මහ වැසි ඇද හැළුණු පසුගිය සතියේ සවසක මා නගරයේ අවන්හලට ගොඩ වූයේ එදින බිරිඳ හෝ පමාවට කාරණා නොඅසන බැවිනි. බස් නැවතුම්පළ ඇතුළු බොහෝ තැන් ජලයෙන් යට වී තිබුණි. කැලණි ගඟ ද පිටාර මට්ටමට ළංවී ඇතැයි වරින් වර ප්‍රකාශයට පත් කෙරිණි. හෙට වැඩට යාමද අවදානම් විය හැකිය. එහෙයින් තරමක් ප්‍රමාද වී ගෙදර යාමේ කිසිදු වරදක් නැත.
වැඩ කරන ජනතාවගේ සැඳෑ විනෝද මාර්ගයට බාධා පැමිණවීමෙන් පසු අවන්හලට එන පිරිස් අඩු වුණි. හීන් අඩියක් ගසමින්, කඩල ඇටයක් සපමින් දවසේ විඩාව නිවාගත් මිනිසුන්, තනි තනිව කාලක්‍රියා කිරීමේ ආත්මාර්ථකාමී පිළිවෙතකට පිවිසුණි. හඳුනන, නාඳුනන උදවිය සමඟ උරෙනුර ගැටෙමින්, දුක සැප බෙදා ගන්නා පැරණි ක්‍රමය අභාවයට ගියේය. ඇති එකාට තිතට මතක්, නැති එකාට මතට තිතක් යන ක්‍රමය ක්‍රියාත්මක වුණි.
තද වැසි දිනයක් හෙයින්දෝ, අවන්හල තුළ වෙනදාට වැඩි සෙනඟක් විය. මගේ මේසයට නුදුරින් මැදි වියේ පුද්ගලයන් දෙදෙනෙක් තරමක් උස් හඬින් කතා බස් කරමින් සිටිති.
ඇත්තද බං ජෙනරාල් වැඳලා සමාව ගත්තය කියන්නේ? එකෙක් අසයි.
උන්නැහේ දෝත් මුදුන් දීලා වැන්දත්, දෙපා මුල වැටිලා වැන්දත් අපිට මොකද බං?
අනෙකා පිළිතුරු දෙයි.
එතකොට අර ඇමැතිතුමාගේ ත්‍රස්තවාදී කතාව ගැන මොකද කියන්නේ?
අනේ අපිට මොකද බං? ඒක එතුමගේ අදහසනේ. යුද්දේ ඉවර වෙලා කොච්චර කල්ද.. දැන් මොකටද ඔය කුණු කන්දල් අවුස්සගෙන දඟලන්නේ.
අර මාධ්‍යවේදියා ඇමැතිත් එක්ක ෆේස් ටු ෆේස් ආගිව් කරපු එකනම් මාරයි නේද බං?
ඕවත් අර ඇක්ෂන් ෆිල්ම්වල තියෙන කැමරා ට්‍රික්ස් වගේ තමයි. අපි ඒ වෙලාවට පොඩි ආතල් එකක් ගන්නවා. ඇක්ටර්ස්ලත් තව තවත් පිම්බෙනවා ස්ටන්ට්ස්ලගේ පිහිටෙන්.
උඹ හැම එකක් ගැනම අනිත් පැත්තටනේ බලන්නේ. හැම තිස්සෙම රෝන් සයිඩ්
මගේ අදහස මේකයි. ජෙනරාල් කාට වැන්දත් ඇමැතිතුමා මොකාට ත්‍රස්තවාදියා කිව්වත් මේ දවස්වල අපිට තියෙන ප්‍රශ්න විසඳෙනවද? එළවළු ගණන් මොකද කියලා අහන්න එකෙක් නෑ. බස් ගාස්තු අඩු කරපියව්, තෙල් මිල බස්සපියව් කියන්න එකෙක් නෑ. අන්න ඒවටනේ ෆේස් ටු ෆේස් කතා කරන්න ඕනේ.
ඇත්ත තමයි බං. දැන්නම් ජීවත් වෙන්ඩ හරි අමාරැයි. මාසේ පඩිය සතියෙන් ඉවර වෙන සයිස් එකක් තියෙන්නේ. මිනිස්සුන්ගෙ මූණුවල කිසි සතුටක් නෑ. හිනාවෙලා ඉන්නේ මැති ඇමතිවරුම විතරයි.
ඉන් පසු දෙදෙනා මොහොතක් නිහඬව කල්පනාවේ නිමග්නව සිටියහ. ඈතින් අකුණක් ගසන හඬ ඇසුණි. තම වීදුරුවට සෝඩා ටිකක් මිශ්‍ර කරගත් පළමු මිත්‍රයා යළි කතාවට බැස්සේය.
