2018 මැයි 05 වන සෙනසුරාදා

දේශීය සිනමාවට පාරපෙන්වූ ලෙස්ටර්

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 257

අපි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ ශිෂ්‍ය සංගමයේ චිත්‍රපට ප්‍රදර්ශනයක් සඳහා යුගාන්තය චිත්‍රපටය ලබාගැනීමට ඩික්මන් පාරේ (දැන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත) පිහිටි ආචාර්ය ලෙස්ටර්ගේ නිවසට ගියෙමි. එම නිවසේ ඉදිරිපස කාමරය එවකට ඔහුගේ චිත්‍රපට කාර්යාලය වශයෙන් යොදාගෙන තිබුණි. චිත්‍රපට පිටපත්, සංස්කරණ යන්ත්‍ර එහි තිබෙනු දුටුවෙමි. ලෙස්ටර් අප ඇමතුවේ ඉතා නිහතමානීවය. ශ්‍රී ලාංකේය සිනමාවේ පරමාදර්ශී චරිතය වූ ආචාර්ය ලෙස්ටර් පරම්පරා ගණනාවකට තම කෘති ඔස්සේ සිනමා අධ්‍යාපනය ලබාදුන් කප් රුකක් වශයෙන් සැලකිය හැකිය. රේඛාවෙන් ඇරඹූ ඔහුගේ අවසාන නිර්මාණය 2006දී තිරගත වූ අම්මාවරුනේය. දැන් තිරගත වන වෛශ්ණාවී චිත්‍රපටයේ කතා සංකල්පයද ලෙස්ටර්ගේය. ආචාර්ය ලෙස්ටර් මියගියේ ලොව වැඩිමහල් සිනමාකරුවා මෙන්ම මහා සිනමාකරුවන්ගේ පරම්පරාවේ අන්තිමයාද වශයෙනි. ඔහු මියයාමට බොහෝ කලකට පෙර පැවසුවේ දළ සේයාපටවලින් චිත්‍රපට තනන අවසාන පරම්පරාව තමා නියෝජනය කරන බවයි.

සිනමා අධ්‍යක්ෂවරු මේ සිනමාවේදියා දකින්නේ කෙසේද යන පැනය අපි කිහිප දෙනෙකුට යොමු කළෙමු. මේ ඔවුන් එයට දුන් පිළිතුරුය.

ඔහුගේ චිත්‍රපට සංරක්ෂණාගාර හීනය ඉටුවුණේ නෑ

- ධර්මසිරි බණ්ඩාරනායක

අපි සිනමාහලකට ගිය පසු මෙතෙක් දුටු චිත්‍රපට කලාව වෙනස් කළ අධ්‍යක්ෂවරයා තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. ඔහු මුලින්ම චිත්‍රපට කලාව දේශීයත්වයට යොමුකළා රේඛාව මගින්. ඊටපසු වෙනස්ම මඟක් ගත් සංදේශය අධ්‍යක්ෂණය කළා. ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන මහා සිනමාකරැවා වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් රොක් කිරීමට සමත් වූ චිත්‍රපටය තමයි සංදේශය. එම චිත්‍රපටයේ නැටුම්, ගීත, සටන් වගේ ජනප්‍රිය අංග තිබුණා. ඔහු පළමුවෙනි චිත්‍රපටය වූ රේඛාවෙන් දකුණු ඉන්දීය චිත්‍රපටවලට හුරු වූ අපේ සිනමාව ඉන් මුදවා ගත්තා. සංදේශයෙන් ජනප්‍රිය චිත්‍රපටයක් බිහිකළා.

අපේ චිත්‍රපටකරුවෝ සම්භාව්‍ය චිත්‍රපට නිර්මාණයට යොමුවූ විට චිත්‍රපටය ඇතුළේ ප්‍රේක්ෂකයා ග්‍රහණය කර ගැනීමට තිබෙන මෙවලම් කිසිවක් පාවිච්චි කරන්නේ නෑ. සිනමාව හදාරන විට අපට එය පෙනෙනවා. නමුත් ලෙස්ටර් සංදේශය ජනප්‍රිය චිත්‍රපටයෙන් පස්සේ කළේ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළියයි. ඊටපස්සේ නිධානය නිර්මාණය කරනවා. එතුමා අපේ සිනමාවේ ගමන්මග ඉතා පැහැදිලිව සලකුණු කරපු එකම අධ්‍යක්ෂවරයා කිව්වාට කමක් නැහැ. මම හිතන්න් එතුමාගේ සිනමාව ලොකු අධ්‍යාපනයක් වුණා. අපි පාසලේ ඉගෙන ගත්තට සිනමාව ඉගෙන ගැනීමට ඔහුගේ චිත්‍රපට ඉවහල් වුණා.

