2018 මැයි 05 වන සෙනසුරාදා

කැම්පස් සහ පැම්පස්

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 244

“සරසවිය” ලංකාවේ ජිවත්වෙන ජනතාවගේ වැඩි ප්‍රතිශතයකගේ හීනයක්! කන්නන්ගර මහත්තයාට පින් සිද්ධ වෙන්න නිදහස් අධ්‍යාපනේ භුක්ති විඳින්න අපිට පුළුවන් වුණා. අපේ අම්මලා තාත්තලාටත් පුළුවන් වුණා. අපේ සීයා කියන විදිහට ඒ කාලේ University of Ceylon තියෙද්දි උපාධියක් ගත්තා කියන්නේ රටක් රාජ්‍යයක් ගත්තා වගේ දෙයක්!

හැබැයි සකල සිරින් පිරි, සිරි ලංකාවේ අද නම් ඕනේ තැනකින් උපාධියක් ගන්න පුළුවන්! සතිය අන්තිමේ පත්තරයක් බැලුවොත් අඩු ගාණට හොඳ කන්ඩිෂන් තියෙන local හරි international හරි imported හරි, අකුරු ටිකක් නම ඉස්සරහින් ගහගන්න ක්‍රම සහ විධි ඕනේ තරම් තියනවා.

මෙන්න මේ නිසා ලංකාවේ උපාධිකාරයෝ දැන් කොටස් දෙකක් ඉන්නවා. ඒ තමා රජයේ විශ්ව විද්‍යාලවල උපාධිධාරීන් සහ පෞද්ගලික විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්. මෙන්න මේ දෙකොටස අතර ගැටුම නිර්මාණය වෙන්නේ එකම රැකියා වෙළඳපොළක තරග කිරීමේදී විතරක් නෙවෙයි. පෙළවහක් කරගද්දී, සමාජ තත්ත්වය කියන ප්‍රස්තූතය තුළදී වගේ කරුණු කාරණාවලදී මේ පිරිස ගැටෙනවා!

අපි එකින් එක අරන් බලමු!

පටන් ගන්න හැටි 

නොවිඳිනා දුක් විඳලා තමන්ගේ පොඩි එකා එක වසරට ඇතුළු කරන අම්මා තාත්තා හිතන්නේ ළමයා දොස්තර කෙනෙක් කරන්න. නැත්නම් ඉංජිනේරුවෙක් කරන්න! සිහිනය සර්ව සාධාරණයි! ඒ සමාජය හැඩගැහිලා තියෙන හැටි. ඊට පස්සේ අර ටියුෂන්, මේ ටියුෂන් ඔක්කොම කරවලා ලෝකේ තියෙන අමාරැම විභාගේ වෙච්චි උසස් පෙළ කළාට පස්සේ හැමෝම දතකට මැදගෙන බලාගෙන ඉන්නේ දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් අජපල් වෙච්ච නැති රිසල්ට් එකක් ඇවිත් සරසවියට පිය නගන්න.

හැබැයි මේ වරම හිමි වෙන්නේ ඉතා අඩු ප්‍රතිශතයකටයි. ලංකාවේ තියෙන නිදහස් විශ්වවිද්‍යාල ප්‍රමාණය හා එහි පහසුකම් අවම වීම මේකට හේතුවක්.

මාර වැඩේ. Exam කළා. ඒත් කැම්පස් යන්න ලකුණු මදි. ආයේ පාරක් කළා. ඒත්..... ආයේ මදි. මොනවා කරන්නද? දොස්තර ඉංජිනේරු සිහිනය බොඳ කරගන්නත් බෑ. ඒ වෙලාවේ තමයි පෞද්ගලික උපාධි ප්‍රදානය කරන ආයතන අපේ අම්මලා තාත්තලාගේ උදව්වට එන්නේ.

උසස් පෙළ කඩයිම ඉහළින්ම පනින අය රටේ බදු ගෙවන ජනතාවගේ වියදමින් ඉගෙන ගනිද්දි, උසස් පෙළ ඉහළින්ම පාස් වෙන්න බැරි වෙච්චි, නැත්නම් රාජ්‍ය විශ්ව විද්‍යාල යාන්ත්‍රණයට එකතු වෙන්න අකමැති (එහෙම අය ඕනේ තරම් ඉන්නවා) ඒ අය යම් මිලක් නියම වෙච්චි උසස් අධ්‍යාපනයක් සඳහා යොමු වෙනවා. අන්න එතැනදී “මුදල්” කියන සාධකය “දැනුම හා දක්ෂතාව” කියන සාධකය අතර ගැටුමක් නිර්මාණය කරනවා.

