2017 ජනවාරි 21 වන සෙනසුරාදා

කෝණ මාසේ කසාද අරහං

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 615

 

ලෝකය බබුළුවන්නේ සූර්යයාය. සියලුම නැකත් සඳහා නොඑසේ නම් සියලු සුභ කටයුතු සඳහා පළමුව සූර්යාගේ හා සඳුගේ ගමන් රටාව බැලිය යුතුමය. ලෝකයේ පහසුව සඳහා භාවිත කරන ඉංග්‍රීසි මාස ක්‍රමය අප කාටත් හුරුපුරුදුය. ඉංග්‍රීසි මාස ක්‍රමය සෑම මාසයකම පළමු දිනෙන් ආරම්භ වනවාසේම සූර්ය මාස ක්‍රමය සෑම මාසයකට මැදින් ආරම්භ වී ඊළඟට මාසයේ මැදින් අවසන් වේ.

අප්‍රේල් මාසයේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වන දිනය අලුත් අවුරුදු උදාවන මොහොතයැයි ඔබ දනී. එසේනම් රාශි 12 මංගල ගමනේ ප්‍රථම දිනය සූර්යා ආරම්භ කරන්නේ මේෂ රාශියෙන් බව ඔබට වැටහෙනවා ඇත.

දැනට අප්‍රේල් 12 – 14 දින අතර සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වන්නේය. මෙම සූර්යාද දින 30ක් එක් රාශියක ගත කරන්නේය. දිනකට අංශක එකයි විකලා ප්‍රමාණයක් ගත කරයි. හේතුව වර්ෂයකට දින 365 දශම 25ක් ගමන් කරන නිසාය. පොදුවේ සූර්ය මාස ආරම්භය අප්‍රේල් 15 දායැයි උප කල්පනය කළවිට අප්‍රේල් 15 සිට මැයි 15 දක්වා ප්‍රථම රාශිය වූ මේෂ රාශියේ සූර්යා ගමන් කරයි. මැයි 15 සිට ජූලි 15 දක්වා දෙවැනි රාශිය වූ සිකුරුට අයත් වෘෂභ රාශියේ ගමන් කරයි. ජූනි 15 සිට ජූලි 15 දක්වා බුධට අයත් මිථුන රාශියේ සූර්යා ගමන් කරයි.

මෙම මිථුන රාශියේ සූර්යා ගමන් කරන වකවානුව කෝණ මාසවල ප්‍රථම මාසයයි. වර්ෂයකට කෝණ මාස 4ක් තිබේ. ජූලි 15 සිට අගෝස්තු 15 දක්වා රවි කටක රාශියේ ගමන් කරයි. අගෝස්තු 15 සිට සැප්තැම්බර් 15 දක්වා රවි තම රාශිය වූ සිංහ රාශියේ ගමන් කරයි.

සැප්තැම්බර් 15 සිට ඔක්තෝබර් 15 දක්වා නැවතත් බුධ හිමි කන්‍යා රාශියේ සූර්යා ගමන් කරන මාසය කෝණ මාසවල දෙවැනි මාසයයි.
ඔක්තෝබර් 15 සිට නොවැම්බර් 15 දක්වා තුලා රාශියේ රවි ගමන් කරයි. නොවැම්බර් 15 සිට දෙසැම්බර් 15 දක්වා වෘශ්චික රාශියේ රවි ගමන් කරයි.

කෝෙණ් කන මඟුල් තුලා තාමත් සකි ඵල    නොදේවි
පහනේ තෙල් තිබෙන තුරා පහන් වැටිය එළිය    දේවි
මූණේ සහ ඇඟෙ හැටියෙන් යටහත්කම පෙනී    යාවි
හීනෙන් දුටුවත් කිසිදා කෝණ මාසෙ වැඩ    නොදේවි

දෙසැම්බර් 15 සිට ජනවාරි 15 දක්වා රවි ධනු රාශියේ ගමන් කරන කාලය තුන්වන කෝණ මාසයයි. 
ජනවාරි 15 සිට පෙබරවාරි 15 දක්වා රවි මකර රාශියේ ගමන් කරයි.

