2018 මැයි 12 වන සෙනසුරාදා

අනියම් බිරියගේ නිවසේදී පොලීසියෙන් වෙඩි කෑ පාතාලයා

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 268

මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා හා නඩු රාශියකි. ඉකුත් 5 වැනිදා තෙක්ම පෑලියගොඩ ප්‍රදේශයේ අයිස්, මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානියා ඔහු විය. ආරක්ෂක අංශවලට කට්ටි පැන සිටියදී අත්අඩංගුවට ගිය නිලධාරීන්ට වෙඩිතබා පළායන්නට උත්සාහ කරද්දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය දිලීප රෝහණ රුද්‍රිගු හෙවත් “දිලීප” පාතාල නායකයන්ගේ මැරුණු ලැයිස්තුවට ගිය අලුත්ම පුද්ගලයාය.

දිලීප පෑලියගොඩ පාතාලයේ නමගිය නායකයෙක්ව සිටි ඩී. මංජු නැමැත්තාගේ ප්‍රධාන ගෝලයාය. ඔහුගේ සමීපතම හිතවතා වශයෙන් දිලීප මනුෂ්‍ය ඝාතන හා හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රුසකට සම්බන්ධ වූවෙකි. කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් වූ සමෙල් සඳරුවන් මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට මංජු නැමැත්තා සමඟ සහායට ගොස් තිබුණේ දිලීපය. ඊට චෝදනා ලද දිලීප ඇප මත රැඳී සිටියදී ඔහුගේ ළඟම හිතවතා ඩී. මංජු වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමඟ ගැටුමක් ඇති කරගෙන වෙඩි කා මියගොස් තිබුණේ මීට මාස කිහිපයකට ඉහතදීය. ඉන්පසුව දින ගණනාවකට ඉහතදී වත්තප ප්‍රදේශයේදීම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් සංවිධානාත්මක අපරාධ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට යාමේදී එම නිලධාරීන්ට අපරාධ කල්ලියේ සාමාජිකයන් විසින් පහරදී පලාගොස් තිබූ අතර නිලධාරීන් දෙදෙනෙක් ඉන් තුවාල ලැබූහ. පසුව වාර්තා වූයේ එම පහරදීම සිදුකර තිබුණේද දිලීප රෝහණ රුද්‍රිගු නැමැත්තා ඇතුළු පිරිසක් බවටය.

විමර්ශන වලින් අනාවරණය වී තිබූ මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් හා පහරදීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් සැකකරුවකු වූ දිලීප පොලීසිය හා අධිකරණය මගහරිමින් සිටියේ කලක සිටය. එබැවින් පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සැකකාර දිලීප අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියේය. මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානය වෙත තොරතුරක් ලැබී තිබුණේ සැකකාර දිලීප නැමැත්තා මහනුවර ප්‍රදේශයේ සැඟවී සිටින බවටය.

වහා ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් කොළඹ සිට මහනුවර බලා පිටත්ව තිබුණේ දින කීපයකට ඉහතදීය. අනතුරුව තොරතුරුකරුගේ විස්තර අනුව ඔවුන් මහනුවරට ආසන්න කටුගස්තොට, තැන්නකුඹුර වැනි ස්ථාන කීපයක රහසිගතව රැඳී සිටියේ සැකකරැ අත්අඩංගුවට ගැනීම සඳහාය. වරින් වර එවැනි ස්ථාන ගණනාවක දින කිහිපයක් ගත කළ නිලධාරීන්ට නියමිත අවස්ථාවක් උදාවූයේ නැත. මෙහිදී යළිත් කොළඹ බලා ගිය පොලිස් විශේෂ කාර්ය බළකා පිරිසේ අණදෙන නිලධාරීවරයාට යළිත් ඔත්තුකරු තොරතුරක් ලබා දුන්නේය. ඉන් කියා තිබුණේ තැන්නකුඹුර පසුකර හඟුරන්කෙත මාර්ගයේ කිලෝමීටර් කීපයක් එන ලෙසටය. එහිදී හමුවන ජලාශ පාරේ වම්පසට ගිය විට පාතමයිලපිටියේ පිහිටි නිවසක සැකකරු රැඳී සිටින බවට ඔහු ස්ථීරවම දන්වා සිටියේය. 

