“ඩෝ....” දෝංකාර නාදය දෝංකාරයක්ද සමඟින් ඇසේ. ඒ සමඟම තවත් ගමේ ඈත නිවසකින් ඩෝං නාදයකි. එය සමහරවිට අර නාදය තරම් ගැඹුරු නැත. මොහොතකින් තවත් නිවෙසක් දෙසින් “ඩෝං”හඬකි. මේ ශබ්ද ඇසෙන්නේ අද මෙන් රතිඤ්ඤා ප්‍රචලිතව නොතිබූ 1970 දශකයේ අවුරැදු කාලෙට නාද කරන උණ බම්බු වෙඩිවලිනි. එකල අවුරුදු කාලෙට බොහෝ නිවෙස්වල තරුණ පිරිස් උණ වෙඩි තනා තරගයට පත්තු කිරීම විනෝදාංශයක් කරගෙන සිටියහ.
“උණ වෙඩිල්ල කියන්නේ එදා ගමත් සමඟ එකමුතු වී තිබුණු ක්‍රීඩාවක්. කඳුවල වැදිලා දෝංකාර දෙන උණ වෙඩි ශබ්ද අවුරුදු කාලෙට හැමතින්ම ඇහෙනවා.” අපට එලෙස පැවසුවේ පාදුක්ක අරුක්වත්ත අමරසිංහ මාවතේ පිහිටි උණ අරණේ නිර්මාතෘ චන්දන මාඉටිපේය. ඔහු තමාට මවගෙන් උරුම වූ පුස්ඇලි ඔයට මායිම් වූ සුන්දර බිම්කඩ සදාහරිත උණඅරණක් වශයෙන් පවත්වාගෙන යන පරිසර හිතැතියෙකි. පසුගිය අවුරුදු කිහිපය තිස්සේම උණ අරණේ අවුරුදු උණ වෙඩි සංදර්ශන රැසක් පැවැත්වුණි. වසර කිහිපයක් නිහඬව පැවති උණ අරණ මෙවර අවුරුද්දට යළිත් උණ වෙඩි දැක්මකට සූදානම් වෙමින් පවතී. “මුලින්ම උණ වෙඩි සංදර්ශන පටන් ගත්තේ 2009 දී. තට්ටුවක් හදලා පැත්තකට 10 බැගින් දාලා වෙඩි පත්තු කළා. ඊට පස්සේ ඔයේ පාරුවක් හදලා ඒකේ වෙඩි සවිකරලා පත්තු කළා.”
“අඩි 5ක් පමණ දිග මෝරපු උණ කඳක් අරගන්නවා. ඒකෙ අගම පුරුක ඉතුරුවන විදිහට අනෙක් පුරුක් ටික විදගන්නවා. යකඩ කූරක් වගේ එකකින්. ඊට පසු අඟලේ බාගේ ඩ්‍රිල් කටුවකින් අගම පුරුකට ටිකක් මෙහායින් සිදුරක් විදගන්නවා. අපි මේ උණකඳ පදම් කරගන්න පොල් අතුවලින් ගිනිමැල ගහනවා. ඉන් රත්කර ගන්නවා. පසුව අගම පුරුක ළඟට භූමිතෙල් පුරවා ගන්නවා. උණ ලීයකින් කුඩා උණ පතුරු කෑල්ලක් කපාගෙන උණ ලීයට භූමිතෙල් ගාලා පත්තු කරගෙන සිදුරෙන් ගිනි තබනවා. ඊට පස්සේ අයෙත් සිදුරෙන් පිඹලා ගිනි තබනවා. මෙහෙම ගිනි තැබූ විට භූමිතෙල් වාෂ්පය ගිනි අරන් විශාල ශබ්දයක් පිටවෙනවා. ටික ටික තෙල් රත්වන විට ශබ්දය ඉහළ යනවා” උණ වෙඩිල්ලක් තනන අයුරු ඔහු ප්‍රකාශ කළේ මෙලෙසය.
අද ලෝකය පුරා උණ ශාකයේ වැදගත්කම ගැන කතාබහට ලක්ව තිබේ. මේ නිසාම සැප්තැම්බර් 18 දිනය ලෝක උණ ශාක දිනය ලෙසද ප්‍රකාශයට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේද පුරාණයේ පටන් ගංගාවල ඉවුරු දෙපස ඛාදනයෙන් ආරක්ෂා කළේ උණ ගසයි. තෘණ කුලයට අයත් උණ හා බට වර්ගවල වැදගත්කම හඳුනාගත් පාදුක්කේ චන්දන මාඉටිපේ තම ඉඩම් කොටසේ හෝටලයක් අවන්හලක් වැනි මුදල් හොයන උපක්‍රම ක්‍රියාත්මක කරනු වෙනුවට උණ උද්‍යානයක් පිහිටුවීමේ සිහිනය දුටුවේය. මේ වනවිට උණ හා බට ශාක විශේෂ 20ක් පමණ මෙහි වගාකර තිබේ. මහ වැස්සට ඔය පිටාර ගලා මේ බිම යටවේ. එවිට එය එක් අතකින් තෙත් බිමක් ලෙසද ක්‍රියාකරයි.
