ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් තබන ලද ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුම (SLSFTA) පිළිබඳ සෑම පාර්ශ්වයකින්ම විරෝධතා එල්ලවෙමින් තිබේ. මේ ගිවිසුමෙන් රටට සිදුවන හානිය පිළිබඳ රටේ පොදු ජනතාවට වඩා විවිධ උගතුන්, බුද්ධිමතුන් සහ විද්වතුන් විවිධ අදහස් ඉදිරිපත් කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. මෙම ගිවිසුමෙන් ආවරණය වන ක්ෂේත්‍ර හා විෂයන් පිළිබඳ දැනුම්වත් වී ඇති අය විරලය. විශේෂයෙන්ම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පවා මේ පිළිබඳ දන්නේ අල්ප වශයෙනි. එයට හේතුව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම අමාත්‍ය මණ්ඩලයට පවා ඉදිරිපත් නොකර, පාර්ලිමේන්තුවට හෝ නොදන්වා මෙම ගිවිසුම හොර රහසේ අත්සන් කිරීම බව කියැවේ. මෙලෙස රහසිගතව අත්සන් කිරීම සිදුකර ඇත්තේ සත්‍ය අවබෝධ වුවහොත් විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුද රටේ විද්වතුන් සහ අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ද එයට විරුද්ධ වනු ඇතැයි උපකල්පනය කිරීම නිසා විය හැකිය.
යමක් රහස්‍ය වන තරමටම එහි අභ්‍යන්තරය පිළිබඳ දැනගැනීමේ කුතුහලයක් පැනනැගීම ධර්මතාවයකි. එය මේ ගිවිසුම ගැන පමණක් නොව, රහස්‍ය සැමදෙයටම වලංගු වන්නකි. වැඩියෙන් අවධානය යොමුවෙන්නේ රහස්‍ය වූ තරමටය. මේ පිළිබඳ විරෝධතා එල්ලවන විට මලික් සමරවික්‍රම ඇමැතිවරයා පාර්ලිමේන්තුව තුළදී සහ මාධ්‍යවලට පැවසුවේ මේ ගිවිසුමෙන් කිසිදු හානියක් සිදුනොවන අතර එය රටට වාසිසහගත වන බවය. එසේ වාසි ලැබෙන්නේ නම් ඒ පිළිබඳ ජනතාවට වසන් කරන්නේ කුමක් නිසාද යන ගැටලුව පැනනගී. ඒ ගැන පාරදෘශ්‍යභාවයකින් කටයුතු නොකරන්නේ ඇයිද යන්න විමසිය යුතුව ඇත.
පසුගිය සමයේ ඉන්දියාව සමඟ අත්සන් කිරීමට ගිය එට්කා නිදහස් වෙළෙඳ ගිවිසුම හා සීෆා ගිවිසුම පිළිබඳ විශාල මහජන විරෝධයක් ඇතිවීම නිසා ඒවා අත්සන් කිරීම ඇණහිට තිබේ. ඒ පිළිබඳවද විරෝධතාකරුවන් පැවසුවේ ඒවා ඉන්දියාවට වාසිසහගත වන ශ්‍රී ලංකාවට අවාසිය ගෙන දෙන ගිවිසුම් බවය. මෙම සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳවද ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ එය ඉන්දියාව හා අත්සන් කිරීමට උත්සාහ කළ ගිවිසුම්වලට වඩා භයානක බවය. එයට හේතුව සිංගප්පූරුව බදු අය නොකරන ආයෝජනවලට නිදහස් රටක් වීමය. ඒ රටේ අයට නිදහසේ මෙහි පැමිණීමට, ආයෝජන කිරීමට අවකාශ සැලසීම ශ්‍රී ලංකාවට විශාල වශයෙන් අහිතකර බව පැවසේ.
අනිත් අතට මෙම සිංගප්පූරු ගිවිසුමේ අඩංගු කරුණු මොනවාද යන්න විවෘතව ප්‍රකාශයට පත් කර නොමැත. ඒ නිසා ඒ පිළිබඳ සාකච්ඡා කළ හැක්කේ කළුවරේ අතගානවා මෙන්ය. එසේ නැතිනම් ඇස් බැඳගෙන ගසක ගෙඩිවලට ගල් ගසන්නා සේය. ඒ තරමටම අවිනිශ්චිතය.
