♦ විදේශ ණයයි පොලියයි වැඩිවෙනවා - ආචාර්ය බන්දුල ගුණවර්ධන
♦ ණයබර වැඩිවෙනවා කීම බොළඳ තර්කයක් - ආචාර්ය හර්ෂ ද සිල්වා
♦ මේ වගේ අර්ථකථන අසාධාරණයි - මහාචාර්ය සිරිමල් අබේරත්න
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 159 ඉක්මවා අවප්‍රමාණය වීම නිසා රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට අතිරේක වශයෙන් විදේශ ණයවල අගයද රුපියල් බිලියන 47කින් පමණ ඉහළ ගොස් ඇතැයි ආණ්ඩුවට එරෙහි විපක්ෂ කණ්ඩායම් පවසයි. එසේ වුවද ආණ්ඩුව පවසන්නේ එවැනි ණය ඉහළ යාමක් සිදුවී නැති අතර එලෙස ප්‍රකාශ කිරීම පදනම් විරහිත බවය. කෙසේ වුවද විදේශ ණය ප්‍රශ්නය මේ වනවිට දේශපාලන ගැටලුවක් බවට පත්කරගෙන ඇති අතර දෙපාර්ශ්වය එකිනෙකාට චෝදනා කරමින් දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව පෙනේ. එහෙත් මැදහත් දේශපාලන හා ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වනුයේ යථා තත්ත්වය ගැඹුරෙන් සොයා බලා රටට යම් හානියක් සිදුවේ නම් එය වළක්වාගෙන පවතින පරිසරයෙන් කිසියම් වාසියක් අත්කරගත හැකි නම් එය ලබාගැනීම ප්‍රඥාගෝචර බවය.
වත්මන් රජය යටතේ ගෙවී ගිය වසර 2 1/2ක කාලය තුළ රටේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 2773කින් ඉහළ ගොස් ඇති අතර 2017 වසරේ ජූනි 30 වැනිදා වනවිට රටේ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ණය ප්‍රමාණය 84.8කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. 2014 අග වනවිට ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 71.3 මට්ටමේ පැවතිණ. 2017 වසර අවසන් වනවිට රටේ ඒකපුද්ගල ණය බර රුපියල් 5,17,278ක් බවට ගණනය කර තිබේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ඉතියෝපියාව හා උගන්ඩාව ආදී ඌණ සංවර්ධිත රටවල ණය ප්‍රතිශතයද ඉක්මවා ඇති බව මූඩිස් සමීක්ෂණ ආයතනය (Moodys Investors Service Institute) පසුගියදා හෙළි කළේය. පකිස්තානය හා මාලදිවයින ආදී දකුණු ආසියාතික රටවලද අධික ණය බරක් පවතින නමුත් ඒ රටවල සමස්ත ණයබරට වඩා ශ්‍රී ලංකාවේ ණය බර ඉහළ බව කියැවේ. ලෝකයේ ණය බර අධික රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද පැමිණ ඇත.
තත්ත්වය මෙසේ තිබියදී පසුගිය දිනවල “සීඝ්‍රගාමී” ලෙස රුපියලේ විදේශ අගය අවප්‍රමාණය වීමෙන් රටේ ණය බර තවත් ඉහළ ගොස් ඇති බවට තර්ක ඉදිරිපත් වේ. පසුගිය ජනවාරි 1 දා සිට අප්‍රේල් 3 වැනිදා අතර කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ස්ටර්ලිං පවුමකට සාපේක්ෂව සියයට 6.4ක්, යුරෝවකට සාපේක්ෂව 4.4ක්, ජපාන යෙන් වලට සාපේක්ෂව 6.1ක්, ඉන්දියානු රුපියලට සාපේක්ෂව 1.1ක් ආදී වශයෙන් අව ප්‍රමාණ වී ඇති අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 3කින් අවප්‍රමාණ වී තිබේ. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල පහත වැටීම අපේ ආර්ථිකයට විශාල ලෙස බලපාන්නේ අපේ විදේශ ගනුදෙනු වැඩි වශයෙන් අමෙරිකානු ඩොලරයෙන් සිදුවන බැවිනි. පසුගිය අප්‍රේල් 25 වැනිදා වනවිට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 159.04 දක්වා පහළ බැසීම විශේෂයෙන් කැපී පෙනේ.
