2018 අප්‍රේල් 13 වන සිකුරාදා

වැලිගම කඩොලාන පරිසරයේ සුපිරි හෝටලය ආයුර්වී වැලිගම Theme Resorts and Spas

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 188

වැලිගම වැලිවල ප්‍රදේශයේදී Theme Resorts and Spas සමූහයට අයත් නවතම හෝටලය වන ආයුර්වී වැලිගම හෝටලය පසුගියදා විවෘත කෙරුණා. ඒ ලංකාවේ ප්‍රංශ තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. වැලිගම බොක්ක මුහුදු ප්‍රදේශයේ සුන්දර කඩොලාන පරිසරයක ඉදිකර තිබෙන මේ හෝටලය ආයුර්වේද සහ යෝගා තේමාව රැගත් හෝටලයක් වීම විශේෂත්වයක්.

අපේ රටේ සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් වන චන්ද්‍රා වික්‍රමසිංහට අයිති මේ හෝටලය ඉදිකර තිබෙන්නේ රුපියල් මිලියන 600ක අයෝජනයක් දරමිනුයි. ආයුර්වී හෝටලයේ deluxe කාමර 22ක් සහ Suite නවාතැන් දෙකක් පවතිනවා. මෙහි පැමිණෙන අමුත්තන්ට තමන් කැමැති වර්ණ සංයෝජනයක් සහිත කාමරයක් තෝරාගන්නත්, තමන්ට කැමැති ප්‍රතිකාර වර්ගයක් තෝරාගන්නත් පුළුවන්. මේ හැම කාමරයකම මුහුද දෙසට හැරුණු බැල්කනියක් දකින්න ලැබෙනවා.

මේ හෝටලයේ සිදුකෙරෙන සෑම ආයුර්වේද ප්‍රතිකාරයක්ම අවුරුදු 3000කටත් වඩා පැරැණි සාම්ප්‍රදායික දකුණු ආසියානු ආයුර්වේද ශිල්ප ක්‍රම භාවිත කරගෙන සිදුවෙනවා. ඒ මනා පළපුරුද්දක් සහ සුදුසුකම් සහිත අය අතින්. 
වර්ණ ගැලපීමත්, සංගීතයත් මේ සියලු ආයුර්වේද ප්‍රතිකාර අතරතුරදී වැඩි සැළකිල්ලක් යොමුවන අංශ දෙකක්. ඒ වගේම හෝටලය තුළ ඉන්නා නේවාසික වෛද්‍යවරයා විසින් අමුත්තන්ගේ පෝෂණ අවශ්‍යතා ගැනත් පෞද්ගලික මට්ටමින් උපදෙස් සපයනවා.

“ආහාර” නමින් නම් කරලා තියෙන හෝටල් අවන්හලේදී මුළුමනින්ම නිර්මාංශ සහ වස විසෙන් තොර කාබනික ආහාර පිළිගැන්වෙනවා. ඒ ආහාර සකසන්නේත් හෝටලයේ ඉන්නා ආයුර්වේද වෛද්‍යවරයාගේ නිර්දේශ අනුවයි.

අමුත්තන්ගේ සෞඛ්‍ය ගැන අවධානය යොමුකරන අතරේදීම පරිසර හිතකාමී සහ තිරසාර වැඩපිළිවෙළකුත් මෙහි ක්‍රියාත්මක වෙනවා. සූර්ය බල නිෂ්පාදනය එතැනදී විශේෂයි. මාස්පතා කිලෝ වොට් 85ක විදුලියක් නිපදවන්න මේ හෝටලයට පුළුවන්. ඒ වගේම මේ හෝටලයේ සෑම කාමරයකින්ම උපදින ආදායමින් (එක් රාත්‍රියක ගාස්තුවෙන්) ඩොලර් 01ක් බැගින් අවට ප්‍රදේශයේ පෙරපාසල් සඳහාත් දරැවන්ගේ පරිගණක මධ්‍යස්ථානයක් වෙනුවෙනුත් වැය කෙරෙනවා. 

සනත් වීරසූරිය
ඡායාරූප- ප්‍රියන්ත වික්‍රමාරච්චි