2018 මැයි 19 වන සෙනසුරාදා

විවාහයේ ඉත්තෝ අදින ග්‍රහයෝ

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2057

කෙනකුගේ විවාහය දෙආකාරයකින් සිදුවිය හැක. ආදරයක ප්‍රතිඵලයක් වශයෙන් මෙන්ම යෝජනාවක් නිසාද විවාහ වන්නෝ සිටිති. මේ විවාහ දෙකෙන් කුමක් සාර්ථක වේද? අසාර්ථක වේද? කියා පැවසිය නොහැක. ආදර විවාහ අසාර්ථක වන අවස්ථා මෙන්ම යෝජිත විවාහ අසාර්ථක වීම්ද සිදුවේ. විවාහය සාර්ථක අසාර්ථක වීමට ග්‍රහ බලපෑම් මෙන්ම විවාහයෙන් පසු එකිනෙකාගේ හැසිරීම්ද බලපායි.

කෙසේ වුවද කෙනකුගේ ජන්ම කේන්ද්‍රයක ග්‍රහයන් පිහිටන ආකාරය අනුව ඔහුගේ හෝ ඇයගේ විවාහය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලිව අවබෝධ කරගත හැකිය.

කේන්ද්‍රයක කොටුවල 5 වැනි කොටුව ප්‍රේමය, ආදරය නියෝජනය කරන ස්ථානය වේ. 11 කොටුව මිත්‍රයන් සහ මිත්‍ර ඇසුර නිරූපණය කරයි. ග්‍රහයන් අතරින් සිකුරු ග්‍රහයා ප්‍රේමය, ආදරයට බලපාන අතර කෙනකුගේ සිත හා සිතුවිලි ප්‍රකාශ කරන්නේ සඳුගෙනි. මේ අනුව තරුණ තරුණියන් ප්‍රේම සබඳතාවලට යොමුවීමේදී ජන්ම කේන්ද්‍රයේ 5 හා 11 වැන්නද සිකුරු හා සඳු යන ග්‍රහයන්ද බලපානු ඇත.

පස්වැන්න පාපී පීඩාවකට ලක්වූ විට පෙම් සබඳතා බිඳවැටෙන හේතු ඇතිවේ. සඳු, සිකුරු යෝග වී 11 වැන්නේ සිටී නම් පෙම් සබඳතා වර්ධනය වේ. ගුරැගේ දෘෂ්ටියට මෙම යෝගය අසුවුවහොත් උගත්, ධනවත් අයෙකු තම පෙම්වතා හෝ පෙම්වතිය වනවා ඇත. හත්වැන්නාධිපති බලවත් වී හත්වැන්නේ ශුභව පිහිටි විට ඒ අය පෙම් සබඳතා තුළින්ම යුගදිවියට පිවිසීමට භාග්‍යවන්ත වේ.

පස්වැන්න අධිපතියා හත්වැන්න අධිපතියා සමඟ යෝගවීම, පූර්ණ චන්ද්‍රයාගේ දෘෂ්ටියට ලක්වීම පෙම් බැඳුම් පිළිබඳ සුබවාදී ග්‍රහ පිහිටීමකි. මේ අය යුග දිවියට පිවිසෙන්නේ ආදරය, ප්‍රේමය වැළඳගෙනය. පස්වැන්නාධිපති හෝ සඳු, සිකුරු යෝග බලයෙන් සිටියදී රාහු, අඟහරු වැනි පාප ග්‍රහයන් හා එක්වූ විට හෝ එම දෘෂ්ටි ලැබූ විට පෙම් සබඳතා ස්ථිර නොවේ.

හත අධිපති සිව්වැන්නට ගමන් කරයිද, සිව්වැන්න අධිපති එකොළොස්වැන්නේ පදිංචි වී සිටී නම් එය ඉතාම භාග්‍යවන්ත පිහිටීමකි. එවැනි ග්‍රහ පිහිටීම් ඇති අයගේ විවාහ සිදුවන්නේ ආත්ම ගණනාවක් පෙරුම්පුරා පැතූ අයුරිනි. මෙහිදී තම පෙම්වතා හෝ පෙම්වතිය හමුවන්නේ තම නිවෙසේදී, නැතිනම් අතරමඟකදී හෝ ගමන් කරන වාහනයකදී විය හැක. විශේෂයෙන්ම මංගල උත්සව හෝ වෙනත් ප්‍රිය සම්භාෂණයකදී වන්නට පුළුවන.

හත්වැන්නාධිපති සිව්වැන්නේ හිමිකාරයා වූ විටෙක එම හමුවීමද පෙර ආත්ම භවයකදී සිට පතාගෙන ආ එකක් විය හැකිය. එය කිසිම බලවේගයකට වෙනස් කළ නොහැක. මෙවැනි ප්‍රබල යෝග බලයක් ඇතිව විවාහ වුවහොත් ඉදිරි ජීවිතය සියලු යස ඉසුරෙන් පිරැණු වාසනාවන්ත එකක් වෙයි.

සිව්වැන්නාධිපති හා හත්වැන්නාධිපති ශුභ ග්‍රහයන්ට දර්ශනය වන අයුරු සිව්වැන්නේ ජනිත වුවහොත් එයද දෙදෙනා සතුටෙන් යුගදිවිය ගෙවීමට හේතු වේ. ඔවුන් අතර බැඳි ආදරය, සෙනෙහස ජීවිත අවසන් වනතුරුම පවතී. එසේම හත අධිපතියා තිර රැසක නම් ජීවිතාන්තය දක්වා ප්‍රේමයෙන් වෙලී සමගිව ජීවත් විය හැකිවේ. හත්වැන්නාධිපති පස්වැන්නාධිපති සමඟ සිටී නම් එයද සාර්ථක ආදර විවාහයක් වේ.

සඳු, බුධ, කුජ යන ග්‍රහයන් තිදෙනා 5 වැන්නේ සිටී නම් එවැන්නෝ ගැටවර වියේ පටන් පෙම් සබඳතා පවත්වාගෙන ගොස් සාර්ථක විවාහයකින් කෙළවර දකිති. එහෙත් විවාහය සිදුවන්නේ බලවත්ව සිටින ග්‍රහයාට අනුවය. 7 වැන්න අධිපති 5 වැන්නේ සිටී නම් විරෝධතා නැතුව ආදරය කර විවාහ වනු ඇත. 10 හා 11 යන ස්ථානවල ගුරු සිටීමද ප්‍රේමයෙන් ජයග්‍රහණය කරන සාර්ථක විවාහයක් පෙන්වයි.

► විශේෂ ජ්‍යොතිෂවේදියකු විසිනි.