♦ ලොකුම පාඩුව පාරිභෝගිකයාටයි
♦ ජාවාරම් නවත්වන්න හැමෝටම බදු ගහන එක වැරැදියි
♦ රන් කර්මාන්තයටම වදින පහරක්
පසුගිය 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ආනයනය කරන රත්රන් සඳහා සියයට 15ක තීරැ බද්දක් පනවා ඇත. මුදල් අමාත්‍යංශය පවසන්නේ මෙරටට ආනයනය කෙරෙන රත්රන්වලින් වැඩි ප්‍රමාණයක් නීති විරෝධී ලෙස ගෙන්වන නිසා එම තත්ත්වය නැති කිරීමට බදු පැනවීම කළ බවය. බදු නැතිව රත්රන් මෙරටට ගෙන්විය හැකි නිසා එලෙස ගෙන්වා යළි අපනයනය කර විශාල ලෙස ලාභ ලැබීමට කූට ව්‍යාපාරිකයන් පෙළඹී සිටින අතර එය නැවැත්වීම මෙලෙස බදු පැනවීමේ පරමාර්ථය බව මුදල් අමාත්‍යංශය පවසා තිබේ. මේ වනවිට ලෝක වෙළෙඳපොළේ රත්රන් මිල ඉහළ යමින් පවතී. මැදපෙරදිග දේශපාලන අර්බුද හා ගෝලීය වෙළෙඳපොළ ගැටලු මෙලෙස මිල ඉහළ යාමට හේතු වී තිබේ. ලෝක වෙළෙඳපොළේ රත්රන් මිල ඉහළ යාම නිසා මේ වනවිට නිව් යෝර්ක් වෙළෙඳපොළේ රත්රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1345 දක්වා වැඩිවී ඇත. මෙතෙක් ආනයන රත්රන්වලට තීරු බද්දක් නොපැවති අතර සියයට 5ක ජාතිය ගොඩනැගීමේ බද්දක් පමණක් ක්‍රියාත්මක විය. මේ වනවිට පනවා ඇති සියයට 15 බද්ද නිසා ආනයනය කරන රත්රන්වලට සියයට 20ක බද්දක් ගෙවීමට සිදු වේ.
මෙරට ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් වැඩි දෙනා රත්රන් මිලට ගන්නේ රාජ්‍ය බැංකුවලිනි. නිත්‍යනුකූල ලෙස එසේ මිලට ගන්නා ව්‍යාපාරිකයන් සිටියත් වෙළෙඳපොළ ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ බොහෝ දෙනා හොර පාරේ රත්රන් ලබා ගැනීමට පෙළඹී සිටින බවය. සාමාන්‍ය වෙළෙඳපොළේ රන් පවුමක මිල මේ වනවිට රුපියල් 8000 – 9000 අතර ප්‍රමාණයකින් වැඩිවී තිබේ. රුපියල් 52,000 පමණ වූ කැරට් 22 රන් පවුමක මිල මේ වනවිට රුපියල් 60,000 දක්වා ඉහළ ගොස් ඇත. මෙයින් රන් ආභරණ තැනීමට වැඩ කුලිය ද එකතු වන අතර ඒ හේතුවෙන් පවුමක කැරට් 22 ආභරණයක් රුපියල් 68,000ක් හා කැරට් 24 ආභරණයක් රුපියල් 75,000 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම තත්ත්වය නිසා විවාහ මංගල උත්සව ආදියේදී චාරිත්‍ර ලෙස රන් ආභරණ පළදින තරුණ තරුණියන්ට විශාල ආසාධාරණයක් සිදුවන බවක් පෙනෙන්නට තිබේ. සෑම දෙයකම මිල ඉහළ ගොස් ඇති පරිසරයක මෙලෙස රන් භාණ්ඩවලට