රජය විසින් විශාල විවේචන මැද හඳුන්වා දුන් නව බදු පනත යටතේ හැමෝටම බදු ෆයිල් එකක් විවෘත වන බව ආඩම්බරයෙන් දැනුම් දුන්නේය. බදු පනතට එරෙහිව නැඟුණු විරෝධතා මැඩ පැවැත්වීමට මුදල් අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන ගණනාවක් වැය කර ප්‍රචාරණ ව්‍යාපෘතියක් ද දියත් කර තිබේ. ඒ අතර වර්ණ සාහිත්‍ය පිටුවේත් බදු ගැන ලිවීමට සිදුව ඇත. ඒ ලේඛකයන්ට ලැබෙන කර්තෘ භාගයට ද බද්දක් ගෙවීමට සිදුවන බවට ඇති ආරංචිය නිසාය.
පුරාණ රාජධානි යුගයේ පටන් ලේඛකයා සැලකුවේ ගෞරවනීය පුරවැසියකු වශයෙනි. රාජධානි යුගයේදී ලේඛකයන් පොත් ලියා රජවරුන්ට පිළිගන්වා රාජ්‍ය වරප්‍රසාද ලබාගත් බව කියැවේ. දඹදෙනියේ පණ්ඩිත පරාක්‍රමබාහු වැනි රජවරු පවා කෘතියක් ලියා තම රාජ ගෞරවය තවත් ඉහළ නංවාගත් බව ඉතිහාසයේ සඳහන් වේ. එවන් අවස්ථාවක ලේඛකයන්ගෙන් බද්දක් අයකර ගැනීමට යාම යහපාලන සංකල්පය ඉදිරියට දමාගෙන පැමිණි ආණ්ඩුවකට කිසිසේත් ගැලපෙන්නේ නැත.
මේ ගැන අදහස දැනගැනීමට අපි මුලින්ම කතා කළේ දයාවංශ ජයකොඩි සමාගමේ අධිපති දයාවංශ ජයකොඩි මහතාටය.
“ලේඛකයාගේ කර්තෘ භාගයෙන් බද්දක් අය කරනවා කියන්නේ හිඟන්නගෙ පාත්තරේට හෙනහුරා වැටුණා වගේ වැඩක්. කොපමණ සුළු මුදලක් ද කර්තෘට ලැබෙන්නේ. මම නම් යෝජනා කරන්නේ ලේඛකයාට ලැබෙන කර්තෘ භාග මුදලට තව මුදලක් රජයෙන් එකතු කළහැකි නම් තමයි වඩාත් සුදුසු කියලයි. මේක අදූරදර්ශී මෝඩ බද්දක් විදිහටයි මට පෙන්නේ. රජයට හොඳ උපදෙස් දෙන අය නැති බවයි මේ වැඩවලින් පෙන්නේ.
ලෝකයේ ධනවත් රටවල ලේඛකයන්ගේ ආදායම දෙස බලනවිට අපේ ලේඛකයන්ගේ වාර්ෂික ආදායම ගණන් ගතයුතු මට්ටමේ පවා නොපවතී. සැබවින්ම යහපත් රජයක් නම් කළ යුත්තේ ජනතාවට දැනුම සහ රසවින්දනය සපයන ලේඛකයන්ට ආධාර පිරිනැමීම බව සත්‍යයකි. බ්‍රිතාන්‍ය ලේඛිකා ජේ.කේ. රෝලිංන්ග් 2017 මැයි වනවිට උපයා ඇති මුදල ඩොලර් මිලියන 95කි. අමෙරිකා එක්සත් ජනපදයේ ජේම්ස් පැටර්සන්ගේ ආදායම ඩොලර් මිලියන 87කි. ඉන්දියාවේ ආර්.කේ. නාරායන්, අරුන්දතී රෝයි, කුෂ්වන්ත් සිං, සල්මන් ෂේඩි, චේතන් භගත් ඇතුළු ලේඛකයෝ විශාල ආදායමක් ලැබුවෝ වෙති. එහෙත් අපේ රටේ මහාලේඛකයන් ලෙස සම්භාවනා ලැබූ අය පවා විශාල ධනයකට හිමිකම් කියූ පුද්ගලයෝ නොවෙති.
ලේඛකයන්ට කර්තෘ භාගය වශයෙන් ලැබෙන්නේ පොතේ වටිනාකමෙන් 10%කි. යෝජිත බද්ද අනුව එම කර්තෘ භාගයෙන් 14%ක පංගුවක් ලේඛකයාගෙන් අයකර ගැනීමට නියමිතය. උදාහරණ වශයෙන් දක්වුවොත් රුපියල් 100/-ක පොතකින් ලේඛකයාට හිමිවන්නේ රුපියල් 10/- කි. එයින් 14%ක බද්දක් අයකර ගත්විට ලේඛකයාට හිමිවන්නේ රුපියල් 8.60ක් වැනි කුඩා මුදලකි.
ලංකා ලේඛක සංවිධානය මේ කරුණ පිළිබඳව සොයාබලා 14%ක කර්තෘ භාග බද්දෙන් ලේඛකයන් නිදහස් කරන ලෙස ඉල්ලා මුදල් අමාත්‍යවරයාට සහ දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යවා තිබේ. එහි මෙසේ සඳහන්ය.
