අනුරාධපුරයේ පිහිටා ඇති ශ්‍රී මහා බෝධිය අවුරුදු 2300කට අධික ලිඛිත ඉතිහාසයක් හිමිය. පෙර රජ දවස පටන්ම ජය ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව උදෙසා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබිණි. බෝධිය වටා පරිවාර බෝධි වෘක්ෂ රෝපණය ඉන් එක් ක්‍රියාමාර්ගයකි. එයට අමතරව වල්අලින්ගෙන් හා වනසතුන්ගෙන් බෝධියට වන හානිය වැළැක්වීමට ගල්කුට්ටි යොදාගෙන අඩි 360 ක් දිග අඩි 270 ක් පළල ප්‍රාකාරයක් තනා තිබේ. එම ගල්පවුර අඩි 7 ක් ඝනකම වන අතර උසින් අඩි 12 කි. මෑත අතීතයේ බෝධියේ ආරක්ෂාව උදෙසා රන් වැටක්ද ඉදිකෙරිණි.
බුද්ධ ස්පර්ශය ලැබූ බුද්ධගයා බෝධියේ ශාඛාවක් වන මෙම වෘක්ෂය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත වෘක්ෂයක් ලෙසද නම්කර තිබේ. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ උද්භිද විද්‍යාඥයෝ එම වෘක්ෂයේ පැවැත්ම හා ආරක්ෂාව ගැන නිරන්තර අවධානයෙන් පසුවෙති.
මෙතරම් ආරක්ෂක විධිවිධාන යොදා තිබෙන ශ්‍රී මහා බෝධියට අහස ඔස්සේ එල්ලවිය හැකි අනතුරක් පසුගියදා රටේ පුවත් මවන මාතෘකාවක් බවට පත් විය.
“නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ගල්අඟුරු දහනය වීමෙන් පිටවන විෂ ආම්ලික වායුව ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහයත් සමඟ අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ දෙසට පැතිරයාමේ අවදානමක් පවතිනවා. බලාගාරයෙන් නිකුත් කරන අළු මේ වන විට අහසේ තැන්පත් වෙලා තිබෙන්නේ. වර්ග කිලෝමීටර් 6 – 6.5ක පමණ ප්‍රදේශයක පැතිරී පවතින මෙම වලාකුළු උතුරුමැද පළාතේ අනුරාධපුරය දෙසට ගමන් කිරීමේදී එම ගමන් පථය තුළ ශ්‍රී මහා බෝධියද පිහිටා තිබෙනවා. මෙම ආම්ලික වලාකුළු මගින් බෝධි වෘක්ෂයට හානියක් වීමේ අවදානමක් පවතිනවා.” පරිසර විද්‍යාඥ ආචාර්ය රනිල් සේනානායක එලෙස සඳහන් කළේ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පැවැත්වූ වැඩමුළුවකට එක්වෙමිනි.
එහිදී ආචාර්ය රනිල් සේනානායක සඳහන් කළේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ගල්අඟුරු දහනය වීමේදී ගෙන්දගම්, සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඔක්සයිඩ් මෙන්ම බැර ලෝහද පිටවන බවයි. මෙලෙස පිටවන සල්ෆර් ඩයොක්සයිඩ් ඉහළ අහසේ වළාකුළු සමඟ එක්වී සල්ෆියුරික් අම්ලය සාදන අතර, නයිට්‍රජන් ඔක්සයිඩ්වලින් නයිට්‍රික් අම්ලයද නිපදවේ. මේ තත්ත්වය නිසා මේ වන විට නොරොච්චෝලේ අවට ප්‍රදේශවල ගහකොළවලට, වගාබිම්වලට දැවැන්ත පාරිසරික හානියක් සිදුව තිබේ. මීට අමතරව මුහුදු ප්‍රදේශවලද කහ පැහැති ආම්ලික තත්ත්වයක් වර්ධනය වී තිබෙන බව ආචාර්ය සේනානායක සඳහන් කර සිටී. “බැර ලෝහ මුසු වතුරේ ජීවත් වන මසුන්ගේ ශරීර තුළද බැර ලෝහ පවතිනවා. එම මසුන් ආහාරයට ගැනීම නුසුදුසුයි. එම මසුන්ගේ ශරීර තුළ කොපමණ ප්‍රමාණයක් රසදිය කැඩ්මියම් හෝ ඊයම් අඩංගුදැයි මේ වනතුරුත් විද්‍යාත්මක පරීක්ෂණයක් කර නැහැ. මෙවැනි හානිදායක ප්‍රතිඵල නිසා ගල්අඟුරු බලාගාර නැවත තැනීමට කටයුතු කිරීම දේශ මංකොල්ලයක්” ආචාර්ය සේනානායක සඳහන් කළේය.
