2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

මේ නගරාධිපතිකම කාටවත් දෙන්නේ නෑ

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 154

බයිසිකලයෙන් ඇවිත් මහරගම නගරාධිපති වූ ටිරාජ් ලක්රුවන් කියයි

පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණයක් පැවැත්වුණේ වසර දෙකක ප්‍රමාදයකින් පසුවය. පොහොට්ටුව ලාංඡනයෙන් ඉදිරිපත් වූ පොදුජන පෙරමුණ ප්‍රතිඵලවලින් ඉහළ ජයග්‍රහණයක් ලබද්දී මහරගම ආසනයෙන් ජය ලැබුවේ මෝටර් බයිසිකල් ලකුණින් ඉදිරිපත් වූ කණ්ඩායමයි. අලුත්ම පක්ෂ සලකුණක් වූ මෝටර් සයිකලය යටතේ ඡන්දයට ඉදිරිපත්ව සිටි ස්වාධීන කණ්ඩායම එසේ ජයගත්තේ පොහොට්ටුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බැවින් එම කණ්ඩායමට සහාය දැක්වීමට පොදු ජන පෙරමුණ කටයුතු කළ බැවිනි. 

දෙපාර්ශවය අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව එසේ වන අතර පක්ෂය දිනවූ පසුව සියලු මන්ත්‍රීධූර පොහොට්ටුවට ලබා දීම එම පොරොන්දුව විය. ඡන්ද ප්‍රතිඵලයට අනුව ජයග්‍රහණය කළ ස්වාධීන කණ්ඩායමේ නායක ටිරාජ් ලක්රුවන් පියරත්න ඒ අනුව මහරගම නගර සභාවේ වත්මන් නගරාධිපතිවරයා වශයෙන් දිව්රුම් දුන්නේය. දේශපාලන තනතුරකට ආධුනිකයකු වන මහරගම නව නගරාධිපති සමඟ සිදුකළ සංවාදයකි මේ.
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙද්දී ඔබ හිතුවාද මහරගම නගරාධිපති වෙයි කියලා?

මුලින් මම ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වෙද්දී හිතුවෙම නෑ. නමුත් පොදු ජන පෙරමුණ අපේ පක්ෂයට සහාය දක්වද්දී මට හිතුණා බහුතර බලය ලබාගන්න හැකි වෙයි කියලා.

එහෙම නැතුව නගරාධිපති තනතුර ගැන බලාපොරොත්තුවක් තිබුණේ නැද්ද?

ඇත්තටම නගරාධිපති කියන සිහිනයක්වත් මට තිබුණේ නෑ.

ඔබ මැතිවරණයට ඉදිරිපත් වීමත් අහම්බයක්ද?

නෑ... මම වසර කීපයක් දේශපාලනයට උනන්දු වුණා. 2015 වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළා. ඊට පසුබිම් හැදුණේ දේශපාලන නායකයන් කීපදෙනෙක් සමඟ වැඩ කරලා අවුරුදු 9ක් විතර අත්දැකීම් ලබපු නිසා. එදා මම ඡන්දයට ඉදිරිපත් වුණේ සුළු පක්ෂයකින්.

එම පක්ෂය ගැන අදහස මොකද්ද?

නෑ.. ඒ පක්ෂය ගැන කතා කරන්න අවශ්‍ය නෑ.

ඔබ අවුරුදු නවයක් දේශපාලන නායකයෙක් ඇසුරු කළානම් ඔවුන්ගේ මඟ පෙන්වීමත් ලැබෙන්න ඇති නේද?

මගේ පියා සහකාර පොලිස් අධිකාරීවරයෙක් විදිහට හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ ආරක්ෂක කටයුතුවල නියැලුණා. ඒ දවස්වල මම එතුමා සමඟ දේශපාලන කටයුතුවල නියැලුණා. ඒ අතර හිතවත් දේශපාලනඥයන් සමඟ කටයුතු කළා. නමුත් මට ස්ථාවර මාර්ගයක යන්න බැරිවුණා. ඒ අවස්ථාව ලැබුණේ මේ පුටුව නැත්නම් මහරගම නගරාධිපති තනතුර ලැබීමත් සමඟයි.

ස්ථාවර මාර්ගයක් නොතිබූ ඔබට පළමුවෙන්ම ලැබුණු මේ තනතුර අලුත්. වගකීම් වැඩියි නේද? හිතට බරක් නැද්ද?

නෑ. එහෙම එකක් නෑ. බර දරන්නේ බර උසුලපු මිනිහෙක්නේ. මාත් ජීවිතේ දුක් මහන්සි වෙච්ච කෙනෙක්. දුක නොදන්න මිනිහෙක්ට මේ පුටුව කරන්න බෑ. මම මීට කලින් රස්සා තිස් ගාණකට වැඩිය කරලා තියෙනවා. පිටරටකත් රස්සාවක් කළා. දවසට පැය දහඅට පැය විසිහතර අමාරුවෙන් වැඩ කරලා තියෙනවා. මේක මට එච්චර ලොකු දෙයක් නෙවේ. සිම්පල් දෙයක්.