“ලංකාවේ පොත් ප්‍රකාශන ව්‍යාපාරය වර්තමානයේ පවතින මට්ටම අනුව සාමාන්‍යයෙන් එක් පොතකින් මුද්‍රණය කෙරෙන පිටපත් සංඛ්‍යාව 500ත් 1000ත් අතර පවතින බවද ඔබට සිහිපත් කරදීමට කැමැත්තෙමු. මෙබදු පොත් සංඛ්‍යාවකින් ලේඛකයකුට හිමිවන සොච්චම් මුදල ද 14%ක බද්දකට යටත් කිරීම ලේඛකයා කබලෙන් ලිපට ඇදදැමීමක් බව සඳහන් කරන්නේ ඉතා කණගාටුවෙනි.
ලංකා ලේඛක සංවිධානයේ සභාපති ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා මහතාට අපි කතා කළේ මේ ගැන තවදුරටත් දැන ගැනීමටයි.
“ලේඛකයන් උදෙසා ගෙවන කර්තෘ භාගයෙන් බදු මුදල අඩුකරලා ප්‍රකාශකයා ආණ්ඩුවේ බදු අරමුදලට යැවිය යුතු බව සඳහන්. ලංකා ඉතිහාසායේ කවදාවත් ලේඛයන්ගෙන් බදු අයකරලා නෑ. ඔවුන්ට දහසින් බැඳි පියලි දෙනවා මිසක. ලේඛකයන්ට කර්තෘ භාග වශයෙන් කෝටි ගාණක් හම්බවෙන්නෙ නෑ. මේ සුළු මුදලෙනුත් කර්තෘභාග බද්දක් ගැසීම මෝඩ ක්‍රියාවක්. ලංකාවේ සමහර පරණ ලේඛකයන්ගේ ඥාතීන්ට ප්‍රකාශන සමාගම්වලින් කර්තෘභාග යවනවා. ඒකෙනුත් මේ වගේ කපාගැනීමට යෑම අසාධාරණයිනේ. මේක ආණ්ඩුව මඩ කන වැඩක්. ලේඛකයෝ කියලා කොටසක් සිටින බවත් ඔවුන්ට කොපමණ මුදල් ලැබෙනවාද කියලත් ආණ්ඩුව දැනගත යුතුයි. ලේඛකයා කියන්නේ බුද්ධිමය දේපලකින් යමක් නිපදවන පුද්ගලයෙක්. ඔහුට ගෞරවයක් ලැබිය යුතුයි.”
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 85 වන වගන්තියේ ඇති නියෝග මගින් නියම කරනු ලැබිය හැකි වෙනත් කරුණු සඳහා යන කාරණය මෙයට අදාළ වන බව ලංකා ලේඛක සංවිධානයේ සභාපති කමල් පෙරේරා මහතා පවසා සිටී. ඔහු කරුණු පැහැදිලි කර ගැනීමට ආදායම් බදු දෙපාර්තමේන්තුවට කතා කිරීමේදී ලේඛක කර්තෘභාගය සඳහා ද එය අදාළ වන බව පවසා ඇත.
විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉනිමංකඩ මහතා මේ ගැන සඳහන් කරන්නේ මෙවැනි අදහසකි.
“මේක රඳවාගැනීමේ බදු රටාවට ඇතුළත් එකක්. ඒ අනුව ප්‍රකාශකයා විසින් එම බද්ද රදවාගෙන (කර්තෘ භාගයෙන් 14%ක්) ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වෙනවා. ඒ අනුව ලේඛකයාට කර්තෘභාගය වශයෙන් ලැබෙන්නේ 8.4%යි.මාසිකව රුපියල් 50,000කට වැඩි කර්තෘභාග ඉපයීමක් තිබෙන්නේ නම් තමයි මෙය ගෙවිය යුතු වන්නේ. ලංකාවේ මෙහෙම ලේඛකයන් ටිකදෙනයි කියලා කාටහරි කියන්න පුළුවන්. දැනට මේකට අදාළ නොවන ලේඛකයන් ද ඉදිරියේ දී ආදායම ඉහළ ගිය විය බදුවලට යටත් විය හැකි වෙනවා. ඒ වගේම මුදලේ අගය අඩුවී පොත් මිල වැඩිවීම නිසාත් කර්තෘභාගය වැඩිවීමෙන් ලේඛකයන් මේ බද්දට යටත් විය හැකියි.
1950 දී ලංකාව ඉතාලියේ දී යුනෙස්කෝ සංවිධානය සමඟ අත්සන් කළ ගිවිසුමට අනුව කලා නිර්මාණවලට බදු නිදහස් කළ යුතුයි. ලේඛකයා කියන්නේ දැනුම හෝ රසවින්දනය නිෂ්පාදනය කරන්නෙක්. උසස් පුරවැසියන් බිහිකිරීම සඳහා ඔහු දායක වෙනවා. ප්‍රකාශකයෙක් විදිහට මේකෙන් මට බලපෑමක් නැහැ. නමුත් ලේඛකයා කෙරෙහි තිබෙන ආකල්පය නිසා තමයි මම මේ ගැන උනන්දු වන්නේ. සටන් කරන්නේ. සමාජය ශිෂ්ටසම්පන්න කරන්න වෙහෙසෙන ලේඛකයන් වෙනුවෙන් බදු අය කිරීම සාධාරණ නැහැ.
කුසුම්සිරි