“මට හිතුණා මේ ඉඩම රට වෙනුවෙන් යමක් කළ හැකි වැඩකට යොමුකරන්න. එවිටයි මට හිතුණේ ඉඩම උද්‍යානයක් විදිහට වර්ධනය කරන්න. මිනිසුන්ගේ ඇඟට දැනෙන විදිහට යමක් කරන්න මට ඕනෑ වුණා.”
අද ඔහුගේ ඉඩම විශාල යෝධ උණ හා බට වර්ග රාශියකින් සමන්විතය. මේ උණ තුරු මුදුන්වල සතුන්ගේ වාසස්ථාන බිහිවී තිබේ. “මේ යෝධ උණ බුරුමයෙන් ගෙනාපුවා. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මේ ගස් තිබෙනවා. ලෝකයේ වර්ධන වේගය වැඩිම ගස යෝධ උණ ගසයි. දැනට මේ තියෙන ලොකු පඳුරට අවුරුදු 19ක් වයසයි. චීන උණ, බංග්ලාදේශ උණ වර්ග කිහිපයක්ම මෙතන වවලා තිබෙනවා. මේවායේ අංකුර ආහාරයට ගන්නවා.” චන්දන පැවසුවේය.
උණ ශාක රෝපණයට අමතරව තම පෞද්ගලික මුදලින් ගොඩනැගිලි ඉදිකර උණ ශාක කෞතුකාගාරයක්ද ඔහු ආරම්භ කළේය. උණ හා බට ශාක භාවිත කරන ආකාරය එහි නිරූපිතය. එහෙත් නිසි නඩත්තුවක් කිරීම අපහසු වීම නිසා එය මේ වනවිට අකර්මණ්‍යයව පවතී. උණ පන්දම් දැල්වීම, උණ වෙඩි හරඹ, උණ පාරු, බටනලා වාදනය, උණ සෙක්කු, උණ පිට්ටු තැම්බීම, උණ ඉණිමං, බට තුවක්කු ප්‍රහාර, උණ අංකුර අපේ තැනීම ආදී ක්‍රියාකාරකම් රැසක් මෙහි පසුගිය වර්ෂවල ක්‍රියාත්මක විය.
“මේ අවුරුද්දටත් උණ වෙඩි සංදර්ශනයක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමඟම අකර්මණ්‍යව පැවති උණ අරණ යළිත් සජීවීව පවත්වාගෙන යාමටත් බලාපොරොත්තු වෙනවා.” ඔහු පැවසුවේය.
ශ්‍රී ලංකාවෙන් සීඝ්‍රයෙන් වඳවී යාමේ තර්ජනයට මුහුණපා සිටින වානර ගෝත්‍රයට අයත් උණහපුලුවන්ද මේ අවට සරති. උණහපුලුවන් රැකගැනීමේ උනන්දුවද චන්දන තුළ පවතී. මෙහි තරු වියන් අතර සහ පුස්ඇලි ඔය ආශ්‍රිතව රතු උණහපුලුවන්ගේ වර්ධනයක් පසුගිය කාලයේ සිදුවී ඇත.
අද ලංකාවේ පැවති ස්වභාවික උණ ගහන විනාශ කර දමා ඇත. පසුගිය අවුරුදුවල මහනුවර අවට මහවැලි ගඟ දෙපස යෝධ උණ වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරිණි. බ්‍රසීලය, කොස්ටරිකාව, මෙක්සිකෝව ආදී රටවල උණ කැලෑ බහුලව පැතිර තිබේ. චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, වියට්නාමය ආදී රටවලද උණ ආශ්‍රිත විවිධ නිෂ්පාදන කරයි. නමුත් උණ ගස වගා කිරීමට අවශ්‍ය දේශගුණ සාධක ඕනෑතරම් ඇති ශ්‍රී ලංකාවේ ඒ සඳහා උනන්දුවක් නැහැ. ස්වේච්ඡාවෙන් උණ ගස ප්‍රචලිත කිරීමට උත්සාහ ගන්නා චන්දන වැනි පුද්ගලයන්ගේ උනන්දුව අප අගය කළ යුත්තේ ඒ නිසාය. මනසට සිසිලක් ලබාගැනීමට උණ අරණ කදිම බිම්පෙතකි.
► කුසුම්සිරි
සේයාරූ: සුමුදු හේවාපතිරණ