2018 මැයි 05 වන සෙනසුරාදා

කොරියන්කාරයෝ ඔක්කා්‍ෙම සති පොළට රිංගලා

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකයට නිරාවරණය කිරීමේ පෙරමුණේ රාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරුය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනකු සමඟ කළ සංවාද සටහන් පෙළක විසි එක් වැන්නයි. මෙවර අප හා කතාබහට එක්වන්නේ ආර්.ඒ.ජේ. ලයනල් මහතාය. ඔහු Chaffeur Tourist Guide කෙනකු හෙවත් මෝටර් රථය පදවාගෙන යමින් සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙන්නෙකි. 2013 වසරේ සිට ඉංග්‍රීසි සහ කොරියානු භාෂාවලින් සේවා සපයන ඔහු සංචාරකයන් සමඟ ගෙවුණු කාලයේ ලබාගත් අත්දැකීම් අප හා බෙදාගත්තේ මෙසේය

කොරියාවේ අවුරුදු 11ක් 

ලයනල් කොරියාවට යන්නේ 2000 වසරේදී පමණය. එහි ගොස් ඇඟලුම් කර්මාන්තයට අදාළ පාඨමාලාවක් හදාරන ඔහු, අනතුරව එහිම වසර කිහිපයක් සේවය කරන්නේය. ඇඟලුම් කර්මාන්තයේ සිට මෝටර් රථ කර්මාන්තයට ‘ටර්න්’ එකක් ගන්නා හෙතෙම නැවත ලංකාවට එන්නට පෙර සුපක්‍රට හුන්ඩායි මෝටර් රථ සමාගමේ තාක්ෂණික අංශයේ රැකියාවක් කළේය. 

“මම කොරියාවේ ඉඳන් ආපහු ආවේ ටුවරිසම් කරන්න හිතාගෙන නම් නෙමේ” ලයනල් කතාව ඇරඹුවේ එතැනිනි. 

අවුරුදු 11ක් කොරියාවේ සිට ඉපැයූ මුදල් ද රැගෙන ඔහු නැවත එන්නේ ගොවිපළක් ආරම්භ කිරීමේ අදහසිනි. ඒ සඳහා තමන්ගේම කියා විශාල ඉඩමක් ද ඔහු සතුව තිබුණි. එහෙත් දෛවය ඔහුව තල්ලු කළේ ඔහු සිතුවේවත් නොමැති ඉසව්වකටය. ඒ හදිසියේ ලැබුණු ඇරයුමක් සමඟිනි. 

“මම ඉස්සර වැඩකරපු කම්පැනියේ බොස් කෙනෙක්ගේ ඉල්ලීමක් පිට, ලංකාවට එන කොරියන් සංචාරක කණ්ඩායමක් එක්ක යන්න මට සිද්ධ වුණා. ඒක දවස් පහක ටුවර් එකක්” 

ඒ වන විට ලයනල්ට ගයිඩ් ලයිසන් තිබුණේ ද නැත. ඔහු ගයිඩින් ගැන අකුරක්වත් දැන උන්නේ ද නැත. හිතවත්කම උඩ සම්බන්ධ වූ එම සංචාරයට ලංකාවෙන් ද තවත් ගයිඩ්වරයකු එක්ව සිටි නමුත් ඔහුගේ කොරියානු භාෂා දැනුම තිබුණේ ඉතා දුර්වල මට්ටමකය. 

“කොරියන් කියන්නේ හරි අමාරු භාෂාවක්. ප්‍රාදේශීය ව්‍යවහාරත් ගොඩක් තියෙනවා. උදාහරණෙකට කොරියන් භාෂාවෙන් වතුර බෝතලේට කියන්නේ ‘බුල් තොන්’ කියලයි. හැබැයි වැරදිලාවත් ‘බුල් තෝන්’ කිව්වොත් වැඩේ වරදිනවා. මොකද ‘තෝන්’ කියන්නෙ අසූචිවලට”

සහායට හුන් එම ගයිඩ්වරයාට සංචාරය අතරමඟදීම ඉවත් වන්නට ද සිදුවූයේ ද වචන වැරදියට උච්ඡාරණය කිරීම නිසාය. මෙනිසා එම සංචාරයේ වැඩි බරක් කරට ගන්නට ලයනල්ට සිදුවිය. 

“ඔය ටුවර් එකේදී තව මරු වැඩක් වුණා” ඔහු අතුරු කතාවක් කියන්නට පටන් ගත්තේය. 

සාමාන්‍යයෙන් සංචාරකයන් රැගත් ගමනකදී එක දිගට වාහනයක ගමන් කරන්නේ පැය දෙකක් පමණ කාලයකි. පැය දෙකකින් පසු විවේකී ස්ථානයක නතර කිරීම ගයිඩ් මහතුන්ගේ සිරිතයි. ඇඟේ හිරි ඇරගැනීමටත් වඩා ඒ කුඩා විවේකය වැදගත් වන්නේ වැසිකිළි කැසිකිළි යාමටය. 