ගල්අඟුරු බලාගාරය පිහිටි නොරොච්චෝලේ සිට අනුරාධපුරයට ඍජු දුර කිලෝමීටර් 70 (සැතපුම් - 44) කි. සුළං ප්‍රවාහවලට මේ දුර ගමන් කිරීමට එතරම් වෙලාවක් ගත නොවේ. ඉන්දියාවේ අග්‍රාහි පිහිටි ලෝක උරුම ස්මාරකයක් වන ටජ්මහල් මන්දිරයද කර්මාන්ත ශාලාවලින් පිටවන විෂ දුම නිසා හටගත් සල්ෆියුරික් අම්ලයෙන් හානිවීමට පටන් ගත් අවස්ථාවේ බලධාරිහු ඒ අවට කර්මාන්ත ශාලාවලට තහනම් නියෝග නිකුත් කළහ. වර්ෂ 2013 දී සිරිමා බෝධිය ආසන්නයේ වාහන 1600 ක් නවතා තැබිය හැකි රථගාලක් ඉදිකිරීමට යාමේදී වාහන දුම නිසා විශාල පරිසර හානියක් සිදුවන බවට උතුරුමැද පළාත් සභාවෙන් විරෝධයක් නැගිණි.
විශාල බලශක්ති අර්බුදයක් රට ඉදිරියේ පවතින මොහොතක නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් රටේ විදුලි ඉල්ලුමෙන් 40 ක් පමණ සපයයි. එහි ධාරිතාවය මෙගාවොට් 900 කි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙම බලාගාරයේ පළමු අදියර විවෘත කළේ 2011 දීය. එහි දෙවැනි අදියර 2014 දී චීන ජනපති ෂී ජිංපිං සහ මහින්ද රාජපක්ෂ විවෘත කළහ. අද නොරොච්චෝලේ නැත්නම් රට අඳුරේ සිටින තරම් එය අත්‍යවශ්‍යව පවතී. එසේ නම් මේ බලාගාරය පරිසරවේදීන්ගෙන් මෙතරම් විවේචනයට ලක්වන්නේ ඇයි? මින් රටට හානියක් වන බව පැවසෙන්නේ ඇයි? අපි මේ ගැන විමසීමට කතා කළේ කෘෂිකර්ම හා ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකරටය.
“මේ ගැටලු බලාගාරය හදපු දා සිටම තිබුණු ඒවා. තාප විදුලි බලාගාරය ස්ථාපිත කරන්න හදන විටම පරිසරවේදීන් විරෝධය පළ කළා. මේක චීනයෙන් ගලවා ඉවත් කළ බලාගාරයක්. මෙහි තාක්ෂණය යල්පැන ගිහින් තියෙන්නේ. මේක වර්තමානයට ගැලපෙන ලෙස යාවත්කාලීන කිරීමටත් බැහැ. එහෙම කරන්න නම් තවත් විශාල මුදල් සම්භාරයක් වැයවෙනවා. පරිසර ප්‍රශ්න ගණනාවක් මතුකිරීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ මේක යල්පැනගිය බලාගාරයක් වීමයි.” ගල්අඟුරු බලාගාරයක් අවශ්‍ය නම් ඒ අවස්ථාවේ දියුණු තාක්ෂණික උපක්‍රම සහිත බලාගාරයක් ලංකාවට ලබාගත හැකිව තිබුණි. චීන කොන්ත්‍රාත්කරුවන් විසින් (CMEC) ඉදිකළ මෙම ව්‍යාපෘතියට චීනයේ එක්සිම් බැංකුව මුල්‍යාධාර සපයනු ලැබුණි. එහි අයිතිය ලංකා විදුලිබල මණ්ඩලය සතුය.