ද විශාල වශයෙන් අතිරේක මුදලක් වැය කිරීමට සිදුවීම නිසා ඔවුන් කබලෙන් ලිපට වැටී තිබේ. මෙම තත්ත්වය ව්‍යාපාරිකයන්ට බලපාන අන්දම ගැන සලකා බැලීමේදී පැහැදිලි වන්නේ මහා පරිමාණ අයට නොව කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට තදින් අහිතකර බවයි. මහා පරිමාණ ව්‍යාපාරිකයන් ළඟ රන් සංචිත ගබඩා කර තබා ගන්නා නිසා ඔවුන්ට මෙම බදු ඉහළ දැමීම එතරම් තද බලපෑමක් ඇති නොකරයි. එසේ වුවද කුඩා පරිමාණ අයට බොහෝ සේ අහිතකර වන්නේ ඔවුන් සතුව විශාල වශයෙන් රන් සංචිත නොමැති වීමය. ඔවුන්ට සිදුවන්නේ වැඩි මිලට රත්රන් මිලට ගැනීමය. එහිදී ඔවුන් තනන ස්වර්ණාභරණ මිල වැඩිවන අතර විශාල ව්‍යාපාරිකයන් සමඟ තරග කිරීමට නොහැකි වීමෙන් සුළු ව්‍යාපාර වැසී යාමේ තර්ජනයකට ලක්වීමට ඉඩ ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
ආර්ථික විද්‍යාව අනුව යම් භාණ්ඩයක මිල වැඩිවන විට ඉල්ලුම පහළ බැසීම සාමාන්‍ය ක්‍රියාදාමය වේ. එසේම මිල පහළ යනවිට ඉල්ලුම වැඩි වේ. එහෙත් රත්රන් වෙළෙඳපොළ ගැන සලකා බැලීමේදී පෙනීයන ප්‍රධාන කරුණක් වන්නේ එහි මිල ඉහළ යනවිට ඉල්ලුමද වැඩිවන බවය. එයට හේතුව රත්රන් සුඛෝපභෝගී භාණ්ඩයක් (luxury product) මෙන්ම කෙනකුගේ තත්ත්වය මනින භාණ්ඩයක් (status product) බවට පත්ව තිබීම බව ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසයි. ඒ නිසා ආර්ථිකය අතින් ශක්තිමත් පුද්ගලයන් මිල වැඩි වූ විට වැඩියෙන් මිලට ගෙන තම සන්තකයේ තබා ගැනීමට, ස්වර්ණාභරණ බවට හරවා පැළඳීමට උනන්දු බවක් දක්නට ඇත. එයින් තමාගේ සුඛෝපභෝගී ජීවිතය හා යහපත් ආර්ථික තත්ත්වය ලොවට ප්‍රදර්ශනය කිරීම හේතුවයි. එසේම රත්රන් මිලට ගෙන තබා ගැනීම සාර්ථක ආයෝජනයක් ද වෙයි. මුදල් බැංකුවල තැන්පත් කිරීමට වඩා රැස්කර තබා ගැනීම සාර්ථක ආයෝජනයකි. එය අවශ්‍ය අවස්ථාවකදී මුදල් බවට පත්කිරීමට හැකිවේ. රත්රන්වලින් සෞභාග්‍යය ළඟාකර ගත හැකි බවට ද මතයක් පවතී.
පුද්ගලයන් ළඟ පමණක් නොව මහා භාණ්ඩාගාරයේ ද රන් සංචිත පවතී. එය වැඩිවීම රටේ ආර්ථික ශක්තිය යහපත් වීමට හේතුවයි. විදේශ මුදල් සංචිත මහා භාණ්ඩාගාරයේ රැස්කර තබා ගන්නවා මෙන් රන් සංචිත ද ගබඩා කර තබා ගනී. අවශ්‍ය අවස්ථාවකදී වෙළෙඳපොළට දමා මුදල් කළ හැකිය. ඒ නිසා එයින් රටේ වත්කම ප්‍රකාශ වේ.