මේ අනුව ඉංග්‍රීසි ක්‍රමයට වර්ෂයක උදාව ජනවාරි 1 දින වුවද සූර්ය මාස ක්‍රමයට වර්ෂයක උදාව ජනවාරි 15 දින මකර රාශියෙන් ආරම්භ වේ.
පෙබරවාරි 15 සිට මාර්තු 15 දක්වා රවි කුම්භ රාශියේ ගමන් කරයි. මාර්තු 15 සිට අප්‍රේල් 15 (අවුරුදු දින දක්වා) සූර්යා මීන රාශියේ ගමන් කරන කාලය හතර වෙනි කෝණ මාසයයි.

බුධට අයත් රාශි දෙකේ හා ගුරුට අයත් රාශි දෙකේ සූර්යා ගමන් කරන කාලය කෝණ මාසයයි.

ලෝකායන කේන්ද්‍රයේ තුන්වැන්න මරණ කාරක ස්ථානයකි. 6 වැන්න, රෝග බාධා දෙන ස්ථානයකි. මේ ස්ථාන දෙකම පාපී ස්ථානයන්ය. එම නිසාම මේ ස්ථාන දෙක අධිපති බුධට අයත් මිථුන, කන්‍යා රාශිවල රවි ගමන් කරන කාලය ඉතා අසුභ බව පෙන්වීමට තනි වචනයකින් කෝණ මාස යැයි හඳුන්වා දී ඇත.

ලෝකායන කේන්ද්‍රයේ 12 වැන්න මීන රාශියයි. සූර්ය ලග්නයෙන් 8 වැන්න මීන රාශියයි. ඡන්ම ලග්නයෙන් 6 වැන්න ධනු රාශියයි. මේ හේතු මත ගුරුට අයත් ධනු, මීන රාශිවල රවි ගමන් කරන කාලය කෝණ මාස නොහොත් නැකත් සඳහා නුසුදුසුම කාලයක් ලෙස හුවාදක්වා තිබීම තර්කානුකූලය.

අස්විදයේ සිට රේවතී දක්වා ඇති නැකත් 28කින් යුත් තරු පංතිය කොටස් හතරකට බෙදා ඇත. ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යනු ඒ කොටස් වේ.
නාරද ඍෂිවරයා මෙසේ බෙදා පවසන්නේ හිරු මෝක්ෂ මාර්ගයේ යනවිට සුඳුද එහිම ගමන් කරන්නේ නම්, මරණ, හදිසි අනතුරු, දරුණු විපත් ඇතිවන බවයි. 

කෝණ මාසවල වුවද විදෙස් ගත වීමට සම්මුඛ පරීක්ෂණවලට යාමට, මල්වර නැකත් ඉතා සුදුසුම දිනයක, දිය යුතුව තිබේ.
නමුත් විවාහය, නිවාසවලට අඩිතාලම් දැමීම, වහල ගැසීම, ජනෙල් දොරවල් තැබීම, පදිංචිය, යන්ත්‍ර කටයුතු, තෙල් බෙහෙත් සිඳීම, නොකළ යුතුම මාස 4 කෝණ මාසයන්ය.

අන්තර්ජාල මුහුණු පොතේ සරත් මහින්ද පිටුවට විද්‍යුත් ලිපියකින් පැනයක් ජ්‍යොතිෂවේදියෙක් අසා තිබුණේ මෙසේය. මහත්තයෝ මියගිය අයකු භූමදාන කිරීම සඳහා මගෙන් නැකත් ඉල්ලයි. මා ජීවිතයට එවැනි නැකැත් සාදා නැති නිසා නැකතක් දෙන්න.

ලංකාවේ නැතත් විදෙස් ඇතැම් රටවල භූමදාන කටයුතු සඳහා මිනිය එළියට ගන්නේද නැකැත් වෙලාවටය.

අප බොහෝ දෙනා භාවිත කරන්නේ කෝකටත් තෛලවන ශෝක්තරි දශාව පමණි. නමුත් සූර්යාට අයත් දශාව නියග දශාවයි. උපත කෙදිනක හෝ වේවා වයස 50 – 70 දක්වා සූර්යයාට අයත් නියග දශාව නොහොත් නෛසර්ගික දශාවයි. මේ කාලය තුළ ශල්‍යකර්මවලට හේතුවීම විවිධ රෝග හා මරණය සිදුවේ.

නියත මරණවලට රවි හා සඳු වග කියයි. නමුත් බැර වෙන්නේ සෙනසුරැ බහු භූත ඒරාෂ්ඨකවලටය.

කේ.එච්. සරත් මහින්ද
ආරූඪ ලග්න පොතේ කර්තෘ