එතුමාගේ චිත්‍රපටවල ජාත්‍යන්තර ආභාෂය තිබුණා. අකිර කුරසෝවා, සත්‍යජිත් රායි වැනි සමකාලීන චිත්‍රපට අධ්‍යක්ෂවරැන්ගේ නිර්මාණවලින් ආචාර්ය ලෙස්ටර් ආභාෂය ලැබුවා. අනුකරණයක් නොවෙයි. සිනමාකරැවෙක්ගේ වර්ධනයට ආභාෂය ඉතා අවශ්‍ය බව අපි දැනගත්තේ ආචාර්ය ලෙස්ටර්ගෙන්. එතුමා දේශීය සිනමාවේ පියා ලෙස සඳහන් කළ හැකියි. එතුමා සියක් ආයු ලැබ ජීවිත කාලය තුළ ඇස් දෙකින් දකින්න තිබෙන සියලුදේ දැක මියයාමට වාසනාවන්ත වුණා.

ලංකාවේ අවාසනාවන්ත තත්ත්වයක් තමයි අපේ රටේ සිනමාවේ වටිනාකම අපි නොදැන සිටීම. ඒ ගැන මෑතකදී ජාත්‍යන්තර පර් යේෂකයෝ පිරිසක් පවසා තිබුණා. ලෙස්ටර් පීරිස් මැතිතුමා රේඛාව හදපු කාලෙ පටන්ම චිත්‍රපට සංරක්ෂණාගාරයක් ගැන කතා කළා. අදත් ඒ සංරක්ෂණාගාරයට පදනම දාගන්න හැකි වී නැහැ.

අපට ආඩම්බර විය හැකි සිනමාවක් බිහිකළා

- උදයකාන්ත වර්ණසූරිය

දේශීය අනන්‍යතාව මුලින්ම සිනමාවට එක් කළේ එතුමා. අපට ආඩම්බර විය හැකි සිනමාවක් ඇති කළා. සිනමාව වෙනුවෙන් එතුමා කැපවුණා. ඒ කැපවීම අද අපට ආඩම්බරයක් වෙලා තිබෙනවා. චිත්‍රපට 20කට ආසන්න ප්‍රමාණයක් ලෙස්ටර් මහතා අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඒ නිර්මාණ හරහා සිංහල සිනමාව ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වුණා. අපටත් සිනමාවේ රැඳෙමින් නිර්මාණ බිහිකිරීමට එතුමාගේ චිත්‍රපට බොහෝ සෙයින් ඉවහල් වූ බව පැවසිය යුතුයි. රේඛාව, නිධානය, ගම්පෙරළිය වගේ චිත්‍රපට සිනමාවේ සන්ධිස්ථාන වුණා. එවැනි අධ්‍යක්ෂවරයකුගේ වියෝව සිනමාවට විශාල හිදැසක්. ඒ හිදැස පුරවන්න කාටවත් ලේසිවෙන්නේ නෑ.

එතුමාගේ සුන්දර සිහිනයක් තිබුණා. සිනමාව වෙනුවෙන් සංරක්ෂණාගාරයක් පිහිටුවීමට. නමුත් ඒ සිහිනය ඉටුකර ගැනීමට නොහැකි වුණා. අවුරුදු 50ක කාලයක් තිස්සේ ඒ සිහිනය එතුමාගේ හිතේ තිබුණත් ඒක ඉටුකර දීමට කිසිම ආණ්ඩුවක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක ලොකු ඛේදවාචකයක්. මොනව කරන්නද?

අපේ සිනමාව ලෝකයට ගෙන ගියා

- සමීර නාඔටුන්න

ලෙස්ටර් ජේම්ස් පීරිස් චිත්‍රපට ගැන හැදෑරීමක් කරලා රේඛාව නිර්මාණය කරනවා. නමුත් ලෙස්ටර් බටහිර පන්නයට හැඩගැසුණු කෙනෙක් නිසා ඔහුට ගම කියන සංකල්පය හඳුනා ගැනීමට ලොකු පිරිසක් උදව් කරනවා. ඔහු එවකට පැවති පහසුකම් මත පවතින ආලෝක තත්ත්වය යටතේ ස්වභාවික දර්ශන රූපගත කිරීමට විශාල වෙහෙසක් හා අවදානමක් දරනවා.

මම ආචාර්ය ලෙස්ටර්ගේ නිධානය සහ දෙලොවක් අතර කියන චිත්‍රපටවලට වැඩිපුර කැමතියි. ඔහු ආසියාවේ සහ ලෝකයේ ලාංකීය සිනමාව ස්ථාපිත කිරීමට මුල්තැන ගන්නවා. ලාංකීය සිනමාව ජාත්‍යන්තර උළෙලවලට රැගෙන යාමේ පුරෝගාමියා වන්නෙත් ලෙස්ටර්. ඔහුගෙන් පසු ඒ පෙළඹවීම ලත් පරම්පරාවල අය සිනමාවට එනවා. අද වනවිට සිනමාවේ අලුත් ශානර ඇතිවෙලා අලුත් පරම්පරා බිහිවෙලා තිබෙනවා. නමුත් අලුත් පරම්පරාවලට උදව් කරන සිනමාකරුවො නම් අද නෑ.

 කුසුම්සිරි 
සේයාරුව I අන්තර්ජාලයෙනි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00