එසේම රත්රන් අපේ වාණිජ බැංකු සමූහයේ ශක්තියට ද බලපායි. බොහෝ බැංකු පාරිභෝගිකයන්ට ණය නිකුත් කරන්නේ රත්රන් ස්වර්ණාභරණ ඇපයට තබාගෙනය. සමස්තයක් වශයෙන් ගත් කළ අපේ රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකුවලින් සියයට 23කට අධික ණය ප්‍රමාණයක් දී ඇත්තේ රත්රන් ඇපයට තබාගෙන බව කථිකාචාර්යවරයා පවසයි. යම් ලෙසකින් රත්රන් මිල අඩුවුවහොත් පාරිභෝගිකයන් උගසට තැබූ තම රන් ආභරණ බේරා ගැනීමට උනන්දු නොවීමට ඉඩ ඇත. එයට හේතුව වෙළෙඳපොළේ රන් මිල පහළ වැටීම නිසා වැඩි මුදලක් දී උගස බේරා ගැනීම ඔවුන්ට අහිතකර වීමය. එතැනදී මහ බැංකුවට සිදුවන්නේ උගස් පොලිය අඩුකර ණයකරැවන් උනන්දු කිරීමටය. එසේ නොකළහොත් බැංකු කඩා වැටීමට ද හේතුවිය හැකිය.
2016 අයවැය ලේඛනයේදී රත්රන් ආනයනය කිරීම සඳහා පුද්ගලයන් 50 දෙනකුට අවසර දී ඇත. එයට බැංකු ද ඇතුළත් වේ. එයට වඩා බලපත්‍ර නොදෙන්නේ වැඩිපුර ගෙන්වුවහොත් මිල අඩුවිය හැකි බැවිනි. එවැනි තත්ත්වයක් ඇතිවීම බැංකුවලට අහිතකර වේ.
පසුගිය කාලයේ ග්‍රීසිය රත්රන් ටොන් 4000ක් වෙළෙඳපොළේ අලෙවි කිරීම නිසා ලෝක වෙළෙඳපොළේ රත්රන් මිල අඩුවී තිබේ. 2007දී අමෙරිකානු ආර්ථිකය කඩා වැටීමට මෙය හේතුවක් විය. එහිදී අමෙරිකාව ග්‍රීසියට අඩු පොලියට ණය දී රත්රන් වෙළෙඳපොළට නොදාන ලෙසට බලපෑම් කර තිබිණි. එයට හේතුව එසේ වෙළෙඳපොළට නිකුත් කළහොත් තවත් මිල අඩුවීමේ අවදානමක් ඇතිවන නිසාය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ලෝක බැංකුව චීනයට රත්රත් මිලයට ගන්නා ලෙස උපදෙස් දී ඇත. එසේ මිලට ගත්විට වෙළෙඳපොළේ මිල අඩුවීම මර්දනය වන අතර චීනයට එම රත්රන් ගබඩා කරගෙන මිල වැඩිවූ විට අලෙවි කිරීමට ද හැකිවේ. අනිත් සෑම භාණ්ඩයක්ම මෙන් රත්රන් මිල පාලනය කිරීමට ලෝක බැංකුව විවිධ උපක්‍රම යොදයි. මේ නිසා ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම ආර්ථිකයට රත්රන් මිල විශාල බලපෑමක් ඇති කරයි. ඒ නිසා පරිස්සමෙන් මිල තීරණය කළ යුතුව ඇත.
ශ්‍රී ලංකාවේ ද අලුත් බද්ද නිසා රත්රන් වෙළෙඳපොළට පැමිණීම ප්‍රමාද වුවහොත් එය ව්‍යාපාරිකයන්ට, පාරිභෝගිකයන්ට පමණක් නොව රටේ සමස්ත ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කළ හැකිය. ශ්‍රී ලංකාවට ආනයනය කරන රත්රන් වැඩි වශයෙන් පැමිණෙන්නේ අමු රත්රන් ලෙස නොව ස්වර්ණාභරණ වශයෙනි. පිටරටවලට ගොස් පැමිණෙන අය තම ස්වර්ණාභරණ වශයෙන් රන් මිලට ගෙන රැගෙන එයි. එයට බදු අය කිරීමට නොහැකිය. ඒ අයට අවශ්‍ය නම් මෙලෙස රත්රන් රැගෙන පැමිණ ව්‍යාපාර කළ හැකිය. ඒ නිසා රත්රන්වලට බද්දක් අයකිරීමෙන් ආණ්ඩුව අපේක්ෂා කරන ආදායම ලබා ගැනීමට අපහසු වේ. මෙයින් සිදුවන්නේ පොදු ජනතාව හිරිහැරයට පත්වීමයි. රත්රන් විශාල වශයෙන් ලබාගෙන රඳවාගෙන තබාගත් අයට මෙයින් බලපෑමක් ඇති නොවේ.
