2018 මැයි 05 වන සෙනසුරාදා

අලුත් පරම්පරාව ළිං මැඩියෝ වගේ - නාට්‍යවේදී එම්. සෆීර්

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 176

ලංකාවෙ නාට්‍ය කලාව දියුණුවෙන්න නම් අපි ලෝකයට දොරවල් විවෘත කළ යුතුයි. පසුගිය අවුරැදු හය ඇතුළත කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලට රටවල් 40ක නාට්‍යකරැවන් 1000ක් පමණ පැමිණියා. මේ වනවිට ලෝකයේ සක්‍රියව නාට්‍ය කලාවට සම්බන්ධ වී සිටින රචකයන්, අධ්‍යක්ෂවරු, රංගන ශිල්පීන්, ආචාර්යවරු, මහාචාර්යවරු ඒ පිරිස අතර සිටියා. අපට එලෙස පැවසුවේ කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ අධ්‍යක්ෂ නාට්‍යවේදී එම්. සෆීර්ය. හත්වන වරටත් පැවැත්වෙන මෙම රංග කලා උත්සවය මැයි 24 සිට 30 දක්වා ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී පැවැත්වේ.

මෙවර නාට්‍ය උළෙල සඳහා ශ්‍රී ලංකාවද ඇතුළු ජර්මනිය, ආර්ජන්ටිනාව, කොසෝවෝ, ඕස්ට්‍රියාව, ඉතාලිය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල නාට්‍ය කණ්ඩායම් 13ක් එක්වන අතර නාට්‍ය නිර්මාණ 13ක් රංගගත වීමට නියමිතය.

මෙම නාට්‍ය උළෙලේ ප්‍රතිඵල භුක්ති විඳීම නාට්‍යකරැවන්ගේ වැඩක්. ප්‍රවීණ නාට්‍යවේදීන් රාශියක් අපි සමඟ ඉන්නවා. නමුත් අපට පෙනෙන දෙයක් තමයි නව පරපුරේ නාට්‍යකරැවන්, නාට්‍ය හා රංග කලාව හදාරන්නන්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මේ උළෙලට සහභාගී වීමේ විශාල අඩුවක් පැවතීම. නාට්‍ය හදාරන සිසුන්ට තමන් ඉගෙන ගන්නා දේ ප්‍රායෝගිකව දැකගැනීමට මේ නාට්‍ය උළෙලින් අවස්ථාව ලැබෙනවා. අපි දැකලා නෑනේ ආර්ජන්ටිනාව, කොසෝවෝ, අසර්බයිජාන්, ඉරානය වගේ රටවල නාට්‍ය. ඒවා බැලීමට මින් අවස්ථාව ලැබෙනවා. නාට්‍ය කලාවේ ජාත්‍යන්තර ප්‍රවණතා හඳුනා ගැනිමට මින් අවස්ථාව හිමි වෙනවා. ලෝකයේ නාට්‍ය උළෙල රාශියකට මම සහභාගි වී තිබෙනවා. ඒ රටවල්වල නාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අය, නාට්‍ය හදාරන අය, විචාරකයන්ට තමයි ඒවාට සහභාගි විය හැක්කේ. නමුත් අපි පොදු මහජනතාවටත් මෙයට සහභාගිවීමට අවස්ථාව ලබාදී තිබෙනවා. මට පේන්නේ අලුත් පරම්පරාව නාට්‍ය හදාරන්නේ විභාග සමත්වීමට පමණක් බවයි. ඇත්තටම ඔවුන් ළිං මැඩියෝ වගේ තමයි. අපි මේ උළෙල කරන්නේ ඊළඟ පරම්පරාවටයි. අපි ආරාධනා කරනවා ඇවිත් මේ නාට්‍ය බලන්න කියලා. සෆීර් වැඩිදුරටත් අප සමඟ පැවසුවේය.

මෙවර ජාත්‍යන්තර නාට්‍ය උළෙල ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක අභිනන්දන නාට්‍ය උලෙළ ලෙස නම්කර ඇති අතර යුනෙස්කෝ ජාත්‍යන්තර නාට්‍ය ආයතනයේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් එම ආයතනයේ අනුශාසකත්වය යටතේ පවත්වනු ලැබේ. 

නාට්‍ය උළෙලට සමගාමීව කොළඹ නාට්‍ය කථිකාව මැයි 24, 25 සහ 28 තෙදින තුළ කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. එයට අමතරව මැයි 25 සිට 30 දක්වා නූතන රංග කලා වැඩමුළු මාලාවක්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

- ප්‍රේක්ෂක

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00