2018 මැයි 12 වන සෙනසුරාදා

දන්සල් වන්දනාව

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 263

ගමේ එක්සත් තරුණ කැළ විසින් සංවිධානය කරන ලද මහා ෆ්‍රයිඩ් රයිස් දන්සල අතිශය සාර්ථකත්වයට පත්වීම සම්බන්ධයෙන් අපගේ කාර්යාලයේ කාර්ය සහායක පුණ්‍යසේන මහත් සතුටට පත්ව සිටියේය.

“කොහොමද දන්සලින් ලාබද?”

මම විහිළුවට මෙන් ඇසුවෙමි.

“ඇත්තෙන්ම ලාබයි සර්.”

පුණ්‍යසේන පිළිතුරු දුන්නේය.

“දන්සල්වලින් ලාබත් තියෙනවාද?”

මම විමසුවෙමි.

“ඒත වුණේ මෙහෙමයි සර්, අපි කොල්ලෝ සෙට්එක එකතු කරපු සල්ලිවලින් බඩුමුට්ටු ගත්තා. හට් එක ගැහුවා. දන්සල විවෘත කරන්න ආපු මහත්තුරුත් එන්ලොප්වල දාලා සල්ලි දීලා ගියානේ. ආං ඒක තමයි ලාබේ.”
“ඉතින් ඒවට මොකද කළේ. සංගමේ එකවුන්ට් එකට දැම්මද?”

“අපිට කොහෙද සර් එකවුන්ට්? එක්සත් තරුණ කැළ එකතු වෙන්නෙ වෙසක් එකට විතරයිනෙ. ලාබෙන් අපි පොඩි පාටියක් දැම්මා. මහන්සි වුණු කට්ටියට... බැලන්ස් එක තියාගත්තා පොසොන් එකට අනුරාධපුරේ යන්න.”
පුණ්‍යසේන ඇත්තම කීවේය. දන්සැලක් පවත්වා ලාබයක් ලැබීම ද පිනක් පලදීමක් බඳුය.

කොතරම් ආර්ථික ප්‍රශ්න තිබුණත් සිරි ලංකාවේ මිනිසුන් පුදුමාකාර ලෙස නිර්ලෝභීය, නොමසුරැය. රට තුළ පැවැත්වෙන වෙසක්, පොසොන් දන්සල් සංඛ්‍යාවම ඊට හොඳ උදාහරණයකි. බිම්මල් මතුවන්නා සේ එක රැයෙන් බිහිවන දන්සල් මේ රටේ තරුණයින්ගේ සංවිධාන ශක්තිය ද ලොවට කියාපායි.

දන්සල් අතරින් ප්‍රධාන වන්නේ බත් දන්සලය. එහෙත් අමුතු අමුතු දන්සල්ද තැන තැන පැවැත්වෙයි. මෙවර එසේ අසන්නට ලැබුණු දන්සලකින් බෙදාදුන්නේ සල්ලිය. ඒ සල්ලි දන්සලේ පෝලිම් ගැසී ගියවුනට රුපියල් සීය බැගින් ලැබුණි.
ලංකාවේ හැම දන්සලක්ම වගේ “මහා” දන්සලය. පහත දැක්වෙන්නේ ඒ අතරින් කීපයකි.

මහා නූඩ්ල්ස් දන්සල

මහා යෝගට් දන්සල

මහා කිරිපැණි දන්සල

මහා කඩල දන්සල

මහා අයිස්ක්‍රීම් දන්සල

මහා කූල් ඩ්‍රින්ක්ස් දන්සල

මහා කොළකැඳ දන්සල

මහා මඤ්ඤොක්කා දන්සල

මහා රොටී දන්සල 

මහා කිරිකෝපි දන්සල

මහා සීනිසම්බල් පාන් දන්සල

මහා හැලප දන්සල

පොඩිපහේ දන්සල් නැත. සියල්ලම “මහා”ය. වෙසක් නාම පුවරු සහිත දන්සැල් ද ඇත. “ශ්‍රී සංඝරාජ අනුස්මරණ මහා ෆෘට් සැලඩ් දන්සල” සහ තුන්මෝල් හන්දියේ ත්‍රිරෝද රථ රියදුරන් පහළොස්වෙනි වතාවටත් පැවැත් වූ මහා සව් දන්සල ඊට නිදසුන්ය. දන්සල්වලට පී.එච්.අයි. නොහොත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කඩා පැනීම් සිදුවන්නට වූයේ මෑතක සිටිය. ඒ නිසා දැන් ඉස්සර වාගේ දන්සල් කෑමෙන් පසු සෞඛ්‍ය ප්‍රශ්න මතුවෙනවාද අඩුය.

“හයිෆයි” නෝනා මහත්වරු දන්සලට ගොස් කෑමට මැලි වෙති. එහෙත් දන්සලින් කෑමට ද ආශා කරති. ඔවුන් වෙනුවෙන් දන්සල් පෝලිමට යන්නේ සර්වන්ට්ලාය. ඔවුහු තමන්ගේ නෝනලා, මැඩම්ලා වෙනුවෙන් “ටේක්අවේ” දන්සල් පැකට්ස් රැගෙන එති.