එසේම මෙම ගිවිසුම අත්සන් කිරීමට නීත්‍යානුකූල ක්‍රමවේදය අනුගමනය කර නොමැත. ඒ නිසා ඒ පිළිබඳ වලංගුභාවයක් නොමැති අතර ක්‍රියාත්මක කළ නොහැකි බවටද මතයක් පවතී. එහෙත් ඒ බව දැන දැන ආණ්ඩුව මෙය ක්‍රියාත්මක කිරීමට යාවිද යන්නද ගැටලුසහගතය. කෙසේ වුවද මේ වන විට ගිවිසුමට එරෙහිව ගෙන ඇති පියවර කිහිපයක් වෙයි. මුලින්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ. එහි සභාපති නීතිඥ උදය රොහාන් ද සිල්වා, ඇමැති මලික් සමරවික්‍රම සහ ආණ්ඩුව වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. මෙම ගිවිසුම අත්සන් කළද එය ක්‍රියාත්මක කිරීමට බලයක් නොමැති අතර නියමිත පටිපාටියෙන් බැහැරව, අමාත්‍ය මණ්ඩලයේ හා පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව හොර රහසේ අත්සන් කර ඇති බව එම පෙත්සමේ ප්‍රකාශ කර තිබේ. ඔහු පවසන්නේ සිංගප්පූරුවට වාසි ගෙන දෙන මෙම ගිවිසුම නිසා අනාගතයේදී බංගලිදේශිකයකුට වුවද සිංගප්පූරුව හරහා මෙරටට පැමිණ අඩු මුදලට ශ්‍රමය සැපයිය හැකි බවයි. මේ වන විට ඉන්දීය හා චීන ජාතිකයන් ශ්‍රමය සඳහා ශ්‍රී ලංකාවට පැමිණියද එහි යම් සීමාකිරීම් තිබෙන අතර මේ ගිවිසුම අනුව එම සීමාවන්ද ඉවත් කර ඇති බව කියයි. කිසිදු වෘත්තියවේදියකු සමඟ සාකච්ඡා නොකර තැනූ කෙටුම්පතක් අනුව අත්සන් කළ මෙම ගිවිසුම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස සභාපතිවරයා ඉල්ලා ඇත.
ඒ අතර පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කිරීමට යන මෙම ගිවිසුමට එරෙහිව රට පුරා රෝහල්වල එකදිනක සංකේත වැඩවර්ජනයක් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පසුගිය 17 වන දින සිදුකළේය. එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ සැබෑ ජාතික ප්‍රතිපත්තියක් බිහිකරන තුරු මෙවැනි අත්තනෝමතික ක්‍රියා වලින් වැළැකී සිටින බවට බලධාරීන්ගෙන් සහතිකයක් ලැබෙනතුරු විරෝධතා සිදු කරන බවය
මෙම ගිවිසුමෙන් සිදුවන ආර්ථික හානිය පිළිබඳ කරුණු දක්වන කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ පවසන්නේ ගිවිසුමේ අඩංගු කරුණු පිළිබඳ තවමත් හරි හැටි විවෘත වී නැති නිසා බොහෝදෙනා වික්ෂිප්තභාවයට පත්ව ඇති බවය. මෙහි සේවා සැපයුම් හා ආයෝජන යන විෂයවලින් එරටට වාසිසහගත වන සේ සකස් කර ඇති බැවින් අපේ රට සහ ජනතාව පිළිබඳ හැඟීමක් නැතිව ගිවිසුමට එළඹ ඇති බව ඇය කියයි.
“අප ඕනෑම ගිවිසුමකට අත්සන් කළ යුත්තේ අපට වාසිසහගත වන අයුරුයි. අපට අවාසි සිදුවන වෙනත් පාර්ශ්වයකට වාසි ලැබෙන අන්දමින් ගිවිසුම් සකස් කරලා ක්‍රියාත්මක කිරීමට යනවා නම් එය විශාල අපරාධයක්. කොහොම වුණත් ගිවිසුම ක්‍රියාත්මක කළහොත් තමා එයින් සිදුවන ප්‍රතිඵල අවබෝධ වන්නේ. එසේම මෙය පාරදෘශ්‍යභාවයකින් තොරව තනි මතයකට තනලා ඇතැයි කියන විට පෙනෙන්නේ මෙහි රහසේ යමක් සිදුවන බවයි. අපේ රටේ ශ්‍රමිකයන්ට සහ දේශීය නිෂ්පාදනවලට මේ ගිවිසුම නිසා හානියක් විය හැකි බවට බොහෝ දෙනා කියනවා. අපේ රටට සිංගප්පූරු නිෂ්පාදන බදු රහිතව ගෙනැවිත් වෙළෙඳාම් කළ හැකි නම් එය දේශීය නිෂ්පාදනවලට අහිතකර ලෙස බලපානවා. එසේම අපේ ශ්‍රමිකයන්ට වඩා අඩු මුදලට අපේ අයට වඩා පුහුණු අය මෙහෙට එනවා නම් එය විශාල හානියක්. ඔවුන්ගේ ශ්‍රමයේ අගය අවතක්සේරුවට ලක්වෙනවා. එසේම රටේ ආයෝජන අවස්ථා පුළුල් කරනවා යැයි කියලා ඕනෑ කෙනකුට නිදහසේ ඇවිත් ඕනෑම දෙයක් කළ හැකි නම් එයින් සිදුවන්නේ යහපතට වඩා අයහපතක්. එහෙම ආයෝජනවලින් අපට වැඩක් නැහැ. එසේම ඔවුන් ගෙනෙන විදේශ විනිමය අපේ ආර්ථිකයට එකතු විය යුතුයි. එහෙම නැතුව ඒ අය සල්ලි මෙහෙ ගෙනත් ඒවායින් විශාල මුදලක් උපයලා ඒ සල්ලි සියල්ල ආපහු අරන් යනවා නම් අපට වෙන්නේ විශාල අවාසියක්.
දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියන් පවසන්නේ ද්විපාර්ශ්විකව අත්සන් කරන රටට හා ජනතාවට ජාතික වැදගත්කමකින් යුතු ගිවිසුම් පිළිබඳ ජනතාව දැනුම්වත් කළ යුතු බවය. ආණ්ඩුවක් පත්වන්නේ වසර 5 – 6 වන කෙටි කාලයකටය. ඒ අයට ජාතික වැදගත් දේවල් පිළිබඳ එසේ තනි මතයට කටයුතු කිරීමට නිදහස දී නොමැත. ඒ නිසා ඒ පිළිබඳ සංවාදයක් ඇතිකර ජනතා මතය ලබාගෙන ක්‍රියාත්මක කළ යුතු වේ. තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා රට පාවාදෙන ගිවිසුම් ගැසිය යුතු නැත. හම්බන්තොට වරාය විකිණීම, මධ්‍යම අධිවේගය, බැඳුම්කර අලෙවිය වගේ දේවල් හරහා මේ ආණ්ඩුව විශාල ලෙස ජනතා මුදල් අවභාවිත කළ බවට චෝදනා නැගෙන අතර මෙම ගිවිසුමද ඒ ගොඩට එකතු විය හැකිය.
“දේශපාලන වාසි ලබාගන්නා අවස්ථාවල ආණ්ඩුව කුඩා දේවල් වුණත් ලොකු කර ජනතාව අතරට ගෙනියනවා. එහෙත් මෙය රහසිගතව තබාගෙන ඇත්තේ එයින් රටට හානි සිදුවන නිසයි. මලික් ඇමැතිවරයාගේ වැඩ ගැන ජනතාව පැහැදීමකින් යුතුව බලන්නේ නැහැ. ඔහුගේ ඇතැම් ක්‍රියා ගැටලුසහගතයි.
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ සිංගප්පූරු ගිවිසුමේ ඇති අතිශය වගකීම් රහිත ස්වභාවය විද්වතුන් වෘත්තිකයන් පෙන්වා දී ඇති බවයි. එසේ වුවද එය පිළිනොගෙන ඇත්තේ ජාත්‍යන්තර ජාල තුළ කටයුතු කරමින් විශේෂ වාසි ලබාගන්නා පිරිසක් මේ ප්‍රශ්නය තුළ සිටින නිසයි. අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම් එවැනි ආණ්ඩු ක්‍රමයක් පිළිබඳ විශ්වාසය තබාගෙන සිටිනවා නම් මෙහිදී සිදුවන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව පිළිබඳ අවධානය යොමුකළ යුතු බව ඔහු කියයි.
“මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධානම අංගයක් බවට පත්ව ඇත්තේ නිදහස් වෙළෙඳාමයි. නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට රජය ප්‍රමුඛත්වයක් ලබාදීලා තියෙන බව පෙනෙනවා. එහෙත් මෙය පදනම් වන්නේ දැනට ජාත්‍යන්තරව විවේචනයට ලක්වූ අසාර්ථක ආර්ථික දැක්මක් මතයි. මෙම ගිවිසුමට එළැඹීම සිදුව ඇත්තේ ඉතාම රහසිගත අයුරෙනුයි. අනිත් අතට මෙහි ඇති මේ ගිවිසුමේ වගන්ති අතිශය තාක්ෂණික ස්වභාවයෙන් යුක්ත අතර එය සාමාන්‍ය ජනතාවට තේරුම්ගත නොහැකියි. ඉතාම සියුම් විශේෂඥ ඥානයක් තියෙන කෙනකුට පමණයි මෙහි භාෂාව පවා තේරැම් ගැනීමට හැකිවන්නේ. ඒ නිසා මේ තත්ත්වය මත ඒ අයට මෙම අපැහැදිලිභාවයෙන් ප්‍රයෝජන ගෙන මේ භයානක ක්‍රියාවලියේ නිරතවන්න පුළුවන් වෙලා තියෙනවා.
