2018 මැයි 26 වන සෙනසුරාදා

එස්. එම්. එස්. කොටනවා පෙම්හසුන් මැකෙනවා

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 399

ඒ. ආර්. ගර්නි (A.R. Gurney) ගේ Love Letters නම් නාට්‍යයේ සියලුම දෙබස් සමන්විත වී ඇත්තේ දෙදෙනකු විසින් කාලයක් පුරා හුවමාරු කරගත් ආදර හසුන්වලින්ය. මෙලිස්සා සහ ඇන්ඩ_ යන චරිත දෙක ප්‍රේක්ෂකයා ඉදිරියේ වේදිකාව මත පුටු දෙකක් මත හිඳ කුඩා කල පටන් ඔවුහු හුවමාරු කරගත් ආදර හසුන් කියවති. මුළු නාට්‍යයම එපමණකි. මෙම නාට්‍යය පුලිට්සර් සම්මානයට පවා නම් කරනු ලැබූ ප්‍රබල නාට්‍ය රචනාවකි. දෙදෙනකු අතර කාලයක් පුරා හුවමාරු වූ ආදර හසුන් යනු බොළඳ සිතුවිලි සමුදායක එකතුවක් නොව, එක්තරා යුගයක සමාජ දේශපාලන කරුණු මිනිස් සිත් සතන්වලට බලපෑ ආකාරය හෙළි කරන රචනාවක් බවත්, විශ්ව සාහිත්‍ය කෘතියක් බවට පත්වීමේ හැකියාව ඒවා තුළ ඇති බවත් A.R. Gurney අපට පෙන්වා දී තිබේ.

ආදර හසුනකින් කෙරෙනුයේ ප්‍රියයා හෝ ප්‍රියාවිය නිසා යමකු තුළ හටගත් සෙනෙහසක්, ඒ අනුහරණයෙන් සිතේ හටගත් හැඟීමත් ඔහු හෝ ඇය වෙත ප්‍රකාශ කිරීමයි. මිනිසා තුළ අනෙකා කෙරෙහි හටගන්නා ආදරය නම් මනෝභාවය කාලයත් සමඟ වෙනස් වූ බවට සාක්ෂි නැත. එහෙත් ආදරය නම් වූ එම හැඟීම ප්‍රකාශ කරන ආකාරය, නැතහොත් සන්නිවේදනය කරන ආකාරය තාක්ෂණයත් සමඟ සීඝ්‍ර වෙනසකට ලක්ව ඇත්තේය. වසර හාරදහස් පන්සියයක් පුරා වෙනස් වීමට ලක්ව ඇත්තේ ආදරය ප්‍රකාශ කිරීමට යොදා ගන්නා භෞතික මාධ්‍යයන්ය. එයිනුත් පසුගිය දශක කිහිපය තුළ සිදුවී ඇති වෙනස්කම් වඩාත් කැපී පෙනෙන නිසා ආදර හසුන් ගැන තරමක් උනන්දු වී සොයා බැලීම වඩාත් රසවත් වන්නේය.