නොරොච්චෝලේ බලාගාර ගනුදෙනුව පිටුපසද විශාල කොමිස් කුට්ටි හුවමාරු වූ බවට ඒ දිනවල කතාබහට ලක් විය. විදුලිබල ඉල්ලුම සපුරාලීමට චීනෙන් ඉවත් කළ බලාගාරයක් කරපින්නාගත් ලංකාවට සිදුවුණේ එදා පටන් විශාල පාරිසරික අර්බුද මෙන්ම බලාගාරය දිගින් දිගටම ඇණහිටීම් නිසා විදුලිබල සැපයුමේ ප්‍රශ්න රැසකටත් මුහුණදීමටය.
දිගින් දිගටම වර්ධනය වන විදුලිබල ඉල්ලුම නිසාත්, ජල විදුලිය නිපදවීමේ උපරිමයකට ළඟාවී ඇති නිසාත් 1980 දශකයේ මැද භාගයේ සිට ගල්අඟුරු විදුලි තාක්ෂණය සඳහා ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුවිය. 1992 දී මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුත් පළමු ගල්අඟුරු බලාගාරය ත්‍රිකුණාමලයේ ඉදිකිරීමට යෝජනා කෙරිණි. එයට එරෙහිව පැනනැගුණු මහජන උද්ඝෝෂණ නිසා ඒ යෝජනාව ක්‍රියාත්මක නොවීය.
“අපි මේ බලාගාරයට මුල සිටම විරුද්ධ වුණේ නිසි තාක්ෂණය භාවිත නොකර එය ඉදිකිරීම නිසාය. ඉවතලන අපද්‍රව්‍ය බැහැර කිරීමටත් නිසි ක්‍රමවේදයක් නැහැ. පරිසර ආරක්ෂණ බලපත්‍රය කල් ඉකුත් වෙලා වසරකට ආසන්නයි. එය අලුත් කරගැනීමට එහි බලධාරීන් කටයුතු කර නැහැ. මේ තරම් විශාල පරිසර හානියක් සිදුවුවත් ඒ ගැන පරිසරය භාර අමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා සොයා නොබැලීම කනගාටුදායකයි.” පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පැවසුවේය. ඔහු අප සමඟ කීවේ බලාගාරයෙන් පිටවී සුළඟේ පාවෙන අළු චිමිනියේ රඳවා පහළට හෙළන ඒකකය කැඩී තිබීම නිසා පෙබරවාරි මාසයේ සිට බලාගාරයේ අළු ජලය සමඟ එක්කොට මුහුදට දමන බවයි. අනෙක් පිරිපහදු ඒකක හතරත් කැඩිලා. ඒ නිසා සියලු අපද්‍රව්‍ය පිරිපහදු කිරීමකින් තොරව මුහුදට හෙළනවා. මේ නිසා අවට වර්ග කිලෝමීටර් 100ක පමණ මුහුදු ප්‍රදේශයේ දැඩි පරිසර දූෂණයකට ලක්වී ඇති බවත් හේමන්ත විතානගේ මහතා කීවේය.
අද බලාගාරය අවට විශාල කඳු වශයෙන් ඉන් ඉවත්වන අළු ගොඩගසා තිබෙන අතර ජනතාවට ජීවත් වීමට නුසුදුසු තත්ත්වයක් නිර්මාණය වී තිබේ. දිනකට ඉන් පිටකරන අළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 910 කි. මුලදී සිමෙන්ති නිෂ්පාදනයට අළු රැගෙන ගියත් එය දිගින් දිගටම ක්‍රියාත්මක වූයේ නැහැ. අළු නැවත භාවිත කර සිමෙන්ති තැනීම, මහාමාර්ග තැනීමේදී තාර සමඟ මිශ්‍රකිරීම ආදිය සුරංගනා කතා වී ඇත.