“මම ඔය දේවල් දන්නෙ නෑනෙ. ඉතින් අපි මූන්දලම හරියේ ඉද්දි කට්ටියට ටොයිලට් යන්න ඕනෙ වෙලා කියලා ටුවර් ලීඩර් කිව්වා. හොඳ හෝටලයක්වත් රෙස්ට් හවුස් එකක්වත් කිට්ටුවක තිබුණෙ නෑ. මට දැන් කරකියා ගන්න දෙයක් නෑ. අන්තිමට මම කළේ මුන්දලම සති පොළ ගාව බස් එක නවත්තලා ළඟ තිබ්බ ගෙදරකට ගෙස්ට්ලාව එක්කන් ගිය එකයි” 

හොඳම වැඩේ සිදුවන්නේ ඒ අතරතුරදීය. එදා පොළ දවසක් නිසා එළවළු පළතුරු කඩ අස්සේ ඒ මේ අත යන මිනිසුන්ගෙන් පොළ භූමිය පිරී පැවතුණි. කැරට් ලාබායි, ගෝවා ලාබායි ආදී කෑගැසීම් මුසුවී එය එකම ගාලගෝට්ටියක් වී තිබුණි. 
ලංකාවට එන සංචාරකයන්ට තමන්ගේ සංචාරය පරිපූර්ණ කරගත හැක්කේ හැකි තරම් දුරට දේශීය ජනතාවට සමීප වීමෙනි. ඔවුන්ගේ එදිනෙදා ජීවිතය ගැන උගැන්මෙනි. මෙනිසා තම සගයන් වැසිකිළි ගොස් එනතුරැ බසයට වී නිකරුණේ බලාසිටීමට සෙසු කොරියානුවන්ට රිසි නොවිණි. ඔවුහු බසයෙන් බැස පොළට රිංගූහ. 

අවසානයේදී තමන් හා ගිය සංචාරකයන් සමඟ ලයනල් නැවත බස් රථය වෙත එන විට බස් රථය හිස්ව ගොසිනි. 

“කෝ මේ කට්ටිය?” ලයනල් අසද්දී රියැදුරු තැන සිනාසෙමින් පොළ භූමිය වෙත අත දිගු කළේය. 

කොරියානුවෝ සතිපොළ තුළට වී හුන්නේ අමුතුම ලෝකයකට ඇතුළු වූවාක් පරිද්දෙනි. අයකු තැඹිලි ගෙඩියක් බොද්දී තවකෙක් පොල් කටු හැන්දක් ඒ මේ අත හරවමින් ලොකු පර් යේෂයකය. තවත් කිහිපදෙනෙක් පොළේ සිටින එළවළු වෙළෙන්දියක සමඟ පින්තූර ගනිමින් උන්හ. ඔවුන් නැවතත් බස් රථයට නංවා ගැනීමට ලයනල් කරන්නට වූයේ සුළුපටු යුද්ධයක් නොවේ. 

“විනාඩි පහකට බස් එක නවත්තපු අපිට එතැනින් පිටත් වෙන්න වුණේ පැය එකහමාරකට විතර පස්සෙ” 

උතුරු දකුණු හාදකම

ලංකාවේ සංචාරයට එන කොරියානුවන් සියලුදෙනාම පාහේ දකුණු කොරියානු වැසියන් ය. අතීත කොරියාව, නිරවි යුද සමයේදී උතුරු දකුණු ලෙස දෙකට බෙදුණු අතර අද උතුරු කොරියාවේ ඇත්තේ ඒකාධිපති පාලනයකි. දකුණු කොරියාවේ ඇත්තේ අ‍ෙමරිකානු හිතවාදී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකි. දේශපාලන වෙනස නිසා ලෝකයට උතුරු දකුණු කොරියා රාජ්‍යයන් එකිනෙකට පරස්පර රටවල් ලෙස පෙනුණ ද කොරියානුවන්ට එසේ පෙනෙන්නේ නැත. 

“දකුණු කොරියාවේ අය කොයිම වෙලාවකවත් උතුරු කොරියාවේ මිනිස්සුන්ට බණින්නෙ නෑ.  උතුරේ ඉන්නෙත් තමන්ගේ නෑදෑයෝම කියලයි ඒ ගොල්ලො සලකන්නෙ”

ඇත්තෙන්ම උතුරු කොරියාවේ ඉන්නේත් දකුණු කොරියාවේත් ඉන්නේත් එකම ජනතාවකි. කතා කරන්නේ ද එකම බසකි. 

