2018 මැයි 19 වන සෙනසුරාදා

රඟමඩලට තිත්ත කටහ

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

තේ කෝප්පයක් රසකර බොන අප අතරින් කිසිවකුත් ඒ තේ දල්ල යට සැඟවුණු කඳුළ ගැන නොසිතන බව බොරැවක් නොවේ. තේ වගාව වාණිජ වශයෙන් සාර්ථක වීමත් සමඟ වතු වගාවට අවශ්‍ය කම්කරැ ශ්‍රමය දකුණු ඉන්දියාවෙන් රැගෙන ආවේ 1846 සිටය. එදා සුද්දාගේ කාලයේ සිට අද දක්වාම තේවතු කම්කරුවන්ගේ ජීවන රටාව එතරම් වෙනසකට ලක්වී නැත. බොහෝ වතුකම්කරුවන් තවමත් තමන්ටම කියා ඉඩම් හිමිකමක් නැති වතු ලැයිම් කාමරවලට ගාල්වී දිවිගෙවන පිරිසකි. වතුකම්කරුවන්ගේ මේ ජීවන අරගලය හා ඒ යට සැඟවුණු දේශපාලනඥයන්ගේ යටිමඩි තරකරගැනීම සිංහල නාට්‍ය වේදිකාවේ කතාබහට ලක්වූ තේමාවක් නොවේ.

තිත්ත කහට වතුකම්කරු අරගලය ගැන ජාතික වේදිකාව තරණය කරන ප්‍රථම නාට්‍යය ලෙස හැඳින්විය හැකිය. ජනකරළිය නාට්‍ය කණ්ඩායම මෙය නිෂ්පාදනය කර ඇත්තේ පරාක්‍රම නිරිඇල්ලගේ උපදේශකත්වය මතය. පසුගියදා මෙහි මංගල දර්ශනය බොරුල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී රංගගත විණි.

අප තිත්ත කහට දුටුවේ වාර්තා රංගයක් ලෙසිනි. ඒ නිසා එය ජනකරළියේ අලුත් අත්හදාබැලීමක් ලෙසද හැඳින්විය හැකිය. තේ වගාවේ ඉතිහාසය සහ ඔවුන්ගේ අනාරක්ෂිත නිවාස නිසා මුහුණදෙන නායයාම් (මීරියබැද්ද නායයාම) වැනි අනතුරැද ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයෙන් තිරයක් ඔස්සේ ප්‍රේක්ෂකයාට නැරඹීමට ලැබේ. වතු වගාවේ පසුබිම පිළිබඳව දැනුම්වත් කරමින් නාට්‍යය රංගගතවන නිසා ප්‍රේක්ෂකයාට එහි වර්තමාන තත්ත්වය අවබෝධ කරගැනීම පහසු වේ.

එදා සුද්දන්ගේ පාලන සමයේදී වතුකම්කරුවන් සැලකුණේ අවලංගු කාසි පරිදිය. ඔවුන්ට වෘත්තීය අයිතීන් නොවීය. ඔවුන්ගේ මාසික වැටුපෙන් විශාල ප්‍රමාණයක් ණයට හිලව්කර ගැනිණි. මේ නිසා බොහෝ කම්කරුවන්ට තම උපන් රටවූ දකුණු ඉන්දියාවට නැවත යාමට නොලැබිණි. විශාල පිරිසක් වනසතුන්ගේ අනතුරු, සෞඛ්‍ය සේවා නිසිපරිදි නොලැබීම නිසා මියගියහ. මේ සිද්ධි නාට්‍යෝචිතව වේදිකාව මත මැවීමට ජනකරළිය නාට්‍ය කණ්ඩායම සමත්ව ඇත.

සුද්දා රට කළුසුද්දන්ට බාරදී පිටත් වෙති. වතු සමාගම් දේශීය සමාගම්වලට අයිති වේ. ඊටපසු වතු වෘත්තීය සමිති බිහිවේ. මේ අවස්ථා වේදිකාව මත මවනා තිත්ත කහට ඒ කිසිම වෙනසකින් තේ දල්ලට ජීවය දෙන වතුකම්කරැවන්ට වූ සෙතක් නම් නැති බව අපට අවධාරණය කරයි.

බඹරු ඇනීම නිසා කම්කරැ කාන්තාවක් අසාධ්‍ය තත්ත්වයට පත්වේ. ඇය රැගෙන යන ග්‍රාමීය රෝහලෙන් මහරෝහලට රැගෙන යන ලෙස පවසයි. මේ අවස්ථාවේදී භාෂා ප්‍රශ්නය ඉස්මතුවන ආකාරය උපහාසයද මුසුවන සේ ඉදිරිපත් කෙරේ. අවසානයේ කාන්තාව මියයයි.

