මහාචාර්ය සුනිල් ආරියරත්නගේ බිම්බාදේවි හෙවත් යශෝධරා ඓතිහාසික බෞද්ධ කතා තේමාව රැගත් චිත්‍රපටය මේ දිනවල තිරගත වේ. වෙසක් සමයේ තිරගතවීම ඇරඹුණු යශෝධරා චිත්‍රපටයට සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබීම සතුටට කරුණකි. නමුත් එය සිනමාත්මක කෘතියක්ද යන්න විචාරකයෝ ප්‍රශ්න කරති. මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ චිත්‍රපට රාශිය අතර කුසපබා, පත්තිනි, යශෝධරා, ක්‍රිස්තු චරිතය ආදී ඓතිහාසික කතා පුවත් හමුවේ. ඔහු ජනමාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණේ කලාත්මක චිත්‍රපට නිර්මාණය කිරීම සියදිවි නසාගැනීමක් බවත්, ඒ නිසා එවැනි නිර්මාණ තමන් අතින් ඉදිරියේදී බිහිනොවනු ඇති බවත්ය.
මහාචාර්ය ආරියරත්නගේ කුසපබා සහ පත්තිනි යන චිත්‍රපටද සාර්ථකව තිරගත වුවද ඒවා වාණිජමය සිනමා කෘති පමණි. අපට පෙනෙන්නේ සිරිබෝ අයියා, සරුංගලේ වැනි අපූරු කලාත්මක චිත්‍රපට කළුසුදු වර්ණයෙන් තැනූ මහාචාර්යවරයාද වර්ණවත් රජකතා රැල්ලට යටවී ඇති බවයි. ඔහුගේ ඉදිරි සිනමා නිර්මාණය ඩබ්ලිව්.ඒ. සිල්වාගේ විජයබාකොල්ලය ආශ්‍රයෙන් තැනෙන බව ආරංචිය.
කාලයක් කාමකතා රැල්ලට බිලිවී පැවති සිංහල සිනමාව ඊටපසු රජකතා රැල්ලකට යටවිය. නමුත් මේ කිසිම ඓතිහාසික චිත්‍රපටයක් ප්‍රේක්ෂකයාට සිනමාත්මක අත්දැකීමක් ලබාදෙනු වෙනුවට තාක්ෂණික දුර්වලතා රුසකින් පිරැණු නිෂ්පාදන බවයි අපට නම් පෙනෙන්නේ.
මෑතකදී රජකතා රැල්ල ආරම්භ වූයේ 2009 දී තිරගතවූ ජැක්සන් ඇන්තනීගේ අබා චිත්‍රපටයෙන් පසුවය. අබා ඒ වනවිට සිංහල සිනමාවේ වැඩිම පිරිවැයක් දරා තැනූ චිත්‍රපටය විය. පණ්ඩුකාභය කුමරැගේ ළමාවිය පිළිබඳව තැනූ අබා විශාල ආදායමක් ඉපයීමට සමත් විය. එම චිත්‍රපටයද විචාරක ඇගැයීමට ලක්නොවූවද විශාල ප්‍රේක්ෂක ආකර්ශනයක් හිමිවිය. සජිත අනුත්තර, මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රියන්ත මෙන්ඩිස්, සෞම්‍ය ලියනගේ ආදී විශාල පිරිසක් එහි රඟපෑහ.
කරන්නන් වාලේ චිත්‍රපට තනන අපේ අනුකරණවාදී අධ්‍යක්ෂවරැ ඊටපසු රජකතා, බෞද්ධ කතා තිරගත කිරීමට කඩිමුඩියේ උත්සාහ කළහ. අබා ශිල්පීය පක්ෂය අතින් ඉහළ මට්ටමක පැවතියද ඊටපසු එළිදුටු සමහර රජකතා බාල නිෂ්පාදන විය.
සනත් අබේසේකර තැනූ මහින්දාගමනය ආදායම් වාර්තා තැබුවත් එය ඉතා දුර්වල චිත්‍රපටයක් විය. දැවැන්ත සිනමා කෘතියක් බව හා එයට රැපියල් කෝටි ගණනක් වැයවූ බව පැවසුණද ඒ කිසිදු ප්‍රකාශයක් චිත්‍රපටය තුළින් තහවුරු නොවේ. ඓතිහාසික පුරාවෘත්තයේ කරැණු ගැලපීමේ දුර්වලතා, දර්ශන පසුතලවල දුර්වලතා, තාක්ෂණික දුර්වලතා, රංගනයේ දුර්වලතා රුසක් එහි ඇතුළත් විය. නමුත් බෞද්ධ උපාසක උපාසිකාවෝ සාධුනාද දෙමින් එය නැරඹීමට පැමිණියහ.