කෙසේ වුවද පසුගිය කෙටි කාලය තුළ රුපියලේ අගය පහළ වැටීම වේගවත් වූ බව ඇත්තකි. එයින් රටේ ආර්ථිකයට එතරම් බලපෑමක් ඇති නොවූ අතර එම තත්ත්වය තුළින් රටට වාසිදායක වෙනසක් කළ හැකි බව ආණ්ඩුව පවසයි. එහෙත් විපක්ෂ කණ්ඩායම් පවසන්නේ රුපියල අවප්‍රමාණ වීමෙන් රටේ ආර්ථිකයට විශාල පහරක් වැදී ඇති බවය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය අජිත් කබ්රාල් පවසන්නේ රුපියලේ අගය අවප්‍රමාණ වීමෙන් පසුගිය දින දෙක තුනේදී පමණක් රටේ විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 47කින් ඉහළ ගොස් ඇති බවය. පසුගිය සතිය තුළ පමණක් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 157.96 සිට 159.4 දක්වා රුපියල් 1.58කින් අවප්‍රමාණය වී ඇති බව ඔහු කියයි.කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමට කළ ආයෝජනය රුපියල් බිලියන 48ක් බවත්, මත්තල ගුවන් තොටුපළට කළ ආයෝජනය රුපියල් බිලියන 30ක් සහ 2014 සමෘද්ධි සහ පොහොර සහනාධාරය වෙනුවෙන් දැරූ පිරිවැය රුපියල් බිලියන 47ක් බවද පෙන්වා දෙන ඔහු රටේ ණය දින 2-3කින් බිලියන 47කින් ඉහළ යාම බරපතළ ප්‍රශ්නයක් බවද කියයි.
මේ පිළිබඳව අදහස් දක්වන හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන විමසන්නේ රුපියල අවප්‍රමාණයෙන් ගලවා ගන්නට අපොහොසත් රජයකට රටේ බඩුමිල අඩුකළ හැකිද යන්නය. රුපියලේ විදේශ අගය සහ රටේ බඩුමිල අතර අන්තර් සම්බන්ධයක් පවතින බව පෙන්වා දෙන හිටපු ඇමැතිවරයා අවධාරණය කරන්නේ රුපියල අවප්‍රමාණය නිසා බඩු මිල වැඩිවීම සමගම අප ගෙවීමට ඇති විදේශ ණය සහ පොලියේ වැඩිවීමක් ඇතිවන බවය. එය එකවර නොදැනුණත් ක්‍රමයෙන් රටට මහා බරක් විය යුතු බව ඔහු කියයි.
මහින්ද රාජපක්ෂ යුගයේදී ඩොලරයට සාපේක්ෂව රුපියල 101 සිට 131 දක්වා පිරිහීමට වසර 10ක් ගත වුවද මේ රජයේ කාලය තුළ 131 සිට 159 දක්වා පිරිහීමට ගත වී ඇත්තේ වසර 4ක් බව ඔහු පෙන්වා දෙයි. රුපියල බේරාගත නොහැකි වී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සිය සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා ඩොලර් මිලදී ගැනීම නිසාය යන්න ඔහුගේ මතය වේ. රජයට එරෙහි පාර්ශව ඉදිරිපත් කරන චෝදනා ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ රුපියල අවප්‍රමාණ වීම නිසා බොහෝ පැතිවලින් රටට යහපතක් සිදුවන බවය. රුපියල අවප්‍රමාණ වීමෙන් දේශීය අපනයනකරුවා දිරිගැන්වීමක් සිදුවන බව ඔහුගේ අදහසය. රුපියල අවප්‍රමාණවීම දෙස බොළඳ දෘෂ්ටි කෝණයකින් නොබලන ලෙස ඔහු කියයි. ඔහු පෙන්වා දෙන්නේ රුපියල අවප්‍රමාණ වීම නිසා රටේ ණය බර විශාල ලෙස වැඩිවූ බව ප්‍රකාශ කිරීම වැරදි බවය. එය සම්පූර්ණයෙන් වගකීම් විරහිත හා ආර්ථික විද්‍යාත්මක පැත්තෙත් බොළඳ තර්කයක් බව ඔහු කියයි.
