ගෙවුණු අලුත් අවුරුදු සමයේ ලංකාව පුරා සිදුවූ රිය අනතුරු ගණන නම් සුළුපටු නොවේ. එම අනතුරුවලින් පුද්ගලයන් 50කට ආසන්න සංඛ්‍යාවකට ජීවිත අහිමි වී ගොස් තිබුණි. සූරියවැව පොලිස් බලප්‍රදේශය තුළද අලුත් අවුරුදු මාසයේ මාරක රිය අනතුරු 06 ක් සිදුවූ අතර ඉන් සිව්දෙනෙක් මියගොස් දෙදෙනෙක් අබ්බගාතයන් බවට පත්වූහ. එහෙත් අප අද ඔබට මේ ලියන්නට යන්නේ සිදුවූ අනතුරු පිළිබඳව නොව, අලුත් අවුරුදු මාසයේ රට වටා සිදුවූ අනතුරු අතරින් පසුගිය 27 වැනි දින සූරියවැව සිදුවූ අවාසනාවන්ත රිය අනතුරක් පිළිබඳවය.
මෙම අනතුරින් මියගියේ සූරියවැව ජාතික පාසලේ පහ බී පන්තියේ ඉගෙනුම ලැබූ අංක 65/02, ධර්මීගම, සූරියවැව පදිංචි අසිනි සත්සරණි වලිසිංහ නැමති දස හැවිරිදි දැරියයි.
මෙහි ශෝචනීයම සිදුවීම නම් මෙම අනතුර සිදුකළ වෑන් රථය පදවා තිබුණේද මියගිය දැරියගේම පන්තිභාර ගුරුවරයා වීමය. පාසල ඇරී “මම ගෙදර යන්නම් සර්” කියා ආ දැරිය ඔහුගේම රථයට හසුව මියයාම කෙසේ නම් කෙනකු විසින් උහුලාගනීද යන්න අකුරු කළ නොහැකි තරම්ය.
සුපුරුදු පරිදි පසුගිය 27 වැනි දිනද පාසල් ගිය අසිනි සත්සරණි වෙසක් මාසය වෙනුවෙන් පාසලෙන් පවත්වන පූජාවකටද සහභාගි වීම සඳහා අවශ්‍ය මල්, පොල්තෙල් හා හඳුන්කූරුද රැගෙන පාසලට ගියේ ඉතා සතුටිනි. ඇය පාසලට රැගෙන ගිය බෑගය තුළ වෙසක් කාඩ් මිටියක්ද රැගෙන ගියේ සිය යහළු යෙහෙළියන්ටද වෙසක් සුබපැතුමක් ලබාදෙන්නටය. කෙමෙන් තත්ත්පර පැය බවට පත්වී සීනුව නාද වූයේ පාසල් ඇරුණු බව සියල්ලන්ටම දන්වන්නටය. අන් සිසු සිසුවියන් මෙන් පාසලට රැගෙන ගිය පොත් බෑගයද තුරුළු කරගත් පුංචි සත්සරණි පන්තිභාර ගුරුතුමාටද සමුදී සිය යෙහෙළියක සමඟින් නිවෙස බලා ආවේ සූරියවැව පොළ පාරෙනි. ඒ එන අතරමඟ නිවසක ඇයගේ එක් යෙහෙළියක්ද විය. යෙහෙළියගේ නිවෙස අසළ නැවතුණු සත්සරණි පොත් බෑගය විවෘත කර එහි තිබූ වෙසක් කාඩ්පතක් අතට ගෙන පාර මාරුවූයේ අත තිබූ වෙසක් සුබපැතුම් පත සිය යෙහෙළියට ලබාදීමටය. එහෙත් ගතවූයේ නිමේෂයකි. මහා ශබ්දයක් නගමින් පාර හරහා ගමන් කළ සත්සරණි පාර මැද ඇදවැටුණේ ලේ විලක් මැදය. පාර මාරුවෙමින් සිටි සත්සරණි මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක ගැටි අනතුරට ලක් වී තිබුණි.
අනතුරත් සමඟින් අවට පිරිස්ද වාහනය වටකරගත්තේ මේ මොන අපරාධයක්ද යැයි පවසමිනි. එහෙත් පැමිණි පිරිස් වෙත ඇස් අදහාගත නොහැකි විය. අනතුර සිදුවූ වෑන් රථය පදවා තිබුණේ සූරියවැව ජාතික පාසලේම ගුරුවරයකු වීමය. ඊටත් එහා ගිය ශෝචනීයම කාරණය වූයේ අනතුර සිදුකළ වෑන් රථය පැදවූ ගුරුවරයා මියගිය දැරියගේම පන්තිභාර ගුරුවරයා වීමය. අනතුරත් සමඟින් අදාළ ගුරුවරයාද දැඩි කම්පනයකට පත්ව සිටිනු දැකිය හැකි විය. අනතුරත් සමඟින් මහ පාර මැද ඇදවැටුණු සත්සරණිගේ මුළු ගතම තත්ත්පර ගණනකදී ලෙයින් තෙත් වී ගියේය. අසල්වැසියන්ගේද සහාය ඇතිව අනතුරට පත් දැරිය පාරේ ගමන් කරමින් තිබූ බට්ටා වර්ගයේ ලොරි රථයක නංවා සූරියවැව රෝහලට රැගෙන ගියේ ජීවිතය රැකගැනීමේ අරමුණින්ය. එහෙත් දැරිය රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිටියාය.