හැබැයි සමහරු නම් ඉඳලා හිටලා කිම් ජොන් උන්ට බණිනවා. ඒ අතරෙම අපේ ආර්ථික ශක්තියයි, එයාලගේ යුද ශක්තියයි එකතු වුණා නම් කොච්චර හොඳ ද කියලත් තව සමහරු කියනවා”

කොරියාවේ කොරියාව

කාලයකට ඉහතදී කොරියාව තිබුණේ ලංකාවටත් වඩා පහළ තැනකය. ඒ දවස්වල ලංකාවේ බොහෝ දෙනා අගනුවර මුඩුක්කු බිම් හැඳින්වීමට භාවිත කළේත් කොරියාව යන පදයයි. එහෙත් ලංකාවම ලොකු කොරියාවක් වෙද්දී කොරියාව කෙමෙන් කෙමෙන් ඉදිරියට ගියේය. දැන් කොරියාවේ කොරියාවක් නැතැයි බැලූ බැල්මට අපට සිතේ. 

“කොරියාවේ තාම ඉස්සර වගේ මුඩුක්කු තියෙනවා” ඔහු අලුත් විස්තරයකට මුල පිරීය. 

“මම හිටියේ කොරියාවේ තුන්වැනි ලොකුම නගරේ. තේගු නුවර. එහේත් එක පැත්තක මුඩුක්කු පරිසරයක් තියෙනවා. හැබැයි තැන් කිහිපෙක විතරයි එහෙම තියෙන්නෙ” 

කොරියානුවන් මුඩුක්කු පරිසරයට හැඩගැසී ඇත්තේ අනිකක්  නිසා නොව අවුරුද්දේ වැඩි කාලයක් එරට අධික ශීතලයට නිරාවරණය වී ඇති නිසාවෙනි. දෙසැම්බරයේදී කොරියාවේ උෂ්ණත්වය සෙල්සියස් ඍණ 20 දක්වා පහත වැටේ. අද මෙන් හීටර් භාවිත කරන්නට වත්කමක් නොමැති අතීතයේදී කොරියානුවෝ උණුසුම්ව හිඳීමට යොදාගත් උපක්‍රමය වූයේ ළඟ ළඟ පේළි නිවාස සාදා ගැනීමය. එනිසා අවශ්‍යතා සියල්ල එකම තැනකදී සිදුකරගැනීමටත්, එකම තැන මිනිසුන් රාශියක් හිඳීම නිසා සාපේක්ෂව වැඩි උණුසුමක් රඳවාගැනීමටත් ඔවුන්ට හැකිවිය. 

කොරියාවේ චීන්නු

ලයනල් පවසන ආකාරයට කොරියානුවන් කවදත් ලාංකිකයන්ට කැමැතිය. කොරියාව තුළ ලාංකිකයන්ට බොහෝ රැකියා අවස්ථා විවර වීමට ද එම කැමැත්ත බලපා තිබේ. 

“කොරියාවේ තාක්ෂණික අංශයේ රස්සා දෙන්නේ ලංකාවේ අයටයි, ඉන්දියන් පකිස්ථාන් අයටයි විතරයි. හැබැයි ඒ අතරනුත් ලංකාවේ අයට පිළිගැනීම වැඩියි. මොකද ඉන්දියන්කාරයෝ හරිම අපිරිසිදුයි. නාන්නෙ නෑ. පකිස්ථාන්කාරයෝ නාලා කරලා හිටියට අහුවෙච්ච තැන හොරකම් කරනවා. කොරියන් අය මේ සේරම දන්නවා. ඉතින් එයාලා ලංකාවේ අයට තමයි වැඩියෙන්ම කැමති” 

කොරියානු අර්ධද්වීපය පිහිටා ඇත්තේ බිලියන 1.4ක ජනතාවක් වාසය කරන චීනය ආසන්නයේ ය. එනිසා චීන සංක්‍රමණිකයන්ගේ බලපෑමක් කොරියාවට තිබෙනවා විය යුතුය. එහෙත් ලයනල් කීවේ වෙනස් කතාවකි. 

“අපෝ චීන්නුද? චීන්නුන්ව එහේ සත පහකට ගණන් ගන්නෙ නෑ.”

“ඒ ඇයි ඒ?”

“චීන්නුන්ට මොළේ නෑ කියලා තමයි කොරියන් කට්ටිය කියන්නෙ. අපේ රටේදි චීන අය ලොකු ලොකු රස්සා කළාට කොරියාවෙදි එහෙම චාන්ස් නෑ.” 

“එතකොට චීන්නු ඇත්තෙම නැද්ද?” 

“ඉන්නවා ඉන්නවා. හැබැයි ඔය යකඩ උණුකරන්න, පාරවල් හදන්න අත් උදව් දෙන්න. ඔය වගේ රස්සා තමයි චීන්නුන්ට එහේ තියෙන්නෙ.” 

(තවත් කොටසක් ලබන සතියේ) 

► රජිත ජාගොඩ ආරච්චි