සමස්ත ලංකා ස්වාරණභරණ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ආර්. බාලසුබ්‍රමනියම්:-
රත්රන් සඳහා සීයයට 15ක බදු ගැසීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වූ දෙය ඉටුවේදැයි යන්න ගැන සැකයි. මෙයට පෙර රත්රන් ආනයනය කිරීමේදී තීරු බදු අය කළේ නැහැ. බදු අයකළේ මෙහේ සිට අපනයනය කරන විට පමණයි. ආණ්ඩුව පවසන්නේ මෙම බදු නිදහස නිසා මෙරටට ආනයනය කරලා විශාල ලාභ ලබාගෙන විකුණන ජාවාරමක් ඇති අතර එය නැවැත්වීමට මේ දේ කළා කියලයි. එහෙත් මෙලෙස ආනයන බදු අය කළාට එම බදු නොගෙවා මෙරටට රත්රන් ගෙන ඒම වැඩියි. පිටරටවල සේවය කර මෙරටට එන අයට තමන් එරට සේවය කළ කාලයට සමානුරූපීව පවුම් 5ක් 10ක් පමණ ගෙන එන්න පුළුවන්. එය නිත්‍යනුකූලව කෙරෙන්නක්. මෙම තත්ත්වය මත ඒ අය හැමදෙනාම රත්රන් ගෙනඒමට උනන්දු වෙතොත් මෙලෙස බදු ගැසීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන දේ සිදුවන්නේ නැහැ. ජාතිය ගොඩනැගීමේ බද්ද ලෙස අයකරන සීයයට 5 ද නොලැබීයාමට තමා ඉඩ සැලසෙන්නේ.
මෙරට සිට ඉන්දියාව රත්රන් යැවීමේදී පවුමකට රුපියල් 2500 වගේ තමා ලාභය තියෙන්නේ. ඒත් ඉන්දියාවෙන් රැගෙන ආවොත් පවුමකට රුපියල් 4000 පමණ ලාභයක් ගන්න පුළුවන්. මේ නිසා සමහර අයට පිටරට ගොස් රත්රන් ගෙනැවිත් ලොකු ලාභයක් ලබන්න පුළුවන්.
මේ වනවිට රටේ බැංකුවලින් රන් මිලයට ගැනීමෙන් සිදුවෙන්නේ නැහැ. ඕනෑම කෙනකුට මෙම තත්ත්වය පරීක්ෂා කර දැනගත හැකියි. මෙලෙස වැඩි මිලට රත්රන් නොගෙන කුමන හෝ අවිධිමත් ක්‍රමවලින් ගෙන්වා ගන්නයි බොහෝ දෙනා උත්සහා කරන්නේ. මේ වනවිට මුලදී පවුමක මිල වූ 56,000 – 58,000 අතර මිල 64,000 – 65,000 වෙලා තියෙනවා. මෙය සාමාන්‍ය ජනතාවට ද දරාගන්න බැහැ. අපේ කුඩා ව්‍යාපාරිකයන්ට ද විශාල ලෙස අහිතකරයි. අප සංගමය මේ පිළිබඳ මුදල් ඇමැතිවරයා සාකච්ඡා කිරීමට දිනයක් හා වෙලාවක් ඉල්ලා තිබෙනවා. එහෙත් ලැබුණේ නැහැ. ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් බලාපොරොත්තු වෙනවා. එහිදී යම් සහනයක් ලබාගැනීමයි බලාපොරොත්තුව.