ඔබ කලින් නියැලුණු වෘත්තීන් ගැන මතක් කළොත්?

ඒවා අවශ්‍ය නෑ. පොඩි පොඩි රුකියා කළා. පස්සේ ජපානයට ගිහින් රැකියාවක් කළා. ඒ ඇර වෘත්තිය ගැන කියන්න අවශ්‍ය නෑ. හැබැයි මෙතනට ආවේ මහන්සි වෙලා. මොකද මගේ තාත්තා සහකාර පොලිස් අධිකාරීවරයෙක් වුණත් මට උදව් කළේ නෑ. ඒ වුණාට මට දේපලක් තියෙනවා. කොළඹ රාජකීකය විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා.

එතකොට පවුලේ විස්තර?

අම්මා, තාත්තා සහ මම විතරයි. පවුලේ වෙන කෙනෙක් නෑ. අම්මා පෞද්ගලික බැංකුවක කළමනාකාරවරියක්. තාත්තා සහකාර පොලිස් අධිකාරීවරයෙක්. මගේ සීයා පවා හොඳට ඉගෙනගත්ත කෙනෙක්.

ඡන්ද සමයේදී ප්‍රසිද්ධ කතාවක් තමයි පොදු ජන පෙරමුණේ මහරගම නාමයෝජනා ප්‍රතික්ෂේප වීම නිසා විකල්ප ස්වාධීන කණ්ඩායමක් හරහා මෝටර් සයිකලය සලකුණට ඡන්දය දුන්නා කියලා.

ඔව්. ඒක එහෙමම තමයි. පොහොට්ටුවට ලබා දුන්නු ඡන්ද තමයි සේරම මෝටර් සයිකලයට ලැබුණේ. ඒක කියන්න ඕන දෙයක් තමයි.

එතකොට ඔබේ අදහසක් තිබෙනවද යම් දවසක තනතුර පොහොට්ටුවට ලබා දෙන්න?

නෑ. එහෙම අදහසක් නෑ. ස්වාධීන කණ්ඩායමක් හෝ පිළිගත් දේශපාලන පක්ෂයක් වුණත් යම් සමූහයක් එතන ඉන්නවනේ. එතකොට ඒ අය නියෝජනය කරන්නේ මම. මෙතන මූලිකත්වය ගත්තේ මමයි. පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු පිරිස මට සහයෝගය දුන්නා. එතන මන්ත්‍රීධූර 24 එන්නේත් මම නිසයි. ඒ පක්ෂයේ නායකත්වය නිසා මට මේ තැන හිමි වුණා. ඒ හැර මගේ තනතුර තව කෙනෙකුට දෙන්නේ නෑ.
දේශපාලනයට  ආධුනිකයෙක් සහ තරුණයෙක් විදිහට ඔබ මේ පුටුවට පත් වුණාම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගෙන් යම් බලපෑමක් එල්ල වුණාද?

විශේෂ බලපෑමක් ආවේ නෑ. කවුරැත් මාත් එක්ක තරහක් නෑ. සමහරුන්ට යම් හිත් අමාරුවක් තියෙන්න පුළුවන්. නමුත් නගර සභාවේ කාර්ය මණ්ඩලය, පළාතේ ජනතාව මාත් එක්ක හිත හොඳයි.

මැතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතා ඔබ වෙනුවෙන් කතා කළා. ඔහු ඔබ වෙනුවෙන් පෙනී නොසිටියානම් තත්ත්වය?

ඇත්තටම නගරාධිපතිකම හම්බෙන්නේ නෑ. හැබැයි නාගරික මන්ත්‍රී කෙනෙක් වෙන්න අවස්ථාව තිබුණා.

ඔබ කියන විදිහට හිතේවත් නොතිබුණු තනතුරක් ඔබට හිමිවීම පරණ පිනක් ඔළුවට වැටීමක් නොවේද?

පින කියලා දෙයක් තියෙනවා. විශ්වගේ ආශිර්වාදය කියලා එකක් තිකයෙනවා. ඒක ඇහෙන්නේ පේන්නේ නෑ. සිද්ධවෙන දේත් එක්ක තේරැම් ගන්න පුළුවන් ආශිර්වාදය, පින තියෙනවා කියලා. මම හරි දේ කරලා හොඳ සිතුවිල්ලෙන් ඉන්නවානම් මට හොඳ දෙයක්මයි සිද්ධ වෙන්නේ. ඒකයි මගේ දර්ශනය.

පොහොට්ටුවේ පිහිටෙන් නගරාධිපති වුණු ඔබ ඒ පක්ෂයේ අයට නගර සභාවේ නියෝජනයක් ලබා දෙනවද?

