෙ යාළුවගෙ පවුලයි නැන්දම්මයි කතා කරලා.
යාළුවට පවුල බැණලා මොනවද මේ දාගෙන ඉන්න සින්දු? දැන් කාගෙ ආදරේද හීනයක් වෙලා තියෙන්නෙ කියලා.
ඕං ඔහොමයි නැති ප්‍රශ්න ඇතිවුණේ. ඒක විසඳුවේ යාළුවට රුපියල් 80ක් දීලා එයාගෙ නෝන මහත්තයට කතා කරලා වෙච්ච විජ්ජුම්බරෙත් පැහැදිලි කළාට පස්සෙයි.
ජීවිතේ පළවෙනි පාරට සල්ලිත් දීලා සින්දුවක් ඇහැව්වෙ එදා තමයි ඔන්න.
අචිර ලියනගේ