අශෝක එළියපුර - අධ්‍යක්ෂක, රාජා ජුවලර්ස්, බම්බලපිටිය:-
ආණ්ඩුව මෙහෙම සීයයට 15ක ඉහළ බද්දක් පැනවීම ඉතාම අසාධාරණයි. මෙයින් සිදුවන්නේ ස්වර්ණාභරණ ව්‍යාපාරය කඩා වැටීමත් ආණ්ඩුව බලාපොරොත්තු වන ආදායම නොලැබීමත් යන හානි දෙකයි. මෙයට පෙර කැරට් 24 රත්රන් ගෙන්වන විට තීරු බදු අයකළේ නැහැ. සීයයට 5ක ජාතිය ගොඩනැගීමේ බද්දක් පමණයි අයකළේ. බද්ද නිසා රන් ආනයනය කිරීම නැවතුණහොත් ආණ්ඩුවට මේ සීයයට 5 බද්දත් නොලැබෙන තත්ත්වයයි ඇති වන්නේ.
පිටරටවල රත්රන් මිල මේ දිනවල වැඩිවෙමින් පවතිනවා. මෙම බද්දත් රුපියල අවප්‍රමාණවීමත් නිසා අප ආනයනය කරන රත්රන් මිල ඉහළ යනවා. ඒ අනුව වෙළෙඳපොළේ මිල වැඩිවන නිසා සාමාන්‍ය පාරිභෝගිකයාට විශාල හානියක් වෙනවා. අද රත්රන් වැඩි වශයෙන් මිලට ගන්නේ මංගල්‍ය උත්සව ආදියේදී ස්වර්ණාභරණ තනවා ගන්නයි. බොහෝ වෙලාවට මනාල යුවලක් මිලට ගන්නා රත්රන් මිල වටිනාකම ලක්ෂ 1 ½ - 2 ක් වේවි. ඉතින් මෙයට බදු එකතු වූ විට සෑහෙන මිල වැඩිවීමක් වෙනවා. දැනට සීයට 60ක් පමණ ව්‍යාපාර පහළ වැටී තියෙනවා.
අප රත්රන් ගන්නේ ලංකා බැංකුවෙන්. ග්‍රෑම් 100ක් 6 ලක්ෂ 60 දහසක් වෙනවා. ඇතැම් ව්‍යාපාරිකයන් විවිධ නිත්‍යානුකූල නොවන ක්‍රමවලින් ගේනවා. ඒවා මිලට ගන්න අයත් ඉන්නවා. රත්රන් හොරෙන් ගෙන එනවා නම් එය නවත්වන්නේ නැතිව සෑම දෙනාටම බලපාන බද්දක් ගැසීම අසාධාරණයි. අපේ බම්බලපිටිය, මීගමුව, මහනුවර යන ශාඛාවල 360 දෙනකු පමණ ඍජුව සේවය කරන අය ඉන්නවා. තවත් 500 – 600 පමණ වක්‍රව මේ ව්‍යාපාරයට සම්බන්ධ අයයි. මේ ක්‍රියාව ඔවුන්ගේ රැකියාවලට ඍජුවම බලපාන බව කිවයුතුයි.
අප කියන්නේ කර්මාන්තයට අත්වෙන ඉරණම ගැන දැඩිව සලකාබලා ආණ්ඩුව මෙම අසාධාරණ බදු ක්‍රමය ඉවත් කළයුතු බවයි. මෙයට පෙර මහින්ද රාජපක්ෂ රජයෙන්ද මෙවැනි බද්දක් පනවලා පසුව එය ඉවත් කළා.”
මේ අතර පසුගිය 17 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික මැණික් මා ස්වර්ණාභරණ අධිකාරිය මැණික් සඳහා ද විශාල බද්දක් අයකිරීමට පියවර ගෙන ඇත. මේ බදු නිසා මැණික් ඇල්ලූ ස්වර්ණාභරණවල මිලද අතිශයින් ඉහළ යාමේ අවදානමක් උද්ගත වී තිබේ. එයද මෙම අර්බුදය තවත් උග්‍රවීමට හේතුවී තිබේ.
