2018 මැයි 12 වන සෙනසුරාදා

පුරාවිද්‍යා පනතට පස්ස හැරවූ විජිතපුර විනාශය

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 360

අනුරාධපුර කලාවැවට යාබදව පිහිටි ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විහාරාරාමවල නටබුන්, යෝධඇළ හා පැරණි වැව් අමුණු පැතිරුණු බිම් පෙදෙසකි. මේ නෂ්ටාවශේෂ සියල්ල හෙළිකරන්නේ අනුරාධපුර යුගයේදී මේ ප්‍රදේශය පුරා පැතිරී තිබූ බෞද්ධ පුනර්ජීවනයයි. කෘෂිකර්ම සශ්‍රීකත්වයයි. ඒ පැරණි නෂ්ටාවශේෂ අතරින් ප්‍රධානත්වය ගන්නේ විජිතපුර බලකොටුව පිහිටි ස්ථානයේ ඉදිකළ බවට ජනප්‍රවාදයේ සඳහන් විජිතපුර රජමහා විහාරයයි. ප්‍රතිසංස්කරණය කළ පුරාණ දාගැබක්, පැරැණි සංඝාරාම ගොඩනැගිලි, ප්‍රතිමාඝරවල නෂ්ටාවශේෂ එහිදී දැකගත හැකිය. පුලියන්කුලම නටබුන් සහිත පුරාවිද්‍යා රක්ෂිතය, වන්නියාගල නටබුන් ප්‍රදේශය, වෙහෙරගල රජමහා විහාරය හා පූගොල්ලාගම ගල්ළිඳයාය ප්‍රදේශයේද පෞරාණික විහාරස්ථානවල ශේෂ අපට දැකගත හැකි තැන්ය. මේ අතරින් පුලියන්කුලම, වන්නියාගල හා බැලුම්ගල නම් කඳුගැටයට නුදුරින් පිහිටි පූගොල්ලාගම ගල්ළිඳයාය ද වනවදුලින් වැසීගිය පුරාවිද්‍යා කැණීම් නොකළ භූමි ප්‍රදේශ වේ.

පසුගියදා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් අඩු ආදායම්ලාභීන්ට නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකිරීමට ඩෝසර් කර ඇත්තේ පූගොල්ලාගම ගල්ළිඳයාය නමින් හඳුන්වන නටබුන් පිහිටි ප්‍රදේශයයි. එහි එක් පෙදෙසක් පුරාවිද්‍යා රක්ෂිතයක් වන අතර අනෙක් ඉඩම් කොටස ආණ්ඩුවේ රක්ෂිත කැලයක් වශයෙන් පැවති බිමකි. මේ බිම කලකට ඉහත ගැමියන් හේන් ගොවිතැනට යොදාගෙන තිබේ. අක්කර 15 ක් පමණ ප්‍රදේශයක් ඩෝසර් කර ඇති අතර එහිදී පුරාවිද්‍යාත්මක නටබුන් රාශියකටද හානි සිදුවී තිබේ. ගල්පුවරු, කොරවක්ගල්, සඳකඩපහණ, මුරගල්, පැරණි දාගැබ් කොටස්, ගල්කුලුනු ආදී නෂ්ටාවශේෂවලින් එම භූමිය පිරී තිබුණි. නමුත් බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා සිදුව ඇති හානිය ඉමහත්ය. මෙය නොදැන කළා යන මතවාදය පැතිරවීමට නිවාස සංවර්ධන අධිකාරියේ බලධාරීන් උත්සාහ ගන්නා බව පෙනේ. ඉහළ බලධාරීන් සමහර නිලධාරීන්ට සුදුහුණු ගෑමට උත්සාහ කරන බවක්ද පෙනේ. නොදැන අහම්බෙන් කළා නම් පළමු නටබුන් ස්මාරකය හමුවූ වහාම ඩෝසර් කිරීම නතරකළ හැකිව තිබුණි. එහෙත් අපට පෙනෙන්නේ අක්කර 15ක පමණ විශාල භූමියක් දින කිහිපයක් තිස්සේ ඩෝසර් කර ඒ බිම සමතලා කර තිබෙන බවය.

