2018 මැයි 12 වන සෙනසුරාදා

සිරුර රීකන්ඩිෂන් කරන ඇඹරැල්ලා

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 286

ලොකු කුඩා කොයි කවුරුත් ආහාරයට ගන්න කැමැති ඇඹරැල්ලා ගෝල්ඩන් ඇපල් ලෙසද හැඳින්වේ. ස්පොන්ඩියස් ඩල්කස් (Spondias Dulcus) ලෙසින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන ඇඹරුල්ලාවල කොළ සහ කෙඳි විවිධ රෝගාබාධ සඳහා ඖෂධයක් ලෙසින්ද යොදාගැනේ. පොදුවේ ගත්කළ ඇඹරැල්ලා ඉතා ගුණවත් පළතුරක් මෙන්ම රසවත් ව්‍යාංජනයක් ලෙසින්ද පෝෂණයෙන්ද සපිරි ආහාරයකි.

ඇඹරැල්ලාවල පොතුවල සහ කොළවල සැපොතීන් සහ ටැනීන් අඩංගු වේ.

ඇඹරැල්ලා ගෙඩියක ඇති පෝෂණ ගුණය:

ප්‍රෝටීන් ග්‍රෑම් 1, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 12, විටමින් සී මිලි ග්‍රෑම් 30, කැල්සියම් මිලි ග්‍රෑම් 15, යකඩ ග්‍රෑම් 3, පොස්පරස් ග්‍රෑම් 22 අඩංගු වේ. එමෙන්ම විටමින් බී, කෙඳි, තයමින්, රයිබොප්ලේමින්, විටමින්, ඛණිජ ලවණ අන්තර්ගත වේ. ඇඹරුල්ලාවල බැක්ටීරියා නාශක ගුණයක් මෙන්ම ශරීරයේ ඇති විෂ ඉවත් කිරීමේ ගුණයක් පවතී. එමෙන්ම රැධිර නාළවල රැධිර කැටි දිය කිරීමේ මෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණයක් පවතී. ඇඹරුල්ලාවල තිත්ත මෙන්ම මධුර රසයද අඩංගු වේ. විටමින් සී බහුලව පවතින පළතුරක් නිසා ප්‍රතිශක්ති පද්ධතිය දියුණු කෙරේ. මේ නිසා මෙය කුඩා දරුවන්ට ඉතා ගුණදායක වේ.

පොත්ත ඉවත්කර අඩුවෙන් කෑමට ගත හැකි අතර මෙය පානයක් ලෙසින්ද ගත හැකි ඉතා ගුණදායක පළතුරකි. චර්ම රෝග සඳහා ඉතා ගුණදායක පළතුරක් වන මෙය ශරීරයේ පටක අලුත්වැඩියාවටද කොලජන් නිපදවීම වැඩි කිරීමටද, සම පැහැපත් කිරීමටද ඉතා ගුණදායක වේ. ඇඹරුල්ලා කොළ තම්බාගත් වතුර මොයිස්චරයිස් සහ ලෝෂන් එකක් ලෙස සමේ ආලේප කිරීමටද පුළුවනි. මළබද්ධයට හා අර්ශස්වලට ඉතා ගුණදායක පළතුරක් ලෙසින් මෙය හැඳින්විය හැක.

මෙහි ජලයද සාමාන්‍ය ප්‍රමාණයක් අන්තර්ගතව පවතී. තරබාරැව පාලනය කරගත හැකි ඉතා පෝෂ්‍යදායී ආහාරයක් ලෙසින් මෙය හැඳින්විය හැක. අධි රුධිර පීඩනය අඩුකළ හැකි ගුණයක් ඇඹරැල්ලාවල ඇති බව කරනු ලබන පරීක්ෂණවලින් සනාථ වී ඇත. හෘද රෝගීන්ට ඉතා ගුණදායක වන අතර ප්‍රතිඔක්සිකාරකය හේතුවෙන් පිළිකා රෝගීන්ටද ඉතා ගුණදායක වේ.

යකඩ යම් සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගතව පවතින නිසා කුඩා දරුවන්ට, ගැබිණි මාතාවන්ට ඉතා ගුණදායක වේ. කැල්සියම් සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගතව ඇති හෙයින් සන්ධි රෝග ඇති අයට ආර්තවහරණයෙන් පසුව සන්ධිවල ඇතිවන රෝග තත්ත්වයන් සඳහා ඉතා ගුණදායක වේ.

ඇඹරුල්ලාවල ඇති තිත්ත, කසට රස නිසා අඩංගු සීනි, පිෂ්ඨය අඩු නිසාත් කෙඳි අධික නිසාත් දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායක වේ. විටමින් ඒ වැඩිපුර අන්තර්ගතව පැවතීම හේතුවෙන් සම, ඇස් සහ කෙස්වලට ඉතා ගුණදායක වේ.

ඇඹරැල්ලාවල පවතින පෝෂණ තත්ත්වය හේතුවෙන් වයසට යාම වැළැක්වීමේ ගුණයක් පවතී. කාන්තාවන්ගේ ගර්භාෂයේ ඇතිවන ගර්භාෂ බිත්ති අනවශ්‍ය ලෙස ඝනකම් වීම, එන්ඩ්‍රොමෙට්‍රියෝසිස් සඳහාද ශරීරයේ විවිධ වේදනා සඳහාද ආහාර උත්තේජනයක් ලෙස වැදගත් වේ. පිළිකා නැසීමේ ගුණයක්ද පවතින ඇඹරුල්ලා මානසික ආතතියටද, ඇසේ සුද ඇතිවීම වැළැක්වීමටද ඉතා ගුණදායක පළතුරක් ලෙසින් හැඳින්විය හැක.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00