අපේ ආත්ම කාලෙදි නම් මේ රටේ ප්‍රශ්න විසඳෙන එකක් නෑ බං. මට දුක අපේ දරුවෝ ගැන.... මේ යන විදිහට ගියොත් උන්ට ඉතිරි වෙයි සෝමාලියාව වගේ රටක්.
අපිත් මේ ඉන්න විදිහටම කම්මලේ බල්ලෝ වගේ නිදාගෙන හිටියොත්, ඒක එහෙමම වෙයි.
ඉතින් උඹ කියන්නේ මොනවා කරන්ඩ කියලද? මිනිස්සු නිකම්ම ඉන්නේ නෑනේ. උද්ඝෝෂණය කරනවා. පෙළපාලි යනවා. ඒත් කිසිම විසඳුමක් ලැබෙන්නේ නෑ. පැලැස්තර විතරයි. ඒකනේ ප්‍රශ්නේ.
ජනතාව ස්ට්‍රයික් කරන්ඩ ඕනේ.
මොකද්ද උඹ කිව්වේ?
ඔව්. අපි ස්ට්‍රයික් කරන්ඩ ඕනේ.
ඒ කොහොමද?
බස්වල යන්නේ නෑ. කෝච්චිවල යන්නේ නෑ. වැඩට යන්නේ නෑ. කඩ සාප්පුවලින් බඩු මුට්ටු ගන්නවා. බිල ගෙවන්නේ නෑ. ලයිට් බිල්, වතුර බිල්, ෆෝන් බිල් ආපහු හරවලා යවනවා. ගෙවන්නේ නෑ.
ඒ ඇසූ අනෙක් මිතුරා සිනාසෙන්නට විය.
ඒකනම් නියම අදහස. එතකොටවත් පඩියෙන් මාසේ ගෙවාගන්න පුළුවන් වෙයි.
ෆේස් ටු ෆේස් ෆයිටර්ස්ලා කෑගහන්න ඕන අන්න ඔය වගේ විසඳුම්වලට. තනි තනිව ලකුණු දාගන්ඩ නෙවෙයි.
ඉන්පසු ඔවුහු පානය ද සංවාදය ද අවසන් කොට එතැනින් නික්ම ගියහ.
ඔවුන්ගේ කතාව අසා සිටි මට නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී නාට්‍යකරැවකු වන, ඉතාලි ජාතික ඩාරියෝ ෆෝගේ අපි ගෙවන්නේ නෑ නමැති නාට්‍යය මතකයට නැගුණි.
1974දී ඉතාලියේ මුදලේ අගය හිටි හැටියේම පහත වැටී විශාල ආර්ථික අර්බුදයක් හට ගනී. එක්තරා නගරයක කම්කරු පිරිසක් වැඩ වර්ජනයෙන්ම පලක් නොවන බව තේරුම් ගත් පසු බඩු මිල, විදුලිය, බස් ගාස්තු ආදියට තමන්ට හැකි අන්දමින් ගෙවීමට පටන් ගනිති. සුපිරි වෙළඳසල් වෙත යන දහස් ගණන් ජනයා ආහාර ද්‍රව්‍ය රැගෙන බිල නොගෙවාම පිටවන්නේ මාසය මැදදී වැටුප අවසන් වූ බව කියමිනි. විශාල සෙනඟක් එකවර එසේ කරද්දී පොලීසිය ද අසරණ වෙයි. උපන් ගෙයි කවටයකු වූ (ජෙස්ටර්) ඩාරියෝ ෆෝ මෙම සිද්ධිය වේදිකාවට ගෙන එන්නේ ප්‍රේක්ෂකාගාරය තුළ සිනා වර්ෂාවක් ඇති කරවමිනි.
පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී බස් ගාස්තු සංශෝධනය අනුමත කිරීමට නියමිතව තිබුණි. මා වැඩට යන්නේ පාර්ලිමේන්තු පාර පසු කරගෙනය. කන්ටේනර් සහිත ට්‍රක් රථ පෝලිමක් පාර්ලිමේන්තුව දෙසට ගමන් කරයි. ඒ නිසා රථ වාහන තදබදයකි. අපගේ බසයේ රියැදුරා කවුළුවෙන් පිටතට හිස දමා කන්ටේනර් රියැදුරකුට කතා කළේය.
මොනවද මල්ලි ඔය ගෙනියන්නේ?
අකුණු සන්නායක
ඔච්චර තොගයක්?
ඔව්. පාර්ලිමේන්තුව වටේට හයි කරන්ඩලු යන්නේ.
ඒ ඇසූ රියදුරා අහස දෙස බලාගෙන මොනවදෝ තොල මතුරන්නට ගත්තේය.
- කපිල කුමාර කාලිංග