ගල්අඟුරුවලින් ඉවත්වන අළු නිසා නොරොච්චෝලේ ජන ජීවිතය බිඳවැටී අවසානය. ඔවුන්ට රෙද්දක් අව්වේ වියළාගැනීමටවත් නොහැකි පරිදි අළු ධූලි පරිසරයේ සංසරණය වේ. ගල්අඟුරු අළු පිළිබඳව අධ්‍යයනයක යෙදුණු විශේෂඥ වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු බී.බී.සී සිංහල සේවයට අදහස් දක්වමින් මෙලෙස පැවසුවාය. “මිනිස් සිරුරට ඉතා අහිතකර රසායන ද්‍රව්‍ය මේ නිසා සිරුරට ඇතුළුවීමට පුළුවන්. අඟුරු කුඩු හා අළු නිසා වාතය මෙන්ම ජලයද අපිරිසුදු වෙනවා. පෙනහළු ආශ්‍රිත රෝග, චර්ම රෝග, පිළිකා, වකුගඩු රෝග හා හදවත් රෝගත් ඇතිවිය හැකියි. මෙවැනි තත්ත්ව නොරොච්චෝලේ අවටත් දැනටත් වාර්තා වී තිබෙනවා.”
විදුලිය අත්‍යවශ්‍ය බව සැබෑවකි. ලෝකයම පොසිල ඉන්ධන දහනය වෙනුවට විකල්ප බලශක්ති ප්‍රභව වෙත ගමන් කරමින් සිටී. නමුත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සඳහා මූලික ප්‍රාග්ධනය ඉහළ අගයක් ගනී. එය ලංකාව වැනි රටවලට දරාගත නොහැකිය. පරිසරවේදී සජීව චාමිකර පවසන්නේ ලංකාවේ සුද්දන්ගේ කාලේ සිට තිබෙන ජලවිදුලි බලාගාරවල පැරණි ටර්බයින් වෙනුවට නවීන තාක්ෂණය යොදාගෙන වැඩි විදුලිය ප්‍රමාණයක් නිපදවීමට අපි මුලින්ම කටයුතු කළ යුතු බවයි.
♦ කුසුම්සිරි විජයවර්ධන
මාෆියාවකට යටවෙලා
I පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසර විද්‍යාඥ හේමන්ත විතානගේ
“අවුරුදු 30 ක් පැරණි බලාගාරයක් තමයි මෙතන සවිකළේ. ඒ නිසා සවිකළ දා සිටම ගැටලු මතුවෙනවා. විටින් විට සැර ගඳ සහිත වායුවක් නිකුත් වෙනවා. සුළඟ එන විදිහට මෙහි ධූලි පිටවන දිසාව වෙනස් වෙනවා. පසුගිය කාලයේ මුහුද පැත්තට ගිය ධූලි අංශු තව ටික කලකින් සුළඟේ වෙනස්වීමත් සමඟ රට ඇතුළට යන්න පටන් ගන්නවා. මේ බලාගාරය ජනතාවටත් හානි කරනවා. ආර්ථික වශයෙන් වාසියකුත් නැහැ. මෙහෙම දුර්වල බලාගාරයක් පවතින අතරම විදුලිබල මණ්ඩලය ඇතුළේ ඉන්න ගල්අඟුරු මාෆියාව අලුතින් ගල්අඟුරැ බලාගාර ඉදිකිරීමටත් යෝජනා කරනවා.
මෙයින් නිකුත් වන්නේ ඉතා සියුම් මයික්‍රොමීටර්වලින් මැනිය හැකි ධූලි අංශුයි. ඒවා සුළඟත් සමඟ අනුරාධපුරය පැත්තට යාමේ හැකියාව තිබෙනවා.”