මෑතකදී රූපවාහිනි වැඩසටහනකට පැමිණි ප්‍රවීණ විකට නළු බන්දු සමරසිංහ දන්සලකට “හසුවීමක්” ගැන රසවත් කතාවක් කීවේය. බන්දු යමින් සිටින්නේ හදිසි ගමනකි. බෞද්ධ කොඩි ඔසවා ගත් පිරිසක් රථය ඉදිරියට පැන එය නවත්වා ඔහුට සරුවත් එකක් බොන ලෙස බල කරති. “මල්ලී මම හදිස්සි ගමනක් යන්නෙ. සරුවත් එපා.”

බන්දු එය ප්‍රතික්ෂේප කරයි. එහෙත් ඔහුට ගැලවීමක් නැත. සරැවත් දන්සලේ ප්‍රධාන සංවිධායකයා පළාතේ නම ගිය “අයියා” කෙනෙකි. ඔහු පැමිණ බන්දුට බලහත්කාරයෙන්ම සරුවත් පොවයි! ඔහුගේ සීනි තත්ත්වය.“ කෙසේ දැයි අපි නොදනිමු. සමහරු නම් වෙසක් දවසට පාරට බසින්නේම දන්සල් යාමේ බලාපොරොත්තුවෙනි. එයට භාවිතා වන්නේ “දන්සල් වන්දනාව” නමැති යෙදුමය.

සෑම දන්සලකම මොහිදීන් බෙග් ද සිටී. උදේ සිට මහ රෑ වනතුරුම “බුද්ධං සරණං ගච්චාමි.”, එසේ නැත්නම් “මිනිසාමයි ලොව දෙවියන් වන්නේය” මෙම දන්සල් ඝෝෂාව නිසා අහළ පහළ උදවියට වෙසක් දවසේවත් නිවනක් නැත. මෙම හිරිහැරය නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමඟ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් ද දන්සල් පරීක්ෂාවට එන්නේ නම් හොඳය.

දන්සල් මාලාවට අලුතින්ම එක්වූයේ වට්ටක්කා දන්සලය. ප්‍රකට වෙළෙඳ ආයතනයක් ද තම පාරිභෝගිකයන්ට නොමිලේ වට්ටක්කා පලුවක් ද ලබාදීමට කටයුතු කරයි. දන්සල් දීමට තරම් වට්ටක්කා පලදාවක් ලැබූ ගොවීන්ට ද ඉන් ලැබුණේ අස්වැසිල්ලකි. එහෙත් වට්ටක්කා පමණක් නොව තව තවත් එළවළු වර්ග ද සෑම වසරකට එක් එක් කාලවලදී අපතේ යන බව රහසක් නොවේ. එය එසේ වන්නේ මහජන මුදලින් යැපෙන කෘෂිකර්ම ආයතනවල සම්ප්කින් ස්පෙෂලිස්ට්ස්ලා හෝ “වෙජිටබල් ඇඩ්වයිසර්ස්ලා” නොමැති නිසා දැයි නොදනිමු. කෙසේ වෙතත් මේ කාලේ ජීවන වියදමේ හැටියට ජනතාව වට්ටක්කා පලුවක් හෝ නොමිලේ ලැබීම නම් ලොකු දෙයකි.

ලංකාවේ දන්සල් දෙන්නේ වෙසක්, පොසොන් කාලයන්හිදි පමණක්ම නොවේ. ඡන්ද කාලවලදී ද විවිධ දන්දීම් සිදුකෙරේ. අරක්කු බෝතලයේ සිට සිල්රෙද්ද දක්වාම භාණ්ඩ ඒ අතරට එක්වේ.

ජනාධිපති මන්දිරය ද දන්සල් සඳහා ප්‍රසිද්ධය. අපේ රටේ සුපිරි දන්සල ඇත්තේ පාර්ලිමේන්තුවේ යැයි ද කතාවක් ඇත. දිවා රූ නොබලා රටට වැඩ කරන මැති ඇමැතිවරුන් කාගේ සල්ලිවලින් හෝ රාජ භෝජන වැළඳුවාට අපගේ නම් විරෝධයක් නැත. ඔවුන්ගේ පුෂ්ටිමත් තරබාරු සිරුරු නොකානොබී වැහැරී ගියහොත් එය රටට මහත් විපතකි. කැළලකි. බදු පිට බදු ගසා හෝ ඒ උත්තමයින් කා බී සතුටින් සිටිය යුතුය. එහෙයින් ඒ ඒ දන්සල්වල බරත් ජනතාව මත පැටවුණාට කම් නැත.
ජනාධිපතිතුමා විශ්‍රාම නොගෙන දිගටම වැඩ කරන්නට යන පුවත ආරංචි වූයේ ඊයේ පෙරේදාය. ඒ ඇසු අප මිතුරෙක් මෙසේ කියනු මට ඇසුණි.

“දන්සල් බත් රස වැටුණම කෙසෙල් කොළේ බත් එක එපා වෙන එක පුදුමයක් නොවෙයි.!”

► කපිල කුමාර කාලිංග

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00