“ගම්මානයක් හදන්න යනවා කියලා ඩෝසර් කරලා තියෙන්නේ ඒ ගම්මානයට අයිති බිම්කොටස නොවේ. පුරාවිද්‍යා රක්ෂිතයට අයිති භූමියයි. අපි අහන්නේ මෙතරම් විනාශයක් කරනකම් පුරාවිද්‍යා නිලධාරීන් මොකද කළේ කියලයි. අපේ පන්සල්වල ගල්කැටයක්වත් එහා මෙහා කරන්න දෙන්නෙ නෑ. නමුත් මේ තරම් විනාශයක් කරනකම් පුරාවිද්‍යාව ඒ ගැන දන්නෙ නැහැ. ගමේ මිනිස්සු තමයි මේකට විරැද්ධව එළියට බැහැලා සටනක් කළේ.” විජිතපුර රජමහා විහාරවාසී ඉපලෝගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් පල්ලෙඉඟුරේ වජිරඥාන හිමියෝ අප සමඟ පැවසූහ. පූගොල්ලාගම, පිංපාර, හිරිහිටියාගම, තිලකපුරය, අලුත් පුලියන්කුලම යන ගම්මානවලට මායිම්ව පිහිටි ගල්ළිඳයාය පුරාවිද්‍යා භූමිය ප්‍රදේශවාසීන් හොඳින් දන්නා නටබුන් පිහිටි ස්ථානයකි. පුරාණ යෝධඇළ හා ජයගඟ එය දෙපසින් ගලාබසී. මේ බිමේ හේන් වගාකිරීම නිසා (රක්ෂිතයක් බවට නම් කළ පසු) සමහර ගැමියන්ට එරෙහිව නඩුද වැටුණි.

සියුම්ව ඔපකළ ගල්පුවරු රැසක් මෙම භූමියේ වනයට යටව තිබුණි. එක් ස්ථානයක ගල්පර්වතයක මැටි පහන් ආකාරයට හෑරූ සිදුරු රාශියක් සහිතය. එය හඳුන්වන්නේ පහන්ගල නමිනි. බැලුම්ගල නම් ගල්තලාවට පිවිසීමට පියගැටද සකසා තිබූ අතර ඒ මතට විජිතපුර, අවුකන, රිටිගල, මානාකන්ද, උස්ගල ආදී ස්ථාන කදිමට දර්ශනය වේ. ජනප්‍රවාද පවසන්නේ එළාර - දුටුගැමුණු සංග්‍රාමය පැවති සමයේ එළාර රජුගේ විජිතපුර බලකොටුවේ හැසිරීම් පිළිබඳව ඔත්තු බැලීමට බැලුම්ගල හා උස්ගල යන උස්භූමි යොදාගත් බවයි. ප්‍රදේශයේ පැතිර තිබෙන ජන විශ්වාසය අනුව විජිතපුර විහාරය අවට පිහිටා තිබූ බලකොටුව දිගින් හා පළලින් කිලෝමීටර දෙකහමාරක් වේ. බලකොටුවේ සමහර නටබුන් කලාවැවේද දක්නට තිබෙන බව පැවසේ.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ බලධාරීන්ට මේ විනාශය ගැන දැනුම් දුන්නද පියවරක් නොගත් බවත් ග්‍රාම නිලධාරිවරයා සහ නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ භූමිය විනාශ කළ බවත්ය.

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් එම්.එස්.එස්. සජිදා භානු මහත්මිය පැවසුවේ රජයට අයත් අක්කර 15ක ඉඩමක් නිවාස සංවර්ධන අධිකාරියට ලබාදුන් බවත්, ලබාදෙන අවස්ථාවේ එම ස්ථානයේ පුරාවිද්‍යා වටිනාකමක් හඳුනාගෙන නොතිබූ බවත්ය. එය දැනගත් වහාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටද දන්වා තමන් එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කළ බවත් පුරාවස්තුවලට හානිවී තිබෙන අන්දම දුටු බවත් ඇය පවසන්නීය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා පසුගියදා මාධ්‍ය හමුවක් තබමින් පැවසුවේ නිවාස යෝජනා ක්‍රමයේ කටයුතු පුරාවිද්‍යා පරීක්ෂණ නිමවනතෙක් තාවකාලිකව නැවැත්වූ බවයි. එමෙන්ම ඔහු පැවසුවේ පූගොල්ලාගම රක්ෂිතයෙන් ලබාදී තිබූ බිම්කොටසට පිවිසෙන මාර්ගය ඩෝසර් යන්ත්‍ර මගින් හෙළිකිරීමේදී පුරාවිද්‍යා නටබුන් මතුවී තිබෙන බවයි. එය දැනගත් වහාම අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකාරිනිය ඒ ගැන පුරාවිද්‍යා අනුරාධපුර කාර්යාලයට දැනුම්දුන් බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ ඩෝසර් කර ඇත්තේ නිවාස යෝජනා ක්‍රමයට වෙන්කළ බිම්කොටස නොව එයට පිවිසීමට මාර්ගයක් බවයි. එහෙත් පුරාවස්තු හමුවූ වහාම දැනුම් දුන්නා නම් මෙතරම් විශාල බිම්කොටසක් ඩෝසර් කරන තෙක් බලාසිටියේ ඇයිද යන්නද පැනයකි.

ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකම ගැන පැවසූ වජිරඥාන හිමියෝ මෙසේද පැවසූහ.

“මේ පළාතෙ හැමතැනම අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා නටබුන් පැතිරිලා. සමහර තැන් විනාශවෙලා. කලකට පෙරත් කලාවැව ඉස්මත්තේ ස්ථානයක් හාරලා ප්‍රශ්නයක් වුණා. අවට ගම්මානවලත් නටබුන් හමුවෙනවා. ගල්ළිඳයායට අපේ පන්සලේ ඉඳන් කිලෝමීටර් එකහමාරක් විතර දුරයි. ඉස්සර ඔතන ගල්ළිඳක ආකාරයේ පොකුණක් තිබිල තියෙනවා. ඒ ළඟ පර්වතයක සෙල්ලිපියකුත් තිබෙනවා. නිදන් හොරුන් කාලෙකට පෙර ඔය ස්ථානය හාරලා තිබුණා. ඒ වගේම ඔතැනින් බුදුපිළිමයක් හමුවූ බවත් පැවසෙනවා. ඊට පසු තමයි ඔය ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් කළේ.”

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා සඳහන් කළේ ප්‍රදේශීය ලේකම්වරියට, ග්‍රාම නිලධාරිවරයාට සහ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට එරෙහිව පුරාවස්තු පනත යටතේ පියවර ගන්නා බවයි.
මේ අතර සිද්ධියට අදාළව අනුරාධපුර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකාරියගේ සහ තාක්ෂණ නිලධාරියකුගේ වැඩ තහනම් කළ බව නිවාස සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. ව්‍යාපෘතිය භාර නිලධාරීවරයාගේ සහ ඉංජිනේරුවරයාගේද වැඩ තහනම් කිරීමට නියමිත බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසුවේය.

නොසැලකිලිමත්කම හෝ වෙනත් හේතුවක් නිසා හෝ සිදුව ඇත්තේ යළිත් නිවැරදි කළ නොහැකි හානියකි. නමුත් තවම නීතිය ක්‍රියාත්මක වී නැත. නිදන් හෑරීම සඳහා කුඩා වළක් හෑරුවත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා රටක මේ අපරාධයට හවුල්වූවෝ නිදැල්ලේ සිටිති. වැඩ තහනම් කිරීම පමණක් එයට දඬුවමක් නොවේ. 1998 අංක 24 දරන පුරාවස්තු ආඥා පනත අනුව පුරාවස්තු ඕනෑකමින්ම විනාශ කරන, හානියට පත් කරන, පලුදු කරන යම් තැනැත්තකු වරදකරු වේ. ඔවුන්ට රුපියල් පනස් දහසකට නොඅඩු දඩ මුදලක් හෝ අවුරුදු පහකට නොවැඩි සිරදඬුවමක් හෝ ඒ දෙකම හෝ පැනවිය හැකිය. මෙහිදී චෝදනාලත් සැකකරුවන්ට කිසිදු හේතුවක් නිසාවත් ඇප ලබානොදීමද විශේෂත්වයකි. එහෙත් පූගොල්ලාගම ගල්ළිඳයාය නටබුන් විනාශයට තවමත් පුරාවස්තු පනත දිගහැර ඇති බවක් නම් නොපෙනේ.

► කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ I කාංචන කුමාර ආරියදාස