ගල්අඟුරු ප්‍රමිතිය ඉදිරියේදී සලකා බලනවා
I සුලක්ෂණ ජයවර්ධන (ලංවිම)
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන බී.බී.සී සන්දේශයට කළ අදහස් දැක්වීමකදී කියා තිබුණේ ඕනෑම බලාගාරයකින් පරිසර හානියක් සිදුවන බවය. ඔහු එහිදී මෙසේද ප්‍රකාශ කර තිබිණි.
ප්‍රමිතියකින් තොරව ශ්‍රී ලංකාවට මීට පෙර ගල්අඟුරු ආනයනය කර ඇති අතර පරිසර හානියට එය හේතුවක් වී තිබෙනවා.
බලාගාරය හේතුවෙන් පරිසර හානියක් සිදුවෙනවා. ඉන් ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නවා කියල පසුගිය කාලය පුරාම පැමිණිලි ලැබිලා තියෙනවා. ජනතාව පීඩාවට පත්වෙලා තියෙන්නේ අළු මිශ්‍ර සුළං සමඟ ගසාගෙන යාමෙන්. මේ අනුව යම් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භවෙලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී සුළං බාධකයක් ඉදිකිරීමට නියමිතයි.
ඕනෑම බලාගාරයකින් යම් පරිසර හානියක් සිදුවෙනවා. යම් අඩුපාඩුවක් සිදුවෙනවා නම් එය මුල් අවස්ථාවේ හඳුනාගැනීමක් සිදුනොවුණා නම් ඉදිරියේදී හෝ හඳුනාගන්න වෙනවා. විශේෂයෙන්ම බලාගාරය සඳහා රැගෙන එන ගල්අඟුරුවල ප්‍රමිතිය පිළිබඳ ඉදිරි ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සලකා බලා කටයුතු කිරීමටත් තීරණය වී තිබෙනවා.”
ලෝකයේ දැන් පිරිසුදු ගල්අඟුරු නෑ
I පරිසරවේදී සජීව චාමිකර
“ලෝකයේ පිරිසුදු ගල්අඟුරු ඉවරයි. නොරොච්චෝලේ පාවිච්චි කරන්නෙත් අපද්‍රව්‍ය බහුල ගල්අඟුරු. ලෝකයේ සම්පතක් විදිහට අද ගල්අඟුරු ක්ෂය වෙමින් යනවා. ඒකයි ලෝකයේ රටවල ස්වභාවික වායු බලාගාර (LNG) තාක්ෂණයට ගමන් කරන්නේ. ගල්අඟුරු මිලදීගැනීමට වැඩි මුදලක් දීමටත් සිදුවෙලා. මේ නිසා නිලධාරීන් වංචාසහගත ලෙස කොමිස් මුදල් සෙවීමටත් පෙළඹී තිබෙනවා. 2011 – 2030 ජාතික භෞතික සැලැස්මේ අලුත් ගල්අඟුරු බලාගාර ඉදිකිරීමේ යෝජනා තිබෙනවා. ඒකට ඉන්දියාව, චීනය වගේ රටවල බලපෑම් ලැබී තිබෙනවා.
නොදැවුණු කාබන් අංශු හා දූවිලි නිසා බලාගාරය අවට ජනතාව පීඩාවට පත්වෙලා. බලාගාරය වටා කිලෝමීටර් 3 ක් ඇතුළත ජනතාවගේ ශ්වසන රෝග හා ඇස් රෝග ඉතා බහුලයි. කුඩා දරුවන්ගේ මේ තත්ත්වය සුලබයි. පාසල් දරුවන්ට ඉගෙන ගැනීමත් අපහසුයි. මේ අළු වගාබිම්වල තැන්පත් වීම නිසා පසේ පී.එච්. අගයත් වෙනස් වෙලා. ධීවර ජනතාවටත් බලපෑමක් එල්ලවෙලා. බලාගාරයේ දුම් බටය උසින් අඩුවී තිබෙන්නේ අළුවල බර ගතිය වැඩි නිසයි. දුම් චිමිනි ඉහළට දැමුවොත් අපද්‍රව්‍ය එතරම් ඉහළට ගමන් කරන්නේ නැහැ.”