♦ පේළි ගෙවල් වතු වෙනුවට අලුත් ගම්මාන
♦ මේ වසරේ දී නිවාස වැඩපිළිවෙළ වෙනුවෙන් රුපියල් මිලියන 17000ක්
වතු හෝ නාගරික මුඩුක්කු නිවාස කී පමණින් අප මනස තුළ මතුවන්නේ කුමන චිත්‍රයක් දැයි පැහැදිලිය. එය කිසිසේත් සුන්දර එකක් නම් නොවන්නේය. ඉතාම අපිරිසිදු තත්ත්වයේ පවතින මෙම වතු නිවාස බොහෝ ළඟින් ළඟින් පිහිටි එකිනෙකා සමඟ අඩදබර කරගන්නා, පාතාලය රජකරන වැනි බොහෝ දේ අපගේ මතකයට එන්නට පිළිවන. කුමන තත්ත්වයක් වුවද මෙම වතු හෝ මුඩුක්කු නැතිනම් පැල්පත් තුළින් ශ්‍රී ලාංකීක ජාතිය දැන් එළිපත්තට පැමිණිය යුතු කාලය එළඹී තිබේ. කොළඹ නගරය කේන්ද්‍රීය කරගෙන මෙවැනි වතු 1500ක් තරම්වත් පිහිටා තිබේ. ඒවා තුළ පැල්පත් නිවාස 68812ක් පිහිටා තිබේ යැයි පැවසුවහොත් බොහෝ දෙනෙකු ඇතැම් විට පුදුමයට පත්වනු ඇත.
තවදුරටත් මුඩුක්කු හෝ පැල්පත් තුළ මේ රටේ අඩුආදයම් ලාභී පිරිස් ජීවත් විය යුතු නැත. වත්මන් රජය පවසනා ආකාරයට දැන් ඉතිරිව ඇත්තේ මෙම පැල්පත් යන වචනය සිංහල ශබ්ද කෝෂයෙන් ඉවත් කිරීමේ කාලයයි. කොරියාව, හැටේවත්ත, ඔබේසේකරපුර, සිංහපුරය, මහවත්ත, වනාතමුල්ල ආදී විවිධ නම්වලින් සහ ඉහත කී තැන්වල මෙන්ම කොළඹ පුරා විසිරී පවතින මෙම පැල්පත් ඉවත් කර ඒ වෙනුවට මහල් නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ මේ වනවිට රජය විසින් අරඹා ඇත.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමත් සමඟ පැල්පත් මුඩුක්කු වෙනුවට නිවාස සහ වත්ත වෙනුවට ගම්මානයක් ඒවායෙහි දැනට වෙසෙන ජනතාවට අනාගතයේදී හිමිවනු ඇත. ඇත්තටම මෙම පැල්පත් කොළඹින් ඉවත් කළ යුතුය යන මතය හැදුණේ අද ඊයෙක සිට නොවේ. ඒ 1970 දශකයේ පමණ පටන්ය.
කෙසේ වෙනත් වත්මන් රජය සැලසුම් කරන්නේ කොළඹ නගරය තුළ පවතින අඩු පහසුකම් සහිත පැල්පත් ජනාවාස වෙනුවට විධිමත් නිවාසකරණයක් ඇති කිරීමටය. ඒ සඳහා කොළඹ නගරය තුළ දැනට තිරස් අතට විසිරී පවතින මෙම පැල්පත් වෙනුවට සිරස් අතට විහිදුණු විධිමත් ජනාවාසකරණයක් ඇති කිරීමට රජය දැනටමත් අතගසා තිබේ. ඒ අනුව කොළඹ නගරය තුළ පවතින සියලුම පැල්පත් ජනාවාස වෙනුවට නව තට්ටු නිවාස ලබාදීම රජයේ අභිප්‍රාය හා අනාගත ඉලක්කය වේ.
කොළඹ නගරය තුළ අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන පවුල් සඳහා නවීන පහසුකම් සහිතව ස්ථිර නිවාස ලබාදී ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩාත් උසස් මට්ටමට ගෙනඒමේ මූලික අරමුණ පෙරදැරි කරගෙන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් නිවාස ඒකක 50,000ක් ඉදිකිරීමේ ඉලක්කය මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් අරඹා ඇත. මෙම නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ දැනට නිවාස ඒකක 7390ක වැඩ අවසන් කර ඇති අතර තවත් නිවාස ඒකක 7744 දැනට ඉදිවෙමින් පවතී.