“කවුරුත් විනිමය අනුපාතිකය හැදෙන හැටි තේරුම් ගත යුතුයි. ඒ කාලයේ ස්ථීර විනිමය අනුපාතිකයක් තිබුණා. ඒක එක ක්‍රමයක්. වෙළඳ පොළේ ඉල්ලුමට අනුව රුපියල ඉහළ පහළ යාම තවත් ක්‍රමයක්. 2001 සිට අප පවත්වාගෙන ඇවිත් ඇත්තේ නම්‍යශීලී විනිමය අනුපාතිකයක්. පිටරටින් එන භාණ්ඩවල මිල ඉහළ යාම දේශීය නිෂ්පාදකයාට හොඳයි. අපේ අපනයනකරුවන්ට ඉන් දිරිගැන්වීමක් ලැබෙනවා.”
මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2017 මහ බැංකු වාර්තාව එළිදක්වමින් පැවසුවේ ශ්‍රී ලංකා රුපියලේ අගය පිරිහීම විදේශීය ණය ගෙවීමට කිසිදු බාධාවක් නොවන බවයි.
“අප විදේශ ණය ගන්නේ විදේශ විනිමයෙන්. අමෙරිකානු ඩොලර්වලින්. එය නැවත ගෙවිය යුතු වන්නේ අමෙරිකානු ඩොලර්වලින්. ගිණුම් කරන අවස්ථාවලදී තමා එය රුපියලේ වටිනාකමට සටහන් කරන්නේ. එවිට එහි අගය ඉහළ යනවා. එසේම විදේශ ණය පියවීමේදීද ඒවා ගෙවන්නේ ඩොලර්වලින්. ඒ නිසා රුපියල පිරිහීමෙන් විශාල මුදලක් රජයට අහිමි වන බවද එම මුදල් වෙනත් සංවර්ධන කටයුතුවලට යොදා ගන්නට තිබුණා යැයි කීම කිසිදු තේරුමක් නැති චෝදනාවක්.”
රටේ මුදල් අවප්‍රමාණය වීමේදී නොපියවා ඇති විදේශ ණය ප්‍රමාණයේ දේශීය මුදල් වටිනාකම වැඩිවුවද විදේශ මුදලින් ගෙවිය යුතු ණය ප්‍රමාණයේ කිසිදු වෙනසක් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ.
ශ්‍රි ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය 2017 වසරේ මැයි මාසයේ සිට ශ්‍රී ලංකා රුපියලෙහි බාහිර වටිනාකම වඩා නම්‍යශීලී ලෙස තීරණය වීමට ඉඩ හැරීම කෙරෙහි යොමුවී ඇති අතර, ඒ සමඟ රටෙහි ජාත්‍යන්තර සංචිත ඉහළ දැමීම සඳහා විදේශ විනිමය මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීම සීමා කෙරිණි. මෙම උපාය මාර්ගය යටතේ ශ්‍රී ලංකා රුපියල 2017 වසරේ මැයි මාසයේ සිට අවප්‍රමාණ වීමට මෙන්ම අති ප්‍රමාණවීමට ලක්වූ අවස්ථාද දක්නට ලැබිණ. කෙසේ වුවද විදේශ විනිමය වෙළෙඳපොළෙහි විදේශ විනිමය සඳහා පවතින සැපයුම හා ඉල්ලුම හේතුවෙන් මෑතකාලීනව රුපියලෙහි බාහිර අගය අවප්‍රමාණය වීම සඳහා යම් පීඩනයක් ඇතිවී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2018 අප්‍රේල් මස 25 වැනිදා දක්වා කාලය තුළදී සියයට 2.9කින් අවප්‍රමාණය වී ඇත.
විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම පිළිබඳ මෑතකාලීන පීඩනය ශ්‍රී ලංකා රුපියල සඳහාම වූ විශේෂිත වූවක් නොවේ. ඉන්දියාව, පිලිපීනය සහ ඉන්දුනීසියාව වැනි කලාපීය රටවල් කිහිපයක්ද මෑතකාලීනව අවප්‍රමාණ පීඩනය සඳහා මුහුණ දී ඇත. 2018 අප්‍රේල් 24 වැනි දින එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ඉන්දියානු රුපියල සියයට 4.3කින්ද, පිලිපීන පෙසෝ සියයට 4.4කින්ද, ඉන්දුනීසියානු රුපියල සියයට 2.4කින්ද අවප්‍රමාණ වී ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන්නේ මෙම දෙපාර්ශ්වයම පවසන කරුණුවල යම් සත්‍යතාවක් ඇති බවය.
ශ්‍රී ලංකා රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මේ වනවිට රුපියල් 159 දක්වා ඉහළ නැග ඇති නිසා ඩොලර් රුපියල්වලට හරවනවා නම් විශාල රුපියල් ප්‍රමාණයක් වැයවන බව ඇත්තක් යැයි ඔහු කියයි. විදේශ ණය සෑමවිටම ප්‍රකාශ කරනුයේ විදේශ මුදල් වන ඩොලර්වලින් වන අතර ඩොලර්වලින් ඇති ණය ප්‍රමාණය රුපියල වැඩිපුර අවප්‍රමාණ වූවා යැයි වැඩි නොවන බව ඔහු පෙන්වා දෙයි. මෙම විදේශ ණය ඩොලර්වලින් ගෙවනවා නම් වැඩිපුර ගෙවීමක් ඇති නොවන බව ඔහුගේ අදහසය. මෙහි අනිත් පැත්ත ඔහු මෙසේ ප්‍රකාශ කරයි.
“හැබැයි විදේශ ණය අපි ගෙවන්නේ ජනතාවගේ බදු මුදල්වලින් නම් එම මුදල් ඩොලර්වලට හැරවීමේදී විශාල රුපියල් ප්‍රමාණයක් පාවිච්චි වෙන නිසා අපේ රුපියල් වැඩිපුර නාස්ති වෙනවා. ඒ හින්දා සමහරුන් රුපියල අවප්‍රමාණ වීමෙන් විදේශ ණය ප්‍රමාණය ඉහළ යනවා යැයි කියන්නේ මේ මත පිහිටලයි. එහිදී රුපියල දුර්වල වනවිට වැඩි රුපියල් ප්‍රමාණයක් වැයවෙන බවක් සත්‍යයක්. එහෙම වුණත් මා දන්නා තරමින් ශ්‍රී ලංකා මහබැංකුව විදේශ ණය ගෙවීමට බොහෝවිට කටයුතු කරනුයේ ඩොලර්වලින්. ඒ නිසා රුපියල සමඟ එහි සම්බන්ධයක් නැහැ.
මහ බැංකුව බොහෝවිට විදේශ ණය ගෙවීමට ඩොලර් එකතුකර ගෙන තිබෙනවා. එහෙම මහබැංකුව සතු ඩොලර් සංචිතවලින් ගෙවනවා නම් ගැටලුවක් ඇතිවන්නේ නැහැ. අපට ලැබෙන විදේශ ණය හා ආධාර ලැබෙන්නේ ඩොලර්වලින්. එසේම විදේශ ඉපයීම්වලින්ද ඩොලර් ලැබෙනවා. එසේම යම් යම් දේවල් විකිණීමෙන්ද ලැබෙන්නේ ඩොලර්.
උදාහරණයක් ලෙස පැවසුවහොත් පසුගියදා හම්බන්තොට වරාය විකුණලා ගත් මුදල ඩොලර්. එවැනි මුදල් මහ බැංකුවේ ඩොලර් ගිණුමට යනවා. මෙලෙස ලැබෙන ඩොලර් ආදායම රුපියල්වලට හරවලා රට තුළ අවශ්‍ය දේවලට වැය කරනවා නම්, එහෙම කරලා ඩොලර් ගිණුම හින්දවා තිබෙනවා නම් එවිට අපේ රටේ ආදායම ඩොලර්වලට පරිවර්තනය කරලා විදේශ ණය ගෙවන්න වෙනවා. මගේ දැනුමේ හැටියට නම් ශ්‍රී ලංකාව තවමත් එවැනි තත්ත්වයකට පත්වී නැහැ. ඒ අනුව පැවසිය යුත්තේ අප ගෙවන විදේශ ණය ප්‍රමාණය ඉහළ යනවාද නැතිද යන්න තීරණය කළ යුත්තේ අපි ඒවා ගෙවන්නේ ඩොලර්වලින්ද නොඑසේ නම් ශ්‍රී ලංකා රුපියල්වලින්ද යන ක්‍රම දෙක මතයි.
