2017 ජනවාරි 21 වන සෙනසුරාදා

බල පොරයක ලකුණු

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 417

සෙනසුරු මාරුව ජනවාරි 26

2017 ජනවාරි 26 වැනි දින සවස 7 පසුවී විනාඩි 19ට සෙනසුරු ගුරුට අයත් ධනු රාශියට පිවිසේ. 2017 අප්‍රේල් 6 වැනි දින වක්‍ර ගමනින් ගොස් ජුනි 21 වැනි දින පාන්දර 4 පසුවී විනාඩි 38ට නැවත වෘශ්චික රාශියට පිවිස ඔක්තෝබර් 26 දින සවස 3 පසුවී විනාඩි 31ට නැවත වෘශ්චික රාශියට ධනුවට පිවිසේ. 2018 අප්‍රේල් 18 වැනි දින උදේ 7 විනාඩි 18ට වක්‍ර ගමනින් ගමන් කරමින්ද, නැවත සැප්තැම්බර් 6 වැනි දින සවස 4 පසුවී විනාඩි 40 සුපුරුදු ගමනින් ගමන් කරයි. 2019 අප්‍රේල් 30 උදේ 6 පසුවී විනාඩි 25ට වක්‍ර වෙමින්ද ගමන් කරයි. නැවත සැප්තැම්බර් 18 වැනි දින සවස 2 පසුවී විනාඩි 18ට සුපුරුදු ගමනින් යමින් 2020 ජනවාරි 25 වන දින උදේ 11 පසුවී විනාඩි 20 දක්වාම ගුරුට අයත් ධනු රාශියෙහි ගමන් කරනු ඇත. ධනු රාශියේ කේතුට අයත් මූල නැකතේ සම්පූර්ණවත් කිවිට අයත් වූ පුවසල නැකතේ සම්පූර්ණවත් රවිට අයත් උත්‍රපල නැකතේ ප්‍රථම පාදයෙන් ද ගමන් කරයි. 

සෙනසුරු සෑම අයකුටම අයහපත් ඵල අත් නොකරනු ඇත. ජන්ම පත්‍රයෙහි තැන්පත්ව ඇති ආකාරය අනුව ශුභ අශුභ ඵල අත්කර දේ. උත්පත්තියේදී සෙනසුරු දුබලව නිචව අශුභ රාශිගතව තැන්පත් වීද ගෝචරයෙන් සෙනසුරු අශුභව එ්රාෂ්ඨක ඇති කරනු ඇත. සෙනසුරු එක් රාශියක වර්ෂ 2 ½ ක් ගමන් කරන අතර උත්පත්ති සඳුගෙන් අට වැන්නේ ගෝචර ගමනින් සෙනසුරු ගමන් කරයිද, එයින් ඉතා අශුභ වූ අපලයක් ගෙනදෙනු ඇත. එසේම ජන්ම කේන්ද්‍රයේ ලග්නය 2 හා 12 හරහා ගමන් කිරීමේදී ලග්න එ්රාෂ්ඨකද ලග්නයෙන් අට වැන්නේ ගමන් කිරීමෙන් ලග්න අෂ්ථම එ්රාෂ්ඨකද සඳුගෙන් අට වැන්නේ ගමන් කිරීමෙන් චන්ද්‍ර අෂ්ඨම එ්රෂ්ඨක අපලයද ගෙන දෙයි. මෙහිදී චන්ද්‍ර අෂ්ඨම එ්රාෂ්ටකය අනෙකුත් එ්රාෂ්ඨක අපලවලට වඩා අශුභ ඵල ගෙන දෙනු ඇත.

සෙනසුරු ධනු රාශිගත වීම අප රටට, ලෝකයට හා ඔබට කෙසේ බලපායිද යන වග විමසා බලමු.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී එතරම් සුබවාදී වූ කාල වකවානුවක් නොවනු ඇත. මහජනයා කළකිරීමට පත්ව කටයුතු කරන අතර ව්‍යාපාර, කර්මාන්ත බිඳවැටේ. ජනතාව අසරණ තත්ත්වයට පත්වන වකවානුවක් වේ. ස්ත්‍රී දූෂණ අධික වන අතර මැරයන් උන්මන්තකයන් නිසා ජනයා බියට පත්වනු ඇත. රටේ මරණ ප්‍රමාණය වැඩිවන අතර කීර්තිමත් පුද්ගලයන් රටේ ප්‍රධානීන් බුද්ධිමතුන් කලාකරුවන් මරණයට පත්වීම බහුල වේ. කලාකරුවන් අතර ආරවුල් කැළඹිලි තත්ත්වයක් ඇතිවනු ඇත. සියදිවි නසාගැනීම් වැඩියෙන් වේ.

