ඇදුම රෝගය වයස් භේදයකින් තොරව වැළඳෙන රෝග තත්ත්වයකි. ශ්වසන ව්‍යූහය ආශ්‍රය කර ඇතිවන රෝග තත්ත්වයක් ලෙස ද මෙය හැඳින්විය හැක. නාස් කුහරයෙන් ආරම්භ වී පෙනහළුවලදී ශාඛා, උප ශාඛාවලට බෙදී වායු කෝෂවලින් කෙළවරවන ගමන් මාර්ගය ශ්වසන ව්‍යූහයට අයත් වේ.
මෙම රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණය වනුයේ හුස්ම පිටකිරීම ඇති අපහසුවයි. එමෙන්ම මෙම රෝගය සම්බන්ධය ඇතිවන තවත් රෝග ලක්ෂණ කිහිපයකි. මෙය බෝවන රෝගයක් නොවුණ ද රෝගීන් ඉක්මනින්ම පීඩාවට පත්වන රෝගයකි.
ඇදුම රෝගය ඉලප්පුව, ශ්වාසය, හතිය, හැට්ටුව, ඇදීම, ඊලේ, මුහ රෝගය යන නම්වලින් ද හැඳින්වේ. ඇදුම රෝගය ඇතිවීමට බලපාන හේතූන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඒවා පොදුවේ ගත්කල මෙසේ වෙන් කළ හැක. ආහාර, පාරිසරික හේතූන්, මානසික හේතූන්, ඖෂධ, විහරණ වැනි හේතූන් වශයෙන් එය වර්ග කළ හැක.
මේ අනුව ඇදුම රෝගය ඇතිවන හේතූන් මෙසේ විස්තර කළ හැක.
නිවිති, බණ්ඩක්කා, මෑ කරල් වැනි අධික සීතල ආහාර ගැනීම, මී කිරි, උඳු වැනි බර ආහාර ගැනීම, ශීත කළ බීම වර්ග මෙන්ම ශීත කළ ජලය පානය කිරීම ඇතැම් ඖෂධ වර්ග ඇතැම් රෝගීන්ට ආසාත්මිකතා ඇති කරයි. එවැනි රෝගීන්ට හතිය ඇතිවීම, ශරීරයේ ඉදිමීම, ශරීරයේ පලු දැමීම, කැසීම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක. එමෙන්ම සීතල ජලය නෑම, අධික ව්‍යායාමවල නිරත වීම, අධික වෙහෙසවීම, අව්වේ සිටීම, අධික බර ඉසිලීම, මළමුත්‍රා නිසි ලෙස පිට නොවීම වැනි ඇවතුම් පැවතුම් හේතුවෙන් ද ඇදුම ඇතිවිය හැක.
එමෙන්ම ඇදුම රෝගය සඳහා පාරිසරික හේතූන් ද බලපායි. ඒවා අතරින් ශීත පරිසරය, දුම් හා දූවිලි වැදීම, චන්ද්‍රයාගේ බලපෑම (ඇතැම් රෝගීන්ට පොහොය දිනයන්හිදී ඇදුම රෝගය වැඩිවේ.), බළලුන්, බල්ලන්, ලේනුන්, කුකුළන් හා පරවියන් ආදී සතුන්ගේ මළපහ, ලෝම වැනි දේ වාතයට එකතු වී ඒවා ශ්වසන මාර්ගයට ඇතුළු වීම, මල් පරාග වැනි දේ මේ අතරින් ප්‍රධාන වේ.
එමෙන්ම මව්පිය පරපුරෙන් දරැවන්ට ද ඇදුම රෝගය ඇතිවිය හැක.
ඇදුම රෝගයේ රෝග ලක්ෂණ
හුස්ම පිටකිරීමට ඇති අපහසුව
කැස්ස
පපුවෙන් ගුරු ගුරු ශබ්දයක් ඇතිවීම
පපුවේ බර බව
ඝන, උකු, සුදු නොවන සෙම සුළු ප්‍රමාණයක් පිටවීම
හුස්ම පිටවීම සඳහා දීර්ඝ වේලාවක් ගතවීම
අධික පිපාසය
උගුර කැසීම
නින්ද නොයාම
නළලට දහඩිය දැමීම
තොල, කට වියළීම
කථාව අපහසුවීම
කෙටි හුස්ම අපහසුවෙන් දැනීම
හතිය නිසා සිරුර ගැස්සීම
ඇස් වියළීම.
රෝගය ඇතිවීම වළක්වා ගැනීමට කළ යුතු දේ
අහිතකර ආහාරපාන ගැනීමෙන්, සීතල හුළං වැදීමෙන්, සවස් කාලය සහ රාත්‍රී කාලයේ ශීතල ජලය නෑමෙන්, අධික ව්‍යායාම කිරීමෙන්, මානසික පීඩනවලින්, අධිකව වෙහෙසීමෙන්, පිනි බෑමෙන්, වායු සමීකරණ කරන ලද කාමරවල සිටීම නිසා සහ එවැනි රථවාහනවල ගමන් කිරීමෙන් වැළකීම.
උණුවතුර හුමාලය නාසයට ඇල්ලීම. ඇදුම රෝගය ඇතිවිට ඉඟුරු, කොත්තමල්ලි තම්බා උණුසුම්ව පානය කරන්න. රෝගය වැළඳීගෙන එනවිට උණුසුම් ජලය පානය කිරීම, රාත්‍රී කාලයේදී බර ආහාරයක් වෙනුවට සැහැල්ලු ආහාරයක් ගන්න.
බොහෝ ඇදුම රෝගීන්ට කිරි අල, තිරිඟු වැනි පිෂ්ඨය අධික ආහාර, තක්කාලි, බණ්ඩක්කා, නිවිති, අළු පුහුල්, අන්නාසි, වැල් දොඩම්, ඉස්සෝ, කකුළුවෝ, බලයෝ මෙන්ම ඌරු මස් හා හරක් මස් වැනි ආහාර ගත්විට රෝගය ඇතිවීම හෝ වැඩිවීම සිදුවේ. මේ නිසා ඇදුම රෝගීන් මෙවැනි ආහාරවලින් ප්‍රවේශම් වීම අවශ්‍යය.
එමෙන්ම ඇදුම රෝගීන්ට නෙල්ලි, වියළි මිදි, හාල්මැස්සන්, කරවල, එළු කිරි, ලුණු කැඳ හුමාලයෙන් තම්බන ලද හිතකර එළවළු ගුණදායක වේ.
විශේෂඥ වෛද්‍ය රමනී ස්වර්ණකාන්ති මහත්මිය
(ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිත ලිපියක් ඇසුරෙන්)