ඔව්. අනිවාර් යෙන්ම නගරාධිපති වෙච්ච මා හැර අනිත් සියලු මන්ත්‍රීධූර 24ම පොහොට්ටුව පක්ෂය නියෝජනය කරන්නේ. මගේ ස්වාධීන කණ්ඩායමේ මා පමණයි තනතුරක් දරන්නේ. මැතිවරණ කොමසාරිස්තුමාගේ උපදෙස් අනුව නියමිත ක්‍රමවේදයට මගේ කණ්ඩායමේ පිරිස ඉල්ලා අස්වුණාම ඒ අවස්ථාව පොහොට්ටුව පාර්ශවයට ලැබෙනවා.

මේ කාරණය පිළිබඳව මැතිවරණයට පෙර පොදුජන පෙරමුණ සමඟ එකඟතාවයකට ආවාද?

ඔව්. එහෙම පොරොන්දු වුණා. සංශෝධන රෙගුලාසි අනුව ඒක සිදුවෙනවා. අවසානයේ පොහොට්ටුවේ 24 දෙනෙක් නගර සභාව නියෝජනය කරනවා. ඒ පිරිස කවුද කියන එක ඒ පක්ෂය තීරණය කරයි.

මහරගම කියන්නේ සිංහල බෞද්ධ ජනතාව බහුතරයක් ජීවත්වන විශාල නාගරික ප්‍රදේශයක්. ඔවුන්ගේ යහපත වෙනුවෙන් මොනවගේ සේවයක් කරන්නද බලාපොරොත්තුවෙන්නේ?

1990න් පස්සේ මහරගම ප්‍රදේශයට කිසිම ක්‍රමවත් සංවර්ධන ක්‍රමයක් ගෙනැවිත් නෑ. මේ ප්‍රදේශයේ පුරන් කුඹුරු රාශියක් තියෙනවා. ආරක්ෂක අංශ සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සමඟ එකතු වෙලා ඒවා සංවර්ධනය කරලා වගාවට යොමු කරලා ඵලදායිතාව නංවනවා. හිස් ඉඩම් වගාවන් සඳහා යොමු කරනවා. ගොඩක් ජනතාව තුළ පිරිසිදුකම නෑ. මිනිස්සුන්ගේ යහපත් ආකල්ප සංවර්ධනය  කරන්න අවශ්‍ය පියවර ගන්නවා.

ඔබ මැතිවරණයකදී දුන්න පොරොන්දු නිසියාකාරව ඉෂ්ට කරනවාද?

මම කිසිම මැතිවරණ පොරොන්දුවක් දුන්නේ නෑ. මම කාටවත් බැන්නෙත් නෑ. පොරොන්දු වුණෙත් නෑ. නමුත් කොට්ඨාසයේ ජනතාවට කීවා ගමේ කුඹුරු ටික වගා කරන්න සහ ජනතාවගේ ආකල්ප සංවර්ධනය කරන්න යමක් කරනවා කියලා. මොකද අපට බොරුවට කතා කරලා කරන්න බැරිනම් වැඩක් නෑනේ. මොකද දැන් මම කොට්ඨාසය විතරක් නෙවේ නගර සභාවම බලන්න අවශ්‍යයි.

ඔබේ ගමනට ආණ්ඩුවේ සහයෝගයක් නොලැබුණොත්?

එහෙමනම් බාධාවක් වෙයි. ඒක ඒ වෙලාවට බලාගමුකෝ.

මහරගම නාගරික සහ වෙළෙඳ ප්‍රදේශයක්. කාර්යබහුල නගරයක්. එවැනි නගර සභාවක නගරාධිපති වශයෙන් කටයුතු කරද්දී ඔබට බලපෑම් එන්න පුළුවන් නේද?

කිසි බලපෑමක් නෑ. මගෙන් කාටවත් බලපෑමකුත් නෑ. මම කෙළින් තීරණ ගන්නවා. එතැනදී සමහර පාර්ශවවලට රිදෙන්න පුළුවන්. නමුත් ඒක දීර්ඝ කාලීනව සාර්ථකයි.

අද හැමදෙයක්ම මුදලට යටවෙන සමාජයක් තිබෙන්නේ. යම් පාර්ශවයක් ඔබව මුදල් බලයෙන් දූෂිතයන්ගේ පාර්ශවයට නතුකරගන්න උත්සාහ කළොත්?

දේශපාලනය එකක්. මුදල් හරිහම්බ කිරීම තව එකක්. ඒකට රිදවීම අසාධාරණය වැඩක් නෑ. මෙහෙ සල්ලි එකතු කරන්නේ මිනිස්සු වෙනුවෙන්මයි. නගරසභාවටමයි. ඒවා මම ගෙදර ගෙනියන්නේ නෑ. මට සල්ලි අවශ්‍යනම් ව්‍යාපාරයක් කරනවා. මම අනවශ්‍ය දේට යොමුවෙන්නේ නෑ.

► සංවාදය සහ සේයාරුව - සමන්ත ප්‍රදීප් විල්තෙර