අද වනවිට මහජනතාවට බලපාන ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් තමන්ටම වෙන්වූ විශේෂිත අරමුණු තිබෙන පිරිසක් හොර රහසේ තීරණ ගන්නා බවක් පෙනෙනවා. මෙම තත්ත්වය වෙනස් කිරීමට ජනතාව කටයුතු කළ යුතු අතර මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ආපසු හැරවීමට බලපෑම් කළ යුතුයි. ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී පාරදෘශ්‍යභාවය අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා පත්කිරීමේ සමස්ත කතිකාවේ අන්තර්ගත වූ දෙයක්. අල්ලස දූෂණය කියන්නේ පගා මුදල් ගැනීම පමණක් කියලා සමාජයේ අදහසක් තිබෙනවා. එහෙත් එය වැරදියි. මෙවැනි අවස්ථා දූෂණයේ ඉහළම තත්ත්වය වෙනවා.
ඒකාබද්ධ වෘත්තියවේදීන්ගේ ව්‍යාපාරයේ තාක්ෂණික කමිටු සම්බන්ධීකාරක අරුණ කාන්ත බණ්ඩාර,“ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම නිසා මෙතෙක් මෙරට සිදුවූ විශාලතම වංචාව සිදුවීමේ අවදානම් අවස්ථාවට පත්ව තියෙනවා. මේ මගින් භාණ්ඩ 3000 ක් පමණ බදුවලින් නිදහස්ව මෙරටට රැගෙන ඒමට හැකිවෙනවා. ධාන්‍ය වර්ග, පළතුරු, මත්ස්‍ය නිෂ්පාදන වැනි බොහෝ දේවල් ඒ අතර වෙනවා. මෙම තත්ත්වය සිංගප්පූරුවට ලැබෙන සුවිශේෂී වාසියක්. එමගින් අපේ දේශීය නිෂ්පාදනවලට සිදුවන අසාධාරණය විශාලයි. මෙය ඉතාම භයානක ප්‍රතිඵල ගෙන දෙන ගිවිසුමක් වන අතර මෙහි භයානකකම පැති කිහිපයකින් සිදුවෙනවා. රටට යළි නැගීසිටීමට නොහැකිවන සේ කඩාවැටීමේ අවදානමක් ඇති නිසා සියලු ස්වදේශිකයන් මෙයට එරෙහි විය යුතුයි.”
මව්බිම ලංකා පදනමේ කුලතුංග රාජපක්ෂ පවසන්නේ ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමේ නිරීක්ෂකයකු ලෙසට තමා සහභාගි වූ බවයි. සිංගප්පූරුව සියයට 99ක්ම බදුවලින් නිදහස් රටක් වන නිසා එරට භාණ්ඩ නිදහසේ අපේ රටට ගලා එන්න පුළුවන්. සිංගප්පූරුවේ නිෂ්පාදිත භාණ්ඩ විවිධ විදියට අර්ථ දක්වලා අපට එවන්න මෙමගින් අවස්ථාව ලැබී තිබෙනවා. මේ ගිවිසුම නිසා භාණ්ඩ හා සේවා යන දෙආකාරයෙන්ම අපට සිදුවන්නේ අයහපතක් මිස යහපතක් නොවෙයි.
යම් වෙළෙඳ ගිවිසුමක් අපි අත්සන් කරන්න ඕනෑ අපේ රටට වාසිවන විදියටයි. මේ ගිවිසුමෙන් අපට ලැබෙන වාසියක් නොමැති අතර සිංගප්පූරුවට ලැබෙන වාසි වැඩියි. මෙය අත්සන් කරන්නේ භාණ්ඩ පිළිබඳව නම් එරටට වැඩිපුර භාණ්ඩ අපනයනය කරන්න අපට හැකිවෙන්න ඕනෑ. එහෙත් එහිදී සිදුව ඇත්තේ අපට නොව සිංගප්පූරුවට අපනයන ඉහළ නැංවීමට නිදහස හා අවස්ථාව වැඩියෙන් දීමයි. මෙම ගිවිසුම කෙටි කාලයක් ක්‍රියාත්මක කළත් අපට ලැබෙන අවාසි බහුලයි. මෙය අපේ රට ගැන හිතලා කෙටුම්පත් කළ ගිවිසුමක් නොවෙයි. ඒ නිසා එය ක්‍රියාත්මක කිරීමට විරුද්ධ විය යුතුය.
►යසවර්ධන රුද්රිගු