මියගිය දැරියගේ දේහය හදිසි මරණ පරීක්ෂණ කටයුතුවලින් පසු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යැවිණි. අනතුර සිදුකළ වෑන් රථයේ රියැදුරු වන වීරප්පුලිගේ සුජීව නැමති අය අනතුර සිදුකළ වෑන් රථයද සමඟින් සූරියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගැනුණු රියැදුරු සාක්ෂි සටහන් කරගැනීමෙන් පසු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කළේය. එහිදී අනතුර සිදුකළ සැකකාර ගුරුවරයා 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. පසුව 30 වැනි දින නැවත අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු ඇප මත මුදාහැරුණු අතර ඊට අදාළ නඩු විභාගය නැවත 05/11 වැනි දින කැඳවිමට නියමිතය.
මියගිය අසිනි සත්සරණිගේ නිසල දේහය 27 වැනි දින රාත්‍රී නිවෙසට රැගෙන ගිය අතර එම අවස්ථාව ඉතා සංවේදී අවස්ථාවක් බවට පත් විය.
මියගිය අසිනි දියණියගේ මව වන ඊ.යූ. චමල්කා ප්‍රියදර්ශනී මහත්මියගේ විලාපය මුළු සූරියවැව නගරයම හඬවන්නට සමත් විය.
“පුංචි තුවාලයක් වුණත් කෑ ගගහා අඬන මගේ රත්තරන් දුව වාහනයක හැප්පෙනකොට කොහොම වේදනාවකින් කෑගහන්න ඇතිද දෙයියනේ. මම දුව බලන්න යනකොටත් මගේ රත්තරන් දුව ඇස් දෙක ඇරගෙනමයි හිටියේ. මොකක්ද දෙයියනේ මගේ දරුවට මේ වුණේ. උදේ ඉස්කෝලේ යනකොට අවුරුද්දට දුවට ඥාතින්ගෙන් ලැබුණු රුපියල් 800 ක් මගේ අතට දීලා කිව්වා, අම්මේ මේකට තව රුපියල් 200 ක් දමලා බැංකුවට දමලා බැංකුවෙන් ලැබෙන අවුරුදු තෑග්ග ගෙදර ගෙනත් තියන්න අම්මේ කියලා දුව ඉස්කෝලේ ගියේ. කවුද දන්නේ මේ මගේ දුව අද යන්නේ අවසන් ගමන බව. මෙහෙම දෙයක් වෙනවා කියලා හීනෙන් හරි දැක්කා නම් මම දුවට ඉස්කෝලේ යන්න දෙන්නේ නෑ. දුව මේ දවස් ටිකේම තාත්තට කෝල් කරලා කිව්වා අනේ තාත්තේ වෙසක් එකට කොහොම හරි ගෙදර එන්නකෝ කියලා. නිවාඩුවට ඇළේ නාන්න යමු කිව්වා. මගෙත් එක්කත් දුව නිතර රණ්ඩු වුණා ඇළට නාන්න යමු කියලා. දුව ඇළේ නාන්න ගියාම ලේසියෙන් ගොඩට ගන්න බැරි නිසා මම කිව්වා පුතේ තාත්තා ආවම නාන්න ඇළේ යමු කියලා. දැන් කා එක්කද නාන්න ඇළට යන්නේ.“ යැයි කියමින් මියගිය දැරියගේ මව විලාප දෙන්නට වුවාය.
අසිනි සත්සරණි දියණියගේ අකල් වියෝව දරාගත නොහැකිව ඇයගේ මව තබන විලාපයට මළගමට ආ ගිය සියලු දෙනා මළගෙදරින් පිටව ගියේ නෙතගින් රුරා වැටෙන කඳුළු බිදු පිසදමමිනි.
කෙසේ වෙතත් අප කළ සොයාබැලීමකදී තවදුරටත් අනාවරණය වූයේ අනතුර සිදුකළ ගුරුවරයා ඔහු විසින් පවත්වන උපකාරක පන්තියකට සහභාගී වීමට යාම ප්‍රමාද වීම හේතුවෙන් රථය වේගයෙන් ධාවනය කර ඇති බවයි. කෙසේ වෙතත් අනතුර සිදුකළ ගුරුවරයා සම්බන්ධයෙන් හෝ අනතුර සම්බන්ධයෙන් කිසිවකුත් කිසිවක් මාධ්‍ය වෙත ප්‍රකාශ නොකරන්නේ ප්‍රදේශයේ දරුවන් රැසක්ම ඔහුගේ උපකාරක පන්ති සඳහා සහභාගි වන නිසාවෙනි.
සූරියවැව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත සම්පත් ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි සූරියවැව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සෝමසිරි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වයි.
►සටහන හා සේයාරූ - සූරියවැව නුවන් ජයසේකර