මැණික් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජගත් විජේවීර පවසන්නේ රජය විදේශවලට ගෙන යන කැරට් 100 මැණික් සඳහා රුපියල් 25,000ක බද්දක් අයකිරීමට කටයුතු කර ඇති බවය.
“මෙය විශාල අපරාධයක්... මෙච්චර කල් බදු අයකළේ සියයට දශම 5ක තරමේ වන සුළු ප්‍රමාණයක්. මෙලෙස එකවර විශාල බද්දක් අයකිරීම මැණික් ව්‍යාපාරයට විශාල හානියක්. මීට පෙර කිසිදු ආණ්ඩුවකින් මෙවැනි අසාධාරණ බද්දක් ගසා නැහැ. මැණික් කර්මාන්තයෙන් රටට ලැබෙන විදේශ විනිමය මේ නිසා අහිමිවන අතර මෙම කර්මාන්තයට සම්බන්ධ ලක්ෂ ගණනකට රැකියා නැතිවෙනවා. මෙය රටේ ආර්ථිකයට ද විශාල පහරක්.
මැණික් කර්මාන්තය ගැන නොදන්නා කෙනෙක් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙස පත්කිරීමයි මෙයට හේතුව. මෙම ව්‍යාපාරයේ නිරත අය විශාල පිරිසකට ඍජු සහ වක්‍ර රැකියා ලබාදෙමින් රටට කෝටි ගණනින් විදේශ විනිමය ලබා දෙනවා. එය දිරිමත් කළයුතුව තිබියදී මෙලෙස බාධක පමුණුවන්නේ ඇයිද කියලා වටහා ගන්න බැහැ. අපි රටේ අසරණ පවුල්වලට හැකි සෑම අවස්ථාවකම උපකාර කරනවා. එසේම අපේ පවුල්වල සාමාජිකයන් කිසිවිටෙක රජයේ රැකියා ඉල්ලා කරදර කරන්නේ නැහැ. අපි මේ ස්වයං රැකියාවලින් තමා දියුණු වෙලා ඉන්නේ. අපි දියුණු වෙනවා කියන්නේ රටත් දියුණු වෙනවා කියන එකයි.
මේ ආණ්ඩුව බලයට පත් වනවිට පැවසුවේ මැණික් කර්මාන්තය නගා සිටුවීමට පහසුකම් සලසා දෙන බවයි. එහෙත් ක්‍රියාත්මක කර ඇත්තේ අපට අතදීම නොව හිරිහැර කිරීමක්. අනිත් අතට මෙය සැමවිටම ලාභ ලැබෙන ව්‍යාපාරයක් නෙවෙයි. විටෙක ලක්ෂ ගණන් පාඩු සිදුවෙනවා. ඒවා පියවා ගන්නට කැරට් සිය ගණනක මැණික් විකුණා ගන්න සිදුවෙනවා. මෙහි වගකීම සහ අනතුරුදායක තත්ත්වය වැඩියි. අපේ රට මැණික්වලින් ලෝක ප්‍රසිද්ධියට පත්වීමට අපේ ව්‍යාපාරය බලපානවා. එය කඩා වැටෙනවා කියන්නේ ශ්‍රී ලංකා මැණික්වලට ඇති ජාත්‍යන්තර ප්‍රසිද්ධිය සහ අගැයීම නැතිකර ගැනීමක්.”
ඔහු පවසන්නේ මේ තීරණය නිසා මැණික් කර්මාන්තයෙන් ජීවත්වන ලක්ෂ 20කට අධික පිරිසක් පාරට වැටෙන දිනය වැඩි ඈතක නොවන බවය. මෙම තත්ත්වය සමථයකට පත්නොකරන්නේ නම් ඉදිරියේ දී කිසිදු පතල්කරුවකු හෝ කුඩා වෙළෙන්දන් රැගෙන එන කිසිදු මැණිකක් මිලදී නොගෙන වර්ජනයක නිරතවන බව කියයි. මෙම අත්තනෝමතික බදු අයකිරීම වහා නවතා දමන ලෙස තම සංගමය ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා කීවේය.
♦ යසවර්ධන රුද්රිගු