දකුණු ආසියාතිකයන් වන අප හට ආවේණික වූ සමේ පැහැයක් පවතී. එය විවිධ පරාසයන්ගෙන් වෙනස්කම් පෙන්වුවද අපේ දේශගුණයට ඔරොත්තු දෙන ලෙස ආකර්ෂණීය තලෙළු වර්ණයකින් යුක්ත වේ. විවිධ ඍතු කලාපයන්ට අනුව ඒ ඒ ප්‍රදේශයන්හි වෙසෙන්නෝ ඔවුන්ට ආවේණික සමේ වර්ණයන්ට උරුමකම් කියති.
නමුත් මේ සත්‍ය වසන් කරමින් ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල් සමේ පැහැය හා සුන්දරත්වය පිළිබඳ සමාජගත වන මතවාදයක් ඇති කර තිබේ. විශේෂයෙන් කාන්තාවන් අතර ලස්සන වීමට නම් සුදු පැහැයෙන් යුතු සමකට උරුමකම් කිවයුතුයැයි යන වැරදි මතය සමාජගත වී හමාරය. මෙම තත්ත්වය තවත් වැඩිකිරීම සඳහා බොහෝ වෙළෙන්දෝ විවිධ උපක්‍රම භාවිත කරමින් විවිධ ප්‍රචාරක මාධ්‍ය ඔස්සේ ලබාදෙමින් මෙය සමාජගත කිරීමට උත්සහ ගනිති.
මේ නිසා වර්තමානයේ දී කාන්තාවන් හා පිරිමි දෙපාර්ශවයම තම කාලය හා ධනය වැය කරමින් මේ සඳහා වැඩි උනන්දුවක් දක්වති. නමුත් මෙවැනි සම සුදු කරලීමට භාවිත කරන ක්‍රම හා ආලේපන මඟින් පසුකාලීනව ඇතිවන්නේ භයානක තත්ත්වයකි.
සම සුදුවීම තුළින් සුන්දර බවක් ලබාදෙන බවට පොරොන්දු ලබාදෙන විවිධාකාර නිෂ්පාදන, විශාල ප්‍රමාණයක් වෙළෙඳපොළේ දැකගතහැකිය නගරබද පමණක්ම නොව ගම්බද ප්‍රදේශවලද ඉතා පහසුවෙන් මේවා ලබාගත හැකි තත්ත්වයට පත්ව තිබේ. මේවා භාවිතයද දිනෙන් දින වැඩිවෙමින් පවතී.
අපගේ ශරීරයට තළෙළු වර්ණය ලැබී ඇත්තේ සමට ආරක්ෂාව සපයන මෙලනින් වර්ණකය හේතුවෙනි. දින කිහිපයක් ඇතුළත සම සුදුකර ගැනීමට ආලේපන භාවිත කිරීමෙන් මෙලනින් වර්ණක වෙනස්කම්වලට ලක්වේ. එය සුදුසු තත්ත්වයක් ද නොවේ. සමේ සැබෑ පෙනුම වෙනස්කර ගැනීමට ගොස් පෙනුම විකෘති කරගැනීම හේතුවෙන් බොහෝ දෙනා විශාල ගැටලු රැසකට මුහුණ පා තිබේ.
අධික ඉල්ලුම නිසාත් නොයෙකුත් කූට වෙළඳුන් ප්‍රමිතියකින් තොරව සමට අහිතකර විවිධ රසායනිකයන් අඩංගු නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීම මේ හරහා සිදුවිය හැක. සංවේදී ඉන්ද්‍රියක් වන සම මත මෙවැනි රසායනික ද්‍රව්‍ය ගැල්වීමෙන් විවිධාකාර වූ සංකූලතා ඇතිවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයද සම සුදුවීම සඳහා භාවිත කරන ආලේපවලින් වියහැකි හානිය පිළිබඳවද අනතුරු අඟවා ඇත.
මෙම ආලේපන භාවිතයෙන් ඉතා කෙටි කාලයකදී අස්භාවික සුදු පැහැයක් ලැබේ. නමුත් එමඟින් සමට මෙන්ම සමස්ත සිරුරටම අහිතකර ප්‍රතිඵල අත්වේ.
මෙවැනි අහිතකර ක්‍රීම්වර්ග භාවිතයෙන් මුල් දිනවලදී මුහුණේ පැහැපත් බවක් දක්නට ලැබුණ ද ටික කලක් භාවිත කිරීමේදී අධික ලෙස කුරුලෑ හටගැනීමක් සිදුවේ. මෙම කුරුලෑ බොහෝ විට සම අභ්‍යන්තරයේ White heads ලෙස ඇතිවේ. මුල් අවස්ථාවේදී සමේ පැහැදිලි බවක් ඇති වුවත් සති කිහිපයකින් ආලේපන නවතා දැමූවිට සම දුර්වර්ණ වීමට පටන් ගනී. මෙය හිරුඑළියට නිවාරණය වීමේදී දුර්වර්ණ වීම වැඩිවේ.