ඇතුළේ මොකෝ වෙන්නේ?

සරසවි ජීවිතය කියන්නේ වෙනමම එකක්! ඒකේ අටුවා ටීකා ටිප්පනි වෙන දවසක කොටමු. සරසවි කුලකය සරසවිය ඇතුළේ සමාසික ක්‍රමයකට ලොව පිළිගත් විෂය නිර්දේශයන්ට අනුකූලව ඉගෙනුම් කරයුතු කරගෙන යනවා. වැඩවර්ජන, ඉල්ලීම්, පිකටින් මැද අවුරුදු 3ක් නැත්නම් 4ක් සමහරවිට ඊට වැඩි කාලයක් ගතකරලා උපාධියක් අරගෙන එළියට එනවා.

උපාධි ප්‍රදාන ආයතනවල සමාසිකයට නියමිත මුදල් ගෙව්වාට පස්සේ ගුරුවරු පිරිසක් වෙනත් රටක විශ්වවිද්‍යාලයක හරි ස්වයං නිර්මිත විෂය පථයක හරි දැනුම ශිෂ්‍යාට ලබා දෙනවා. මේ එක් එක් ආයතනයකට අනන්‍ය වූ උප සංස්කෘතියක් ඉබේම නිර්මාණය වෙනවා. මේ ළමයාත් අවුරුදු 3කින්, නැත්නම් මුදල් හදල් අමාරු වුණොත් මැද පොඩි විරාමයක් අරගෙන හරි උපාධි සහතිකයක් ලබා ගන්නවා. ගැටුම ඊළඟට!

කාගේ එකද වඩා හොඳ?

මේක සාපේක්ෂයි! රජයේ විශ්ව විද්‍යාලයක උනත් update නොවිච්චි ඉතා පැරැණි විෂය නිර්දේශයක් ඉගෙන ගෙන එළියට එන එකා කොහාට යවන්නද? වැඩ ලෝකෙට ගැලපෙන දැනුමක් ඒ උපාධිධාරියා සතුව අනිවාර් යේන් තියෙන්න ඕනේ.
අනික “අපි මේක සල්ලි දීලා ගත්තේ අහවල් පිටරට යුනිවර්සිටියෙන් වුණත් වැඩක් නැත්නම් වැඩක් නෑ. ඒ යකා සල්ලි දීලා ඉගෙන ගෙන තියෙන්නේ විෂය කරුණු විතරයි නම්, සමාජය ගැන අවබෝධය බිංදුවයි නම්, ඒ වගේ එකෙක් පොල් පිත්තකින් වුණත් කපා ගන්න පුළුවන්!

University Ranking?

ලෝකේ විශ්ව විද්‍යාල යම් කිසි ප්‍රමිතියක් අනුව rank කරලා තියනවා. මේකෙන් කියන්නේ නෑ යට තියෙන්නේ කසිකබල් කැම්පස් කියලා! Rank එක සඳහා විවිධ කරුණු බලපානවා. ශිෂ්‍ය සංඛ්‍යාව, පහසුකම්, ජයග්‍රහණ මේ වගේ කරුණු. සමහර වෙලාවට ලංකාවේ පෞද්ගලික උපාධි ආයතන රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වඩා උඩින් ඉන්නවා.

ඒ ඇයි?

මම දකින විදිහට අංක එකේ වැරදිකරුවා විශ්වවිද්‍යාල පරිපාලනය හා දේශපාලනය! විශ්වවිද්‍යාල තුළ තිබිය යුත්තේ ශිෂ්‍ය දේශපාලනය පමණයි. ඒ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ උදාරතර අරමුණ සහිත වූ එකක්. රටේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන් නැගී සිටිය යුතුයි. ඒත් දේශපාලන ඉත්තන් නොවිය යුතුයි. විශ්වවිද්‍යාල පරිපාලනයත් තමන්ගේ වාසි සඳහා කොටු නොවී විෂය යාවත්කාලින කිරීම් ආදිය කළ යුතුමයි.