මේ අතර නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණ හැටන් දික්ඔය රෝහල විවෘත කරයි. වතු සමිති නායක දේශපාලනඥයන් කම්කරැවන් ඉදිරියේ මවන්නේ ඉන්දීය අගමැතිවරයා පැමිණ වතුකම්කරුවන්ගේ සියලු ප්‍රශ්න විසඳන ආකාරයේ සිහින ගොන්නකි. නමුත් ඉටුවන සිහිනයක් නැත. ඒ අතර වතු වෘත්තීය සමිති පදනම් කරගත් පක්ෂ නායකයන්ට මෝදිගෙන් බෝලය ලබාගැනීමේ අවස්ථාව කදිමට වේදිකාවේ නිරූපණය වේ.

මෙහිදී ප්‍රේක්ෂකයාද මොහොතකට වතුකම්කරුවෙක් බවට පත්වී නාට්‍යයට සක්‍රියව දායකත්වයක් දක්වයි. ඒ මෝදි පැමිණිවිට ඉන්දීය කොඩිය වැනීමට දායකවීමෙනි. ඊටපසු ප්‍රේක්ෂකයාද වතුකම්කරුවන්ගේ මනසට සමීප වී නාට්‍යයට බද්ධ වේ.
ජනකරළිය නාට්‍ය කණ්ඩායම වතුකම්කරැවන් හැර අනෙක් චරිත (මෝදි හා මෙරට වෘත්තීය සමිති නායකයන්, ජනපති, අගමැති ඇතුළු දේශපාලනඥයන්) මැවීමට යොදාගන්නේ කෝලම් නාට්‍ය සම්ප්‍රදායයි. ඔවුන් වේදිකාවට පැමිණෙන්නේ වෙස්මුහුණු පැළඳගෙනය. එය නාට්‍යයේ අර්ථය වඩාත් තීව්‍ර කිරීමට උපකාරී වේ.

දේශපාලනඥයන්ට අවශ්‍ය වතුකම්කරැවන් ගොනාට අන්දවා ඔවුන්ගේ ඡන්දය ඩැහැගැනීම පමණක් බව මින් පැහැදිලි කෙරේ. දේශපාලනඥයන් වේදිකාවට පැමිණ වතුකම්කරැවන් අමතා කරන කතා උත්ප්‍රාසවත්ව ඉදිරිපත් කිරීමට ජනකරළිය නාට්‍ය කණ්ඩායම සමත්ව ඇත.

වතුකම්කරුවන් සිය දුක පවසන අතර එක්වරම වේදිකාවට ජවනිකා ලෙස පිවිසෙන්නේ කොළඹ 7 සුපිරි පැලැන්තිය තේ රසකරමින් පානය කරන අන්දමයි. මේ අවස්ථාවල තේ ට්‍රොලිය රැගෙන එන්නේද දෙමළ ජාතිකයෙකි. මෙලෙස ප්‍රතිවිරැද්ධ ලෙස වේදිකාව මත ජවනිකා මැවීමටද ජනකරළිය දක්වා ඇත්තේ කදිම හැකියාවකි. පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්කුව ඇතුළු නාට්‍යවල මේ අයුරින් ජවනිකා වෙනස් කිරීම අපට දැකගත හැකිය.

තිත්ත කහට තුළින් අපට මතුකරන්නේ අදටත් දුක්විඳින ඉන්දියානු වතුකම්කරුවන්ගේ ඛේදවාචකයයි. එය ඉල්ලමක් බවට පත්කරගෙන ඔවුන්ගේ මාසික වැටුපෙන්ද කොටසක් කපාගෙන සැප විඳින වතු වෘත්තීය සමිති නායකයන්ගේ නිරුවතයි. එහෙත් සමහර අවස්ථාවලදී මේ දුක නිරෑපණය අනවශ්‍ය ලෙස වැඩිදැයි ප්‍රේක්ෂකයාට දැනේ. එය නාට්‍යය ඒකාකාරී වීමට බලපාන හෙයිනි.

රාසයියා ලෝගනාදන්, සුමුදු මල්ලවආරච්චි, සෙල්වරාජ් ලීලාවතී, අජන්ත ශාන්ත කුමාර්, සරත් බානගල, අරෝෂා තරංගනී, දෙව්රාන් ශ්‍රී ලිවේරා, ඉනෝකා ලංකාපුර, රුවනි ඩිලන්ති ඇතුළු ජනකරළිය ශිල්පීහු මෙයට දායකත්වය ලබාදෙති.

අපේ අනෙක් නාට්‍යකරුවන්ටද සමකාලීන කතාබහට ලක්නොවූ තේමා සොයායෑමේ උනන්දුව ඇතිකරන නාට්‍යයක් ලෙස තිත්ත කහට හැඳින්වීමට පුළුවනි.

  කුසුම්සිරි