ඊටපසු සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරන්නේ සිරිදළදාගමනයයි. එහිද ඓතිහාසික ජවනිකා මැවීමේදී දුර්වලතා රැසක් දැකගත හැකි විය. නමුත් දළදාගමනයද විශාල ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ චිත්‍රපටයකි. සනත් අබේසේකරගේ ඊළඟ සිනමා කෘතිය මහරජ අජාසත් 2015 දී තිරගත කෙරිණි. එය සිනමාත්මක අතින් මෙන්ම තාක්ෂණික පැත්තෙන්ද දුර්වල විය. ඔහුගේ මහින්දාගමනයට තරම් ප්‍රේක්ෂක ආකර්ශනයක්ද අජාසත් චිත්‍රපටයට හිමිනොවීය. අජාසත් කතාව 1980 දශකයේ ද චිත්‍රපටයක් ලෙස පැමිණි අතර, එවකට එය ආදායම් වාර්තා තබමින් තිරගත විය. සනත් අබේසේකර චිත්‍රපට තනන්නේ සිනමාව දෙස බලා නොව, උපාසකම්මලා දෙස බලා බව ඒවා නරඹනවිට පෙනේ.
ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය කළ මහරජ ගැමුණු ඓතිහාසික කතාපුවත රුගත් චිත්‍රපටයද ඔහුගේ චිත්‍රපට අතර (අග්නිදාහය, සමනළ සංධ්වනිය) දුර්වල නිර්මාණයකි. ගැමුණු රජුගේ චරිතය සිනමාවේ නිර්මාණය කිරීමේදී මහා පෞරුෂයකින් යුක්තව ඉදිරිපත් නොවේ. නමුත් ඔහු අපූරැ තිරරචනයක් ඔස්සේ එළාර රජුගේ දියණිය තුළ ගැමුණු කුමරු කෙරෙහි හටගත් අප්‍රකාශිත ප්‍රේමයක් පිළිබඳව ඉඟිකරයි. මහරජ ගැමුණු සඳහා උපයෝගී කරගත් පරිගණක සජීවීකරණ අවස්ථාද දුර්වලතා සහිතය.
ඉතිහාසයේ සඳහන් විචිත්‍ර රජ චරිතයක් වන වළගම්බා පුවත ආශ්‍රයෙන් චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ ආලෝකෝ උදපාදි^ දුර්වල තිරරචනයක් මත පදනම් වූ චිත්‍රපටයකි. තිරරචනයේ අවුල්සහගත බව නිසා සිනමා කෘතියේද ගලායාමට බාධා පැමිණ තිබේ. එය ප්‍රේක්ෂකයන්ගේ ආකර්ශනයටද ලක්නොවීය.
පසුගියදා තිරගත කළ කාල සුජීව ගුණරත්නගේ චිත්‍රපටයකි. එහි ඇතුළත් වන්නේ ධාතුසේන රජසමයේ කලාවැව තැනීම පිළිබඳව සඳහන් ජනකතාව චිත්‍රපටයට යොදාගැනීමකි. අධ්‍යක්ෂවරයා නාට්‍යමය අවස්ථාවන් සහිත තේමාවක් යොදාගත්තද එය සිනමාවට නැගීමේදී දැක්වූ අඩුපාඩු රුසකි. කාලද ඉතා අඩු ප්‍රේක්ෂක ආකර්ශනයට ලක්වූ චිත්‍රපටයකි. කෙටි කලකින්ම චිත්‍රපටය සිනමාශාලාවලින් ගැලවී ගියේය. මේ අනුව පෙනෙන්නේ රජකතා හැදීමට ගොස් සමහර අධ්‍යක්ෂවරුන්ට පාර වැරදුණු බවය.
ලංකාවේ මුල්ම ඓතිහාසික කතාපුවත් චිත්‍රපටය වන්නේ 1947 අප්‍රේල් 30දා තිරගතවීම ඇරඹුණු ශාන්ති කුමාර් අධ්‍යක්ෂණය කළ අශෝකමාලාය. ඊටපසු 1959 දී ඩබ්ලිව්.ඒ. සිල්වාගේ දෛවයෝගය නවකතාව ඇසුරින් කේ. ඕජා දෛවයෝගය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. දෛවයෝගය චිත්‍රපටය විශාල ආදායමක් ඉපයීමට සමත්වූ අතර එහි රුක්මනී දේවි, මොහිදින් බෙග් ගැයූ ගීත අදටත් ජනප්‍රියව පවතී. (ආදරයයි, කරුණාවයි/ හද ගිලෙයි අම මිහිරේ/ ආදරයේ රුචිරාණනියේ). සිනමා ගීත සාහිත්‍යය පොහොසත් කිරීමට දෛවයෝගය විශාල වශයෙන් දායක විය.