සම තුනීවීමක් සිදුවන අතර එමඟින් නිරෝගී සමෙහි සිදුවන ආරක්ෂිත යාන්ත්‍රණය නිසි පරිදි සිදුනොවේ. හිරැඑළියට අධික සංවේදිතාවයක් දක්වයි. (Photosensitivity) දීර්ඝකාලීනව භාවිත කිරීමෙන් සමස්ත ශරීරයටම අහිතකර බලපෑම් ඇතිවේ. හෝමෝන අසමතුලිතතා හේතුවෙන් කම්මුල්, නිකට හා උඩුතොලෙහි රෝම වර්ධනය, ආර්ථවය අක්‍රමවත් වීම, මෙන්ම ඇස් වටා ආලේප කිරීමෙන් ඇස්වල පෙනීමේ දුර්වලතා ද ඇතිවිය හැක.
සමහර Fairness Cream වල Eczema, Psorisis වැනි සමේ රෝග සඳහා භාවිතා කරන ආලේපනවල අඩංගු Clobetasol නම් ද්‍රව්‍ය අන්තර්ගතවේ. මෙවැනි ආලේපන මුහුණේ ආලේප කිරීම කිසිසේත්ම සුදුසු නොවේ. මේවා භාවිතයෙන් සමෙහි කැසීම, රතුවීම, බිබිලි මතුවීම වැනි ආසාදිත ලක්ෂණ මතුවේ.
ඇතැම් ආලේපනවල අඩංගු Hydroguinones නම් රසායනිකය නිසා සමෙහි මෙලනින් නිෂ්පාදනය කරන සෛල (Melanocyts) හානිවීම තුළින් සමෙහි සුදු පැහැ ලප හටගැනීම සිදුවේ. එසේම ඇතැම්විට රසදිය, ආසනික් වැනි බැර ලෝහ අඩංගු වීම නිසා දීර්ඝකාලීන භාවිතයෙන් සමේ පිළිකා හටගැනීමට ද පුළුවන්.
රුව ගැන සැලකිලිමත් වන ඔබ ආලේපන තෝරාගැනීමේදී ප්‍රමිතියකින් යුතු ආලේපන තෝරාගැනීමට බුද්ධිමත් විය යුතුය. නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දින, අඩංගු ද්‍රව්‍ය, නිෂ්පාදන ආයතන, දුරකතන අංක, ගබඩා කළයුතු තත්ත්ව, ආලේපන කළයුතු පිළිවෙළ ආදිය තිබේදැයි අවම වශයෙන් පරීක්ෂා කර ආලේප තෝරා ගැනීමෙන් බොහෝදුරට ප්‍රමිතියකින් තොර ආලේපන වර්ග භාවිතයෙන් මඟහැර ගත හැකිය. රූපලාවන්‍ය සත්කාර ලබාගැනීමට යාමේදී රූපලාවන්‍ය ශිල්පිනිය හෝ ශිල්පියා ඒ සම්බන්ධ සුදුසුකම් ලබා තිබේද, භාවිත කරන මෙවලම්, නිෂ්පාදන ප්‍රමිතියෙන් යුත්තද යන්න පිළිබඳ අවබෝධය ලබාගත යුතුය. මේ සඳහා වෛද්‍ය උපදෙස් අවශ්‍ය වූ විට ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනීම අවශ්‍යය.
අතීතයේ සිටම කාන්තාවන් තම රූ සපුව පිළිබඳව වැඩි උනන්දුවක් දක්වා ඇති අතර ඒ සඳහා යොදාගැනුණේ ස්වභාවික පැළෑටි, මල්, එළවළු වැනි දෑය. එකල කාන්තාවන් ගහකොළවලින් ලබාගන්නා ශාක සාර භාවිතා කරමින් රුව නිරෝගී සුන්දරව තබාගන්නට උත්සාහ කර අතර එමඟින් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවීය.
මේ වනවිට වෙළෙඳපොළේ ඇති විවිධ රසායනික ආලේපන භාවිතයෙන් සිරුරට වියහැකි අතුරැ ආබාධ බොහෝ දෙනා අත්දකින සත්‍යයක් බැවින් නැවතත් ස්වභාවික ආලේපනවලට නැඹුරුවක් උනන්දුවක් ඇති වී තිබේ. එය යහපත් තත්ත්වයකි. මේ ඇති වී තිබෙන තත්ත්වයන් වළක්වා ගැනීමට ස්වාභාවිකත්වයට නැඹුරැවන ආකාරයේ ආලේපනවලට යොමුවීම සුදුසුය.
සුදු පැහැ සමක් යනු සුන්දරත්වය නොවේ. අප සියල්ලන්ටම ආවේණික සුන්දරත්වයක් පවතී. මේ නිසා උනන්දු විය යුත්තේ පැහැපත් සමක් වෙනුවට නිරෝගී සමක් ඇතිකර ගැනීමටය.
නිරෝගී සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව, නිරවුල් මනසක් පවත්වා ගැනීම, නිසි පරිදි ව්‍යායාම්වල නිරත වීම, ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම, යහපත් දින චර්යාවක් පවත්වා ගැනීම, මඟින් නිරෝගී බව මෙන්ම ආකර්ෂණීය පෙනුමක් ලබාගත හැක.
කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය
සෙත්සුව ආයුර්වේද රෝහල