2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

කැ‍ලේ අලින්ටත් මුඛ - කුර ‍ල‍ෙ‍ඩ්‍ෙ !

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

“කුර රෝගය හැදෙන්නේ කුර දෙකක් තියෙන සතුන්ටයි. අලියගේ පාදවල ඇඟිලි කිහිපයක් තිබෙන බව පෙනුණට ඌට ඇත්තටම තිබෙන්නේ ඇඟිලි දෙකයි. ඒ නිසායි, මුඛ කුර රෝගය අලියාටත් හැදෙන්නේ.”අපට එලෙස පැවසුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගල්ල මහතාය. අපි මහාචාර්ය දංගල්ලට කතා කළේ යළිත් වරක් වනෝද්‍යානවල ජීවත්වන අලි ඇතුන්ට මුඛ කුර රෝගය වැළඳීමේ අවදානමක් මතුව ඇති බවට වාර්තා වීමත් සමඟයි.

කවුඩුල්ල, මින්නේරිය, සෝමවතිය, අංගම්මැඩිල්ල සහ ගිරිතලේ ඇතුළු ජාතික උද්‍යාන කිහිපයකම අලි ඇතුන්ට මේ රෝගය වැළඳීමේ අවදානමක් තිබෙන බවත් රෝගය වැළඳුණු අලිපැටවකු කවුඩුල්ල ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීන් විසින් ගිරිතලේ වනජීවී රෝහල වෙත බාරදුන් බවත් ගිරිතලේ වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය කේ.එස්.එස්. කලිඟුආරච්චි කීවේය. ඒ ගැන තවදුරටත් අදහස් දැක්වූ පශු වෛද්‍ය කලිඟුආරච්චි මහතා,

“පසුගිය 15 දින කවුඩුල්ල වනජීවී නිලධාරීන් අපට බාරදුන් අලිපැටවා මවගෙන් මඟහැරී වැටී සිටි මාස එකහමාරක පැටවෙක්. ඌ පරීක්ෂා කිරීමේදී වැටුණු තුවාලවලට අමතරව මුඛයේ සහ පාදවල තුවාල හටගෙන ඇතිබව පෙනුණා. එම රෝග ලක්ෂණවලින් පෙනුණේ අලිපැටවාට මුඛ සහ කුර රෝගය වැළඳී ඇති බවයි. ඒ බව වැඩිදුරටත් තහවුරු කරගැනීමට පේරාදෙණියේ පශු විමර්ශන අංශයට සාම්පල් යොමුකළා.

මේ දිනවල පොළොන්නරුව ත්‍රිකුණාමලය වනජීවී කලාපයේ වනජීවී රක්ෂිතවල සිටින වනසතුන් පිළිබඳ විශේෂ ගවේෂණාත්මක පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. රෝගය වැළඳුණු අලි ඇතුන් සහ වෙනත් වනසතුන් සිටිනවාද කියලා.

වර්ෂ 2011 දී සිදුකළ අලි සංගණනයට අනුව වනඅලි 5879 ක් සිටින බව වාර්තා විය. ඒ අලින්ගෙන් 67.19% ක් ජීවත්වන්නේ වනජීවී රක්ෂිත තුළය. ජෛව විවිධත්වයට ආකර්ශනයක් සපයන වනඅලි සිය ගණනින් යුත් රංචු පොළොන්නරුව ත්‍රිකුණාමලය වනජීවී කලාපයට අයත් කවුඩුල්ල, මින්නේරිය, සෝමවතිය වැනි ජාතික උද්‍යානවල සරති. එලෙස විශාල අලි ගහණයක් මේ උද්‍යානවල වාසය කරන්නේ සාරවත් තෘණවලින් පිරි තෙත්බිම් මේ උද්‍යානවල පිහිටි නිසාය. අලි ඇතුන්ට අමතරව මුවා, ගෝනා වැනි කුර සහිත සතුන්ද විශාල වශයෙන් මේ රක්ෂිත අලංකාර කරති.

සාරවත් තෘණබිම් පිහිටීම නිසාම මෙවැනි වසංගත රෝග වනෝද්‍යානවලට සංක්‍රමණය වීමේ අවදානම උදාවී තිබේ. එයට හේතුව මෙම තෘණබිම් වලින් යැපීම සඳහා ගෘහාශ්‍රිතව ඇතිකරන හරක් සිය ගණනින් යුත් රංචු හිමිකරුවන් විසින් අනවසරයෙන් වනෝද්‍යානවලට ඇතුළු කිරීමය.