රටේ භෞතික සම්පත් දියුණු කරනවා සේම දැනුමේ තිඹිරි ගෙය වන විශ්වවිද්‍යාල සඳහා පාලකයන් ආයෝජනය කළ යුතුයි. එය වියදමක් නොව ආයෝජනයක් ලෙස සිතිය යුතුයි.

මීළඟ වැරදිකරුවා සරසවි ශිෂ්‍යයා. ඇයි ඒ? මගේ ඇඟට ගොඩ වෙන්න එපා! සරසවි ශිෂ්‍යයා කියන්නේ රටේ උගත් යැයි සම්මත පිරිසක්. එහෙව් අය තමන්ගේ අසරණ මව්පියන් ඇතුළු රටේ බදු ගෙවන ජනතාගේ මුදල්වලින් ඉගෙන ගන්නවා යැයි කියලා ඇත්තටම කරන්නේ පිස්සු කෙළීම නම්? සරසවි ශිෂ්‍යයා පොතේ ගුරෙක් නොවිය යුතුයි. සරසවි ජීවිතය විඳිය යුතුයි. අසාධාරණයට එරෙහිව හඬ නැගිය යුතුයි. ඒත් සමඟ ඉගෙනීමත් හරියට කළ යුතුයි! අනිවා එතකොට කැම්පස් ranking ඉහළ නගිනවා ෂුවර්. එහෙම නැතිව හැමදාම කරන්නේ පාරට බැහැලා කෑ ගහන එක විතරක් නම් හැමදාම පල්ලෙහාට තමා. 

උන් අපිට අරහං! උන්ට අපි අරහං!

රාජ්‍ය සරසවි ශිෂ්‍යයා හා පෞද්ගලික උපාධි සිසුවා අතර ගැටුමේ එක් අවස්ථාවක් තමයි එකිනෙකා නොරුස්සන ස්වභාවය. ඔවුන් අයත් වනවායැයි සිතන සමාජ පන්තියේ ඇති වෙනස මේකට එක හේතුවක්.

පෞද්ගලික උපාධි ශිෂ්‍යයා තුළ ඉබේ ජනිත වෙන අධි මානයක් තියනවා (සමහරකගේ පමණයි). ඔවුන් එක්ක එක පන්තියේ හිටපු කොල්ලා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පිකට් එකකට ගිහින් බැටන් පොලු පහරක් කද්දී ඔහු සියුම් සතුටක් ලබනවා. ඒ උසස් පෙළින් ඔහුව පරාජයට පත් කරන්නට බැරිවුණාට මෙතැනදී හැකිවුණා කියන දැක්මෙන්.

කැම්පස් එකා strike නිසා ගෙදරට වෙලා ඉද්දි, කැට යද්දී, සල්ලි හොයා ගන්න, සමහර විට ගෙදරට සල්ලි යවන්න පාරේ පත්තර විකුණද්දී, ප්‍රමෝෂන් යද්දී ඒ දිහා බලාගෙන කෙනෙක් හිනා වෙනානම්? එය සාධාරණීකරණය කරන්න පුළුවන් නම්?

ඔහු ඒ තත්ත්වයට පත් වෙන්න කරපු එකම වරද උසස් පෙළ උසස් ලෙස සමත්වීම හා පෞද්ගලික උපාධි සහතිකයක් ලබා ගැනීමට තරම් ඔහු ඇති දැඩි කරපු මව්පියන්ට කාසි පණම් නොතිබීම පමණයි. සිත් රිදීම් ඇත්නම් සමාව දෙත්වා! මේ සම “හරක්” පමණයි.

දෙපිරිසේම සම සමව වැරදි ඇති. සම්පූර්ණ නිවැරදි පුද්ගලයෙක් සෙවීම කළුනික හොයනවාටත් වඩා අමාරු වැඩක්. හැබැයි වැදගත්ම දේ සින්තටික් ලෝකවලින් මිදිලා ඇත්ත ඇති සැටියෙන් ලෝකය දැකීමයි. නැත්නම් ලංකාවේ කැම්පස් එහෙමත් නැත්තම් නිදහස් අධ්‍යාපනේ, රෙද්ද පල්ලෙන් ගෞරවේ ලීක් වෙන එක නවත්තන පැම්පස් එකක් විතරක් වේවි!

► නාඩියා

 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00