මානව ඉතිහාසයේ හමුවන පැරණිම ආදර හසුන ලෙස සැළකිය හැකි ලිපිය ශිලා ලේඛනයකි. සරල බසින් කිවහොත් එය සෙල් ලිපියකි. ගලේ කෙටූ එකකි. ගලේ කෙටූ එකක් නිසා එය අදත් ඉස්තාන්බුල් කෞතුකාගාරයේ මහජනයාට දැකගත හැකි වන පරිදි ප්‍රදර්ශනය වේ. වසර 4500ක් පැරණි මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයට අයත් වූ මෙම පෙම් හසුන නයිෆර් (Niffer) නිම්නයේ 1889 – 1900 වසරවල, ෆිඩෙල්ෆියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Hilprecht ගේ මූලිකත්වයෙන් කළ කැනීම්වලදී ගොඩ ගනු ලැබීය. සුමේරියානු බසින් ලියා තිබුණු එම පෙම් හසුන ඊට වසර 58කට පසුව සුමේරියානු විශේෂඥයන් වන Mazzez Agh සහ Hatice Kizilay යන අය කියවා මෙකල භාවිතයේ බසට පරිවර්තනය කර දුන්හ. කවියක් වූ එම පෙම් හසුන පූජකවරියක වූ රජ බිසව විසින් Su – Sin නම් රජුට ලියූ එකකි.
අද දවසේ සුවහසක් පෙම්වතුන් ලියන ආදර හසුන් ස්මාර්ට් ජංගම දුරකථනයේ ඉලෙක්ට්‍රොනික පුවරුව මත සටහන් කොට ඇතැම් විට ප්‍රියයා හෝ පියාවිය දකින්නටත් පෙර ඇතැඟිලි පහරින් ක්ෂණිකව වියැකී යද්දී වසර 4500කට පෙර ගලේ කෙටූ ආදර හසුන මහජනයාට බලාගත හැකිවන පරිදි ශේෂ වී තිබීම ඇත්තෙන්ම සරදමකි.

මා සිතන අයුරු ලාංකික ඉතිහාසයේ කඩදාසි මත පෙම්පත් ලියා ලිපි හුවමාරු කරගත් වැඩිම පිරිස ඉපදුණේ 1940 – 1980 කාලය තුළයි. ඊට හේතු කිහිපයක් ඇත. සාක්ෂරතාව ලබා ලිපි ලියන්නට කියවන්නට හැකි වැඩිම පිරිසක් හුරු වූයේ 1940න් මෙසිටයි. විශේෂයෙන් අප රටේ කාන්තාවන් වැඩිපුර සාක්ෂරතාව ලැබුවේ 1940න් පමණ පසුවයි. (ඇතැම් නූගත් ගැමියන් ගැහැනු ළමයින් අකුරු ඉගෙනගෙන කොල්ලන්ට ලිපි ලියන්නට හුරු වන නිසාම ඔවුන් පාසල් යැව්වේ නැත.)

1980 මෙසිට ඉපදුණු අයට කඩදාසි මත පෙම් සටහන් තබා හුවමාරු කර ගැනීම ආදි කාලයේ වැඩකි. යල් පැන ගිය වැඩකි. කොම්පියුටරයත්, ජංගම දුරකථනයත් ඔවුන් අතර ප්‍රචලිතය. ඉන්ටර්නෙට් තාක්ෂණය මේ සියල්ලට එක් විය. ලිපියක් ලියා සෙනෙහස හිමි තැනැත්තාට තැපෑලෙන් ලැබෙනතුරු ඉවසා ඉන්නට ඔහු හට ඕනෑ නැත. සිතෙන සැණින් සිතෙන දෙය අතැති ජංගම දුරකථනයේ සටහන් කොට, ලෝකයේ කොහේ හෝ කෙළවරක ඉන්නා ප්‍රියයාට එසැණින් සන්නිවේදනය කිරීමේ හැකියාව ඔවුනට උදා විය.

මේ නිසාම යල් පැනගිය පෙම් හසුන් හුවමාරුව මතක් කර ගැනීම සිතට යම් සොඳුරු හැඟීමක් දනවන්නකි. ප්‍රසිද්ධියට පත් නොවූ එකිනෙකාගේ පෙම් හසුන් එළිපිට දක්වා උදාහරණයට ගැනීම සදාචාරාත්මක නොවන නිසා අපගේ සිංහල ගීත සාහිත්‍යයේ එන ජනප්‍රිය ගීතයක් ආශ්‍රයෙන් මේ පිළිබඳව අදහස් මතු කරගැනීම හොඳයැයි සිතේ. කඩදාසිවල ලියා පෙම් පත් හුවමාරු කරගත් යුගයේ සිට දුරකථන සංවාද මඟින් හැඟීම් සන්නිවේදනයේ යෙදීමේ සංක්‍රාන්ති සමය දක්වා උදාහරණ අපගේ ජනප්‍රිය චරිත සාහිත්‍යයේ පවතී.