“වනෝද්‍යානවල සිටින සතුන්ට මේ රෝගය බෝවීමට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන තිබෙන්නේ අනවසරයෙන් ගවයන් ඇතුළු කිරීමයි. ඒ වගේම මේ ගවයන් දහස් ගණනක් වනෝද්‍යානවල සැරිසැරීම නිසා වනසතුන්ට ආහාරයට ගැනීමට තිබෙන තණකොළත් හිඟවෙනවා. ගෘහාශ්‍රිතව ඇතිකරන සතුන් වනෝද්‍යානවලට ඇතුළු නොකිරීමට හිමිකරුවන් වගබලාගත යුතුයි.” පශු වෛද්‍ය කලිඟුආරච්චි පැවසුවේය.

එදා ගමේ ගොඩේ කෙතේ දක්නට තිබුණු තණකොළ දැන් නැත. තෘණබිම් වශයෙන් වෙනම වෙන්කිරීමක්ද සිදුනොවේ. මේ නිසා ගවපට්ටි හිමිකරැවන් පහසුවෙන්ම වන මැද තිබෙන තණබිම්වලට ගවරංචු දක්කති. ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ පුබුදු වීරරත්න මහතාට අපි කතා කළේ මේ ගැන ඔහුගේ අදහස දැනගැනීමටයි.

“අවුරුදු 10ක පමණ කාලයක සිට ගවරංචු වනෝද්‍යානවලට ඇතුළු කිරීම උද්‍යාන කළමනාකරණයට ගැටලුවක් වෙලා. විශේෂයෙන් උඩවලව, ලුණුගම්වෙහෙර, මින්නේරිය, මාදුරැඔය වගේ වනෝද්‍යානවල මේක සුලබව සිදුවෙනවා. මේක නිලධාරීන්ට වළක්වන්න අපහසු දේශපාලන බලපෑම නිසයි. පසුගිය කාලයේ මාදුරුඔය වනෝද්‍යානයේ හම්බන්තොටින් ගෙනවිත් දැමූ සිය ගණනක් හරක් රංචු හිටියා. මේ වැඩේ නිසා අලි ගම්වදිනවා. හරකුන් තෘණගසේ පහළට එනතෙක්ම උලාකන නිසා අලින්ට කෑමට දෙයක් ඉතුරුවන්නේ නැහැ. ඊටපසු අලි කෑම සොයාගෙන ගම්වදිනවා.”

අලි මිනිස් ගැටුම නිසාත් ජීවිත අහිමිවීමේ අනතුරක සිටින වනඅලියාට මුඛ කුර රෝගය තවත් හෙනහුරෙක් වී ඇත. මේ රෝගය අලින්ට මාරාන්තිකදැයි අපි මහාචාර්ය දංගල්ලගෙන් ඇසුවෙමු.

“මේක වෛරස් රෝගයක්. වෛරස් රෝග කලින් කලට වෙනස් වෙනවා. එම වෛරස් විභේදනය වී වෙනත් ස්වරූපයකින් මතුවෙනවා. මේකත් ඉන්ෆ්ලුවෙන්ස් වෛරස් කාණ්ඩයට අයිතියි. කුර සහ මුඛ රෝගය ඇත්තටම භයානක ලෙඩක් නොවෙයි. හරකුන්ට වුණත් හැදුණු පිරිසෙන් මරණයට පත්වන්නේ 3%ක් වගේ සුළු පිරිසක්. සතුන් මියයන්නේ ලෙඩෙන් නොවෙයි. මුඛයෙහි හටගන්නා කුඩා බිබිලි නිසා ආහාර ගැනීමට නොහැකි වීමෙන්. විශේෂයෙන් කුඩා පැටවුන්ට මෙය අහිතකරව බලපානවා. ටික දවසකින් රෝගය සුවවෙනවා. කිරිදෙන සතුන්ගේ කිරි අඩුවෙනවා. ගෘහාශ්‍රිතව සිටින ගවයන්ට නම් රජයෙන් එන්නතක් ලබාදෙනවා. නමුත් වනයේ සිටින අලින්ට නම් තවම එන්නත් කිරීමක් සිදුවන්නේ නැහැ

මුඛ සහ කුර රෝගය පමණක් නොව වෙනත් රෝගද ගෘහාශ්‍රිතව ඇතිකරන සතුන් වනෝද්‍යානවලට ඇතුළු කිරීම නිසා හටගැනීමට ඉඩ තිබේ. ගෘහාශ්‍රිත සතුන්ට පශු වෛද්‍ය ප්‍රතිකාර ලැබුණද වනගත සතුන්ට එවැනි ප්‍රතිකාර, එන්නත් නොලැබේ. එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමද අපහසුය. මේ නිසා කළ යුත්තේ දේශපාලන අතපෙවීම් මත කලක් තිස්සේ සිදුවන හරකුන් වනෝද්‍යානවලට ඇතුළු කිරීම තහනම් කිරීමයි.

► කුසුම්සිරි විජයවර්ධන
පසුබිම් පුවත් සහ සේයාරූ - හිඟුරක්ගොඩ ඩබ්ලිව්.ඒ. පියතිලක