මේ අනුව අපි ගෙවන්නට ඇති මුළු ණය ප්‍රමාණය රුපියල්වලට පරිවර්තනය කරලා රුපියල අවප්‍රමාණවීම නිසා මෙතරම් ගෙවීමට ඇති විදේශ ණය වැඩිවූවා යැයි අර්ථකථනය කිරීම සාධාරණ නැහැ. මොකද අපි මේ ණය සියල්ල එකවර ගෙවන්නේ නැහැ. රුපියල ඉදිරියේදී ශක්තිමත් වුවහොත් ගෙවීමට ඇති විදේශ ණය රුපියල්වලට පරිවර්තනය කළ විට එය අඩුවිය යුතුයි. ඒ වුණත් එහෙම තර්ක කරලා මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවිය නොහැකියි. අනිත් අතට අප විදේශ ණය හා පොලී ගෙවන්නේ එකවර නොවෙයි. වාරික වශයෙන්. මෙහිදී ගෙවන්නේ ගෙවිය යුතු ණයවලින් සුළු ප්‍රමාණයක්. ඒ නිසා රුපියල්වලින් ගෙවුවත් වැඩිවෙන්නේ සුළු ප්‍රමාණයක්. සමස්ත ණය එකවර නොගවන නිසා ගෙවීමට ඇති ණය වැඩිවූ බව ප්‍රකාශ කිරීම වැරදි බව කිව යුතුයි.
එසේම අපේ රුපියල අවප්‍රමාණවීම පාලනය කිරීමට මැදිහත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුවට පුළුවන්. මේ තරම් රුපියල අවප්‍රමාණ වූයේ එය ඉල්ලුම හා සැපයුම මත තීරණය වීමට ඉඩදීම නිසයි. ඒත් පසුගිය ආණ්ඩු සමයේදී රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිත මුදල් වෙළෙඳපොළට මුදා හැරීමෙන්. නමුත් එය තාවකාලික පියවරක්. අප කළයුතු වන්නේ ඉල්ලුම හා සැපයුම අනුව රුපියලේ අගය තීරණය වීමට ඉඩ හැරීමයි. එහිදී කෙටිකාලීන ලෙස දුෂ්කරතා ඇති වෙනවා ඇති. දැන් සිදුව ඇත්තෙත් එවැන්නක්. එහෙත් දීර්ඝකාලීන වැඩපිළිවෙළක් යටතේ අපනයන හා විදේශ ලැබීම් වර්ධනය කර රුපියල ශක්තිමත් කළහොත් එය රටේ ආර්ථිකයට හොඳයි.
මෙලෙස රුපියල අවප්‍රමාණ වීම නිසා අපනයන ආදායම වැඩිවීම අපට හොඳයි. මෙහිදී අප කළ යුත්තේ අපනයන වර්ධනය කරගෙන විදේශ ආදායම වැඩිකර ගැනීමයි. එහෙත් ආණ්ඩුව තුළ එවැනි සැලැස්මක් ඇති බවක් දක්නට නැහැ. අද කළ යුතුව ඇත්තේ රුපියල දුර්වලවීමෙන් සිදුවන වාසිය ප්‍රයෝජනයට ගෙන එයම පාවිච්චි කර රුපියල ශක්තිමත් කිරීමයි. එසේ නැතුව මෙය දේශපාලන ප්‍රශ්නයක් බවට පත්කර ගෙන දෙපාර්ශ්වය විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කිරීමෙන් සිදුවන යහපතක් නම් නැහැ.
♦ යසවර්ධන රුද්රිගු