මිල්ටන් මල්ලවආරච්චි ගායනා කළ පහත ගීතය සළකා බලමු.

මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර
මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක
මට ඇති එක සතුටයි
අපමණ සිතුවිලි බිහිවී තෙරපී
එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන්ගෙන කොහොම ලියන්නද 
නැත මට වැටහෙන්නේ

කෙටියෙන් පවසමි මගේ ආදරියේ 
කීමට ඇති හැම දේ
පරෙවි රැජිණියේ එදා වගේ අදත් 
ඔබට තවම මම ආදරෙයි

හිත ගොළු වෙනවා අත වෙව්ලනවා
හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොළයට මුහුණ යොමනවිට
නෙත් දෙක පියවෙනවා

එක්දහස් නවසිය හැට ගණන්වල පමණ ලියවුණු මෙම ගීතයෙන් එදා පෙම් හසුන් ලියන්නට පෙර පෙම්වතුන් ඒ සඳහා කෙතරම් සූදානම් වූවාද යන්න පැහැදිලි වේ. ඔහු ලිපිය ආරම්භ කරන සැටි සිතයි. ලිපියේ මැද හරිය කෙසේ විය යුතු දැයි සිතා බලා තම සිතේ නැගෙන මනෝභාවයන් ඔහු එළිපිට කියයි. එහි කුහකකමක් නැත. ඇත්තේ අව්‍යාජ බවකි. මෙම ගීතයෙන් එදා පෙම්වතකු ලියූ පෙම්පතක සාමාන්‍ය ස්වභාවය නියෝජනය වෙයි.

වර්තමාන පෙම්වතුන්ට ඉහත ගීයේ සටහන්ව ඇති සියළු වරම් තාක්ෂණය පිහිටෙන් උදා වී ඇත. හිතේ හැටියට ඕනෑම තැනක ස්කයිප් තාක්ෂණය ඇත. හිතේ හැටියට ඕනෑම තැනක හිඳ සාක්කුවේ ඇති දුරකථනය කන තබාගෙන හඬ අසාගත හැකිය.

හැට හැත්තෑ ගණන්වල සහ අසූ ගණන් මුල් භාගයේ තරුණ සමය ගත කළ අය පෙම් හසුන් ලීවෝය. එහෙත් එය පෙම්වතාට හෝ පෙම්වතියට භාර දෙන මාධ්‍ය මොවුන්ට ගැටලුවක් වූයේය. සදාචාරය පිළිබඳ සමාජමය ගැටලු නිසා ඔවුනට බොහෝ සෙයින් තහංචි පැනවී තිබිණි. එළිපිට ආදරය පෑමේ ලජ්ජා බයද සිතට දැනුණේ නොමඳවය. ඒ නිසා කෙළින්ම පෙම්වතාගේ හෝ පෙම්වතිගේ නිවසට තැපෑලෙන් යැවීම ගැටලුවක් විය. මග රැක සිට අතින් ලිපිය භාර දීම එකල ජනප්‍රිය ක්‍රමයකි. යහළුවකු අත හෝ යෙහෙළියක අත යැවීම තවත්  ක්‍රමයකි. එළිපිට නොකිව්වාට ලිපි භාර දීමේදී සිදුවූ රසවත් සිද්ධීන් පිළිබඳ මතකයන් ඒ පරපුරේ සෑම පෙම්වතෙකුටම ඇත. බාලිකා පාසල්වලට ගිය පෙම්වතියන්ටත් බාලක පාසල්වලට ගිය පෙම්වතුන්ටත් එකට මුණගැසී කතා කරන්නට එකල ලැබුණු අවස්ථා බොහෝ සෙයින් විරලය. අද තරම් එකල උපකාරක (ටියුෂන්) පන්ති තිබුණේ නැති නිසා මුණගැසෙන්නට ලැබෙන්නේ බස් රථයේදී හෝ බස් නැවතුම්පොළේදීය. මුවින් නොදොඩා ඇස්වලින් කරන කතාවෙන් ඇතැම් විට එකිනෙකා හඳුනාගැනේ. ඉන් පසු සම්බන්ධතාව ගොඩනැගුණේ පෙම්පත්වලිනි. නෙත්වලින් කතා කළ කෙල්ලක, යෙහෙළියක හෝ යහළුවකු අතේ දෙන හසුන බාරගෙන තිබුණහොත් ඊට වඩා සතුටක් තවත් නැත. ඇතැම් විට ලිපි ලියන පෙම්වතාට වඩා කෙල්ලට මුණගැසෙන්නේ යහළුවාය. පෙම්පත්වලින් හුවමාරු වන ආදරයට වඩා මුහුණට මුණගැසී හුවමාරුවන ආදරය බලවත් වී ඇතැම් විට යහළුවා කෙල්ල සමඟ හාදවන අවස්ථාද තිබිණි.