නැවත වරක් පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමේ නිලධාරීන් පිරිස මහනුවර තලාතුඔය පොලිස් බල ප්‍රදේශයේ පාතමයිලපිටිය ප්‍රදේශය බලා ගමන් ගත්තේ ඉන්පසුවය. මේ අතරතුර වැටලීමක් සඳහා පිරිසක් පැමිණෙමින් සිටින බවට විශේෂ බලකා කණ්ඩායම තලාතුඔය පොලීසියට දන්වා සිටියේය. මේ අතර ඉතා සීරුවට ආරක්ෂිත උපක්‍රම භාවිතා කරමින් භට පිරිස අදාළ ගම්මානයට ගොස් සූක්ෂම ලෙස සැකකරු රැඳී සිටින බවට තොරතුරු ලැබුණු නිවස වැටලූහ.

කෙදිනක හෝ තමා නීතියේ රැහැනට හසුවනු ඇතැයි නිතරම සැකයෙන් උන් දිලීප නිවසෙන් පිටත මිදුලේ කතා කරන්නේ කවුදැයි බැලීමට පිටතට පැමිණියේ නැත. ඒ සඳහා පිටතට ආවේ කාන්තාවකි. ඇගේ කතාවට සවන් දී සිටි දිලීපට කළ හැක්කක් නොවීය. වචන එක දෙක ඇහෙන විට ඔහු තේරුම් ගත්තේ තමාත් නිවසත් එස්.ටී.එෆ්. විසින් වටකර අවසන් බවය.

පළා යන්නට ක්‍රමයක් නොවුණු ඔහු තමා ළඟ තිබූ පිස්තෝලය අතැතිව ඉදිරියට ආවේ හැකි පමණ පැමිණියවුන්ට ප්‍රහාරයක්  එල්ලකර පලා යන්නටය. ඔහු ක්‍රියාත්මකව ක්ෂණිකව වෙඩි තැබුවද එසැණින් ඉස්සර වූ විශේෂ කාර්ය බලකා නිලධාරියකුගේ වෙඩි පහරක් දිලීප අඩපණ කරන්නට සමත් වූවේය. එසේ වෙඩි පහර වැදී තුවාල ලබා වැටුණු දිලීප ඒ මොහොතේම රෝහල් ගත කරන්නට නිලධාරීන් පිරිස ක්‍රියාකළ අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය. සැකකරු විශේෂ කාර්ය බලකා සෙබළුන්ට වෙඩි තබා තිබුණේ මිලිමීටර් 9 වර්ගයේ අවියකිනි.

නිලධාරීහු එම අවියද අත්අඩංගුවට ගත්හ. සැකකරු වත්තල, හේකිත්ත, කන්දෙවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විවාහකයකු වන ඔහු පාතමයිලපිටිය ප්‍රදේශයේ සැඟවී සිට ඇත්තේ විවාහක කාන්තාවක් වූ අනියම් බිරියගේ නිවසේය. එම නිවස පෙර කී කාන්තාවගේ සහෝදරයකුට අයත් එකකි. එම කාන්තාව කුඩා කාලයේදී ඇගේ පියා මියගොස් ඇති අතර අම්මා වෙනත් විවාහයක් කරගෙන ඇතැයිද වාර්තා විය. සැකකරුගේ ආරක්ෂාව සඳහා ඔහු පිළිබඳ තොරතුරු පිටතට නොයන ලෙස රැක ගැනීමට නිවසේ මෙහෙකරුවන් පවා ගෙන්වාගෙන තිබුණේ වත්තල ප්‍රදේශයෙනි.

මියගිය සැකකාර පාතාල නායකයාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පසුව දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිය කැඳවා ඇය හා පවුලේ ඥාතීන් වෙත බාරදීමට තලාතුඔය පොලීසියේ නිලධාරීහු කටයුතු කළෝය.

තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිශාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේකෝන් පොලිස් පරීක්ෂක සමන් කුමාර, උප පොලිස් පරීක්ෂක තුෂාර හා ප්‍රියන්ත පොලිස් කොස්තාපල්  32135 සමරකෝන්, 21631 පුංචිරත්න යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

► විල්තෙර