2013 වර්ෂයේ සිට මේ දක්වා නිවාස ව්‍යාපෘති 15ක පවුල් 6951කට අධික ප්‍රමාණයක් පදිංචි කර අවසන්ව ඇත.
රජය සතුව තිබෙන අක්කර 900ක පමණ භූමි ප්‍රමාණයෙන් අක්කර 300ක් නව නිවාස ව්‍යාපෘති ඉදිකිරීම සඳහාත් අක්කර 150ක් පොදු හා විනෝද කටයුතු සඳහා වෙන් කිරීමටත්, ඉතිරි අක්කර 450ක ප්‍රමාණය රජයේ මිත්‍ර සංවර්ධන කටයුතුවලට යොදා ගැනීමටත් මෙමගින් අපේක්ෂා කර ඇත.
අඩු ආදායම් සහිත ජනාවාසයන්හි ජීවත්වන ජනතාව සඳහා නවීන පහසුකම්වලින් සමන්විත නිවාස ඉදිකර අනෙකුත් යටිතල පහසුකම් සමඟ ජනතාවගේ ජීවත් තත්ත්වය උසස් මට්ටමකට ගෙනඒමත් එමඟින් නිදහස් වන ඉඩම් සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමත් මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.
මෙම අඩු ආදායම් ලාභීන්ට නිවාස ලබාදීම ගැන බස්නාහිර සංවර්ධන අමාත්‍යය පාඨලී චම්පික රණවක මහතා මෙසේ කියයි.
කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට නිසි නිවසක් ලබාදීම සඳහා පසුගිය දශක 4ක 5ක පමණ කාලයක් තුළ බොහෝ ආණ්ඩු උත්සාහයන් දරලා තියනවා. නමුත් අද අපි අධිෂ්ඨාන කරගෙන තිබෙනවා. මේ ප්‍රශ්නය 100%ක් විසඳලීමට. අපි අද ත්‍රස්තවාදය පරාජයට පත්කරලා සාමය ලබාගෙන තියෙනවා. ඒ වගේම මේ රටේ සෑම නිවාසයකටම වගේ අද විදුලිය ලබාදී තිබෙනවා. ඒ අතරට 100%ක් නිවාස හිමි ජනතාව බිහිකර ගැනීමේ වගකීමට අපි අද උරදී සිටිනවා.
මේ වසරේ දී නිවාස වැඩපිළවෙළ වෙනුවෙන් රුපියල් මිලියන 17000ක් වෙන්කර තිබෙනවා. එය අපට විශාල ශක්තියක්. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය නිවාස සංකීර්ණ පමණක් නෙමෙයි බත්තරමුල්ලේ කාර්යාල සංකීර්ණ 3ක් ඉදිකිරීම සඳහාත් මිලියන 25,000කට අධික ප්‍රමාණයක් ආයෝජනය කරන්න සැලසුම් කර තිබෙනවා. අද මේ රටේ තිබෙන ඕනෑම බලගතු පෞද්ගලික ආයතනයකට වඩා නාගරික සංවර්ධන අධිකාරිය මූල්‍යමය වශයෙන් ශක්තිමත් වෙලා තිබෙනවා. අද කොළඹ පැල්පත් නිවාස අඩුවෙමින් පවතිනවා ලිපිනය කියන්න ලජ්ජා වූ අතීතය සම්පූර්ණයෙන්ම අමතක කර මහ නගරය තුළ ගොඩනැගෙන සුව නගරයේ සාමාජිකයන් හැටියට අභීත පියවර මනින්න අපි සූදානම්.
කෙසේ වෙතත් මුඩුක්කු නැතිනම් පැල්පත් හෝ වතු මෙරටින් තුරන්කොට සැමට නිවසක් හිමිවෙන්නේ නම් කාගේත් සුබසිද්ධියට හේතුවන බව නිසැකය.
♦ හසිත් අංජන