පොතක් ඇතුළේ ලියුම දමා පෙම්වතාට හෝ පෙම්වතියට ලියුම බාරදීම ඉතා පැරණි ක්‍රමවේදයක් බව ගම්පෙරළිය නවකතාවෙන් පෙනේ. පියල් නන්දාට පොත් අස්සේ සඟවා දුන් ලිපි අල්මාරියේ තිබී අනුලාට හසුවේ.

පෙම්වතිය යන එන පාරේ යම් තැනෙක ලියුම තබා ඇයට හසුවන්නට ඉඩහැරීම අවදානම් සහිත විදියක් වූයේය. මෙසේ කළ අවස්ථාවල කෙල්ලගේ පියාටම ලියුම හසුවූ අවස්ථාද බොහෝය. ඇතැම් ආදර සම්බන්ධතා එතැනින්ම ලොප් විය.
දෙදෙනාම ගිවිසගත් ගස් බෙනයක් වැනි තැනක හෝ තාප්පයක් අස්සේ ලියුම සඟවා තැබීම ඊට වඩා ආරක්ෂිත වූයේය.
මේ කාලයේ තරම් අරුමෝසම් නේක වර්ණ ලියන කඩදාසි එකල සුලභව නොතිබිණි. පහසුවෙන්ම සකසාගැනීමට තිබුණේ ඇක්සයිස් පොතේ කොළයයි. නිර්මාණ කෞෂල්‍යයෙන් හෙබි ප්‍රේමවන්තයෝ ඊට වඩා අලංකාරවත් බවක් ආදර හසුනට එක් කළෝය. ඔවුහු හදවත හැඩයට හෝ මලක හැඩයට කපාගත් රතු හෝ රෝස පාට වාර්නිෂ් කොළයේ එක් පැත්තක ලිපිය ලියූහ. නැතහොත් කොළය මත නොයෙක් වර්ණයෙන් සිතුවම් ඇඳ ලිපිය සැරසුවෝය. ගම් හා රත්‍රං පාට කුඩුවලින් ලිපියට එළියක් එක් කළහ.

මෙයිනුත් සෑහීමකට පත්නොවූ ආදරවන්තයෝ තම ලිපියට සුවඳ කැව්වෝය. සුවඳ විලවුන් සොයාගත නොහැකි වූ ප්‍රේමවන්තයෝ ලිපිය මත පුයර (පව්ඩර්) හලා ඒවා සුවඳ කළහ. හැත්තෑ ගණන් අග භාගයේදී යෞවන යෞවනියන් කියවූ පාට පාට පත්තර සමඟ ලියුම් ලියන ලස්සන කඩදාසියක් නොමිලේ ලබාදුන්නේ ඉහත කී ගැටලුවලට පිළියමක් වශයෙන් වන්නට ඇති.