එතෙක් මෙතෙක් තැනූ ඓතිහාසික කතා අතරින් වැඩිම විචාරක ප්‍රසාදය දිනාගත්තේ 1960 මාර්තු 30දා තිරගතවූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දෙවැනි චිත්‍රපටය වූ සංදේශයයි. එය නිෂ්පාදනය කළේ සිනමාස් සමාගම වෙනුවෙන් කේ. ගුණරත්නම්ය. මෙරට ජනප්‍රිය සිනමාව උපත ලබන්නේ සංදේශය චිත්‍රපටයෙන් බව විචාරක පිළිගැනීමයි. ජීවරාණි කුරුකුලසූරිය, කාන්ති ගුණතුංග, ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා එහි නළු නිළි කිහිපදෙනෙකි. කැමරාව විලී බ්ලේක්ගෙනි. පෘතුගීසීන්ට එරෙහිව සටන් වදින සිංහල කැරැලිකරුවන් කණ්ඩායමකගේ වීරක්‍රියා ඇතුළත් සංදේශය ජාතික නිදහස පිළිබඳ පණිවුඩය රටවැසියන්ට ලබාදේ. මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ ගැඹුරු යටිඅරැත් සම්පාදනය නොකළද සිනමාරූපී බව ආරක්ෂා කර ගැනීම සංදේශයේ ප්‍රධාන ලක්ෂණයයි. එතෙක් මෙතෙක් ජනප්‍රිය චිත්‍රපටයක දැකිය හැකි අපූරුතම රූප සමුච්චය මෙහි එන බව විචාරක ගාමිණී වේරගම සඳහන් කරයි. (දේශීය සිනමා වංශය 1). මෙම චිත්‍රපටයට විචාරක ප්‍රසාදය ලැබුණු අතර විශාල ආදායමක්ද ඉපයීමට සමත් විය. සංදේශයට සුනිල් ශාන්ත නිර්මාණය කළ ගීතනු අදටත් ජනප්‍රියය. එතෙක් වැඩිම වියදමක් දරා නිපදවූ චිත්‍රපටය වූ එයට වැයවූ මුදල රුපියල් ලක්ෂ පහකට අධික බව සඳහන්ය. එය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවලට ඉදිරිපත්වූ දෙවැනි සිංහල චිත්‍රපටය විය. ලංකා චිත්‍රපට විචාරක හා ලේඛක සංගමය 1972 දී එතෙක් නිර්මාණය කළ හොඳම චිත්‍රපට 10 විචාරක ඡන්දයෙන් තේරීමේදී සංදේශය 8 වැනි ස්ථානය දිනාගත්තේය. අද වනවිට සංදේශය චිත්‍රපටයේ පිටපතක් පවා මෙරට නැතිබව පැවසේ.
මේ වනවිට සංදේශය තිරගතවී අවුරුදු 58 ක් ගතවී තිබේ. නමුත් අධ්‍යක්ෂවරැ කිසිවකුට සංදේශයෙන් එහාට යා හැකි ඓතිහාසික චිත්‍රපටයක් තැනීමට හැකිවී නැත. අද බිහිවන සමහර ඓතිහාසික චිත්‍රපටවල ඇත්තේ කැමරා හරඹ හා දුර්වල සජීවීකරණ පමණි. නළු නිළියන් තෝරාගැනීම හා පසුතල දර්ශන කෙරෙහි බොහෝ අධ්‍යක්ෂවරැ උනන්දු නොවන බව නිර්මාණ නැරඹීමේදී පෙනේ. නැත්නම් විශාල වියදම් දරා තනන බව පවසන ඉතිහාස පුවත් සහිත චිත්‍රපට සතියෙන් දෙකෙන් සිනමාශාලාවලින් ගැලවෙන්නේ ඇයි?
එහෙත් ලෝක සිනමාව දෙස බැලීමේදී ඓතිහාසික පුවත් ආශ්‍රයෙන් විශිෂ්ට මට්ටමේ චිත්‍රපට රාශියක් බිහිවී තිබෙන අතර අදටත් ඒවා ගැන සාකච්ඡා කෙරේ. බෙන්හර්, ස්පාටකස්, ටෙන් කමාන්ඩ්මන්ට්ස්, ඇනා ඇන්ඩ් ද කිං ඒ අතරින් කිහිපයක් පමණි.
කුසුම්සිරි