මොනම ආකාරයෙන්වත් පෙම්හසුනක් ලියන්නට බැරි අයටත් ඒ තරම් ගැටලුවක් තිබුණේ නැත. අන් අය උදෙසා පෙම්පත් ලියාදෙන්නට, අතිශය දක්ෂතා දැක්වූ මිතුරු මිතුරියන්ගේ හිඟයක් නොවීය.

පුවත්පතක මිතුරු හමුවකින් හාද වී ලිපි හුවමාරු කරගත් දෙදෙනකු එකිනෙකා මුණගැසෙන අවස්ථාව නාට්‍යමය ස්වරූපයක් ගත්තේය. ප්‍රචලිත නවකතා කිහිපයකම මෙවැනි අවස්ථා නිරූපණය කොට තිබුණි. මේ එක් උදාහරණයකි.
“සුහද මාවත ළඟ බස් හෝල්ට් එකට මම තුනට එනවා. මම එන්නේ රතු පාට මාළුවෝ මාළුවෝ ඉන්න ගවුමක් ඇඳලා. කතා පොතක් අතේ තියාගෙන ඉන්නම්. ඔයා ඇඳලා එන්නේ මොන පාට Shirt එකක්ද?”

මෙසේ ඇතිවූ ආදර සබඳතා කීයක් විවාහයකින් කෙළවර වුණාදැයි නොදනිමි.

එකල බොහෝ පෙම්වතියන් ඇසුරු කළ අපේ මිත්‍රයෙක් සිටියේය. ඉංග්‍රීසි - සිංහල භාෂා දෙකම දැන සිටි ඔහු ඇසුරු කළ ඇතැම් පෙම්වතියෝ ද “පොෂ්” අය වූහ. මේ නිසා ඔවුන්ට ආදර හසුන් ලිවීමට අපේ මිත්‍රයා අපූරු ක්‍රමයක් අනුගමනය කළේය. එයනම් ඔහුගේ පියා මවට පෙම් කළ කාලයේ ඉංග්‍රීසියෙන් ලියූ ලියුම් මිටියක් සොයාගෙන එහි සඳහන් වාක්‍ය යොදා ගැනීමය. මෙය තරමක හාස්‍යජනක දෙයක් වුවද මේ ක්‍රමය අනුගමනය කළ තවත් මිතුරන් ද එකල සිටි බව මගේ අදහසය. කෙසේ වුවත් අපගේ මිත්‍රයා විවාහ වූයේ නම් එසේ පෙම් හසුන් හුවමාරු කරගත් පෙම්වතියක සමඟ නොවන බවද සඳහන් කළ යුතුය.

තාක්ෂණයට පින්සිදු වන්නට වර්තමාන පෙම්වතුන්ගේ රහස්‍යභාවය පිළිබඳ ගැටලු බොහෝමයක් එහිදී විසඳී ඇත. අලුත් පෙම් හසුන්වල ඉංග්‍රීසි අකුරෙන් සිංහල වචන ලියවේ. භාෂාවේදී ගැටලුවක් නැත. සූදානම් කර තිබෙන රූප Appවල ඇත. වචනයෙන් බැරිනම් රූපයෙන්, රූපයෙන් බැරිනම් ඡායාරූපයෙන්, ඡායාරූපයෙන් බැරිනම් චලන රූපයෙන් දැඩි බාධාවකින් තොරව ආදර හැඟීම් රහසේ සන්නිවේදනය කළ හැකිය.

ඉහත කී පැරණි පරපුරේ පෙම්වතුන්ගේ ආදර හසුන්වල භාෂා භාවිතයේ ද විශේෂ ප්‍රවණතා වරින් වර මතුවිය. ගුවන් විදුලියෙන් ඇසුණු ගීත ඛණ්ඩ බොහෝ විට ලියුම තුළ හෝ ලියුමේ කෙළවරක ලියා තිබිණි. අර්ධ නාගරික හා නාගරික සන්නයේ ලිපිවල සරල සිංහලෙන් කිව හැකි වචන වෙනුවට ඉංග්‍රීසි වචන යෙදීම එම ලිපිවල විලාසිතාවක් වූය. ඇතැම්විට හාස්‍ය දැනෙන තරමට එම විලාසිතාව වල් බිහිවිය.

“අපේ අම්මගෙන් permission ලැබෙන්නේ නෑ. මට වස ටිකක් drink කරන්න හිතෙනවා.” එක් ලිපියක එසේ ලියා තිබිණි.

පෙම් හසුන් පිළිබඳ එතෙර තොරතුරු ගවේෂණය කිරීම ද සතුට දනවන්නකි. අන්තර්ජාලයේ අවුරුද්දක් තිස්සේ කියවා නිම කළ නොහැකි තරම් ඉතිහාසගත පෙම් හසුන් ඇත. ගල් සිත් ඇති මහා පුරුෂයන්ගේ සිත් පෙම් හසුන් ලිවීමේදී වෙඬරු පිඬු මෙන් දියව ගොස් ඇති ආකාරය එම හසුන්වලින් පෙනේ. යුධ මානසිකත්වයෙන් හා ශ්‍රේෂ්ඨ පෞරුෂයකින් හෙබි නැපෝලියන්, ජොසපින් ඉදිරියේ මෘදු වදන් ලියා දණ නමා තිබේ. නැපෝලියන්ගේ පෙම් හසුනක පරිවර්තනය මෙසේය.

දෙසැ. 29, 1795

ඔබෙන් සිත පුරවාගෙන අවදි වීමි. පෙරදා රැයේ ඔබේ රැව දැක ලැබූ ප්‍රීති ප්‍රමෝදය විසින් මට පහන් වනතුරු නින්ද ලබා නොදුන්නේය. මිහිරි වූත්, අසමසම වූත්, ජොසපින්, ඔබ කෙතරම් අපූරු ලෙස මහදේ ක්‍රියා කරන්නේද?

ඔබ මා සමඟ අමනාපද? ඔබ නොසතුටින්ද? ඔබ සිත අවුල් වීද?

ඔබ වෙත ඇති ආදරය නිසා මගේ ආත්මය සොවින්ම බිඳී ගොස් නිවනක් නැතිව වැළපෙයි. මගේ ඇතුළාන්තයේ ඇති හැඟීම් දැනෙන විට, ඔබේ දෙතොලේ පහස දැනෙන විට, ඔබේ හදවත දැල්වෙන විට මා කෙසේ තව දුරටත් නිදි සුව ලබම්ද?

ඉගෙන ගතිමි එක් රැයකින්. ඔබ රැව නොදැක හිඳීම කොතරම් උගහටදැයි.

පැය තුනකින් මම ඔබ නැවත දකිමි. එතෙක් ඔබට හාදු දහසක්! මගේ මිහිරාවිය මා දුන් කිසිවක් නොදෙන්න මට ආපසු. එසේ වුවහොත් මගේ රුහිරු ගිනිගනීවි.

- නැපෝලියන් බොනපාට්

පෙම්වතියගේ පෙම්පත් පුළුස්සා දැමූ අපේ එක් ආදරවන්තයකු මෙම කව ලියා තිබිණි. වදන්වලින් ලියූ ඔබේ අකුරු වැල් 

(දුම් රොටු අතරින් අහසට යනවා

අහසේ තරු වී රැඳෙන්නදෝ ඒ යන්නේ)

කඩදාසි මත අත් අකුරු ලියා ආදර හසුන් හුවමාරු කරගත් යුගය දැන් නිමා වී ඇත.

♦ සමන් පුෂ්ප ලියනගේ 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00