 ලග්න 5කට සුබයි 3කට මිශ්‍රඵල 

රාජ්‍ය පාලන තත්ත්වය පිළිබඳ විමසා බැලීමේදී හවුල් පක්ෂ කැඩී බිඳී යනු ඇත. රජය විසින් ගෙන එනු ලබන පනතක් පරාජයට පත්වනු ඇත. නොසිතූ ලෙස පාර්ලිමේන්තු ඡන්ද බලය නොමැති වී යාම හේතුවෙන් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ඉල්ලා අස්වීමත් අමාත්‍ය මණ්ඩලයේ වෙනස්වීමක් ද පාලන බලයෙහි නොසිතූ පෙරළියක්ද ඇතිවනු ඇත. ඒ අතර මහජන නියෝජිතයන්ටද අශුභ වන අතර මාරක ඇතිවනු ඇත. මෙම කාල වකවානුව තුළ පවත්වන්නා වූ මැතිවරණවලදී බලය ලබා ගැනීම පිණිස සියලු පක්ෂ කටයුතු කිරීම නිසා දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇතිවන අතර ආරවුල් ගැටුම් හේතුවෙන් මහජනයා මෙන්ම මහජන නියෝජිතයන්ටද තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවේ. මේ නිසා අදාළ බලධාරීන් ජනතා ආරක්ෂාවට කටයුතු සැලසීම වැදගත්ය.

මීළඟට සෙනසුරු මාරුව ඔබට බලපාන ආකාරය විමසා බලමු.

මේෂ - සහනය ලැබේ

පැවතියාවූ කරදර බාධවලින් මිඳී සහනයක් ලැබෙනු ඇත. වර්ෂය මැද භාගයෙන් පසු ශුභඵල ගෙනදෙනු ඇත.

රැකියාව - රැකියා ස්ථානයේ පැවතියාවූ කරදර දුරුවී යන අතර අන් සේවකයන්ගේ උදව් උපකාර නොමඳව ලැබීමෙන් සිතට සහනයක් අත්වනු ඇත. නව රැකියාවක් අපේක්ෂාවෙන් සිටි අයට තම බලාපොරොත්තු ඉටුවන අතර හිතට ගැළපෙන ආකාරයේ රැකියාවක් හිමි වේ.

අධ්‍යාපනය - යහපත් වන අතර පැවතියාවූ උදාසීන ගති දුරුවී ඉගෙනීම් කටයුතුවලට යොමුවන අතර විදේශ අධ්‍යාපනයක් අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටු වේ.

ගෘහ ජීවිතය - පවුලේ සමගිය වර්ධනය වනු ඇත. ආගමික ස්ථානවලට සහභාගි වන අතර දානමය පින්කම් පරිත්‍යාග කටයුතු සඳහා වැඩි වශයෙන් කාලය ගත කෙරේ. තමන්ගේ කටයුතුවලට පැවති බාහිර කරදර සතුරු උවදුරු පහව යනු ඇත.

සෞඛ්‍යය - බඩවැල් හා රුධිර ධාවනය ආශ්‍රිත රෝගාබාධ මතුවනු ඇත.

වෘෂභ - රැකියාව එපා වේ

ලග්නයෙන් අටවැන්නේ සෙනසුරු ගමන් ආරම්භ කිරීම ඔබට යහපත් නොවනු ඇත. නොසිතූ ආකාරයේ කරදර රාශියකට මැදිවනු ඇත.

රැකියාව - රැකියාව එපාවෙන තත්ත්වයට පත්වන අතර රැකියා ස්ථානයේ සේවකයන් සමඟ සිත් අමනාපකම් ඇති කරගනු ඇත. නව රැකියා බලාපොරොත්තුවෙන් වූ අයටද බාධා ඇතිවන අතර ව්‍යාපාරිකයන්ටද පාඩු බලාපොරොත්තු නොවූ මූල්‍ය පාඩු අත්වනු ඇත.

අධ්‍යාපනය - ඉගෙනීම් කටයුතු එපාවන අතර නිතර උදාසීන ගතියෙන් කටයුතු කරයි. තරග විභාගවලදී ද උසස් ඵලයක් ලබාගත නොහැකි වනු ඇත.

ගෘහ ජීවිතය - තම තැන්පත් ධනය අනවශ්‍ය ලෙස වියදම් වේ. හිතමිතුරන්ගෙන් ප්‍රශ්න ඇතිවන අතර නෑ මිතුරන් නිසා තම පවුල් ජීවිතය විනාශවන තත්ත්වයට පත්වන වකවානුවක් වන බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

සෞඛ්‍යය - හදිසි අනතුරුවලට ලක්වීමක්, උස් තැන්වලින් වැටීමත් අස්ථි බිඳීමත් සිදුවිය හැක.

මිථුන - හදිසි රෝගාබාධ

ශුභ අශුභ ඵල මිශ්‍රව ලැබෙනු ඇත. 

රැකියාව - රැකියා ස්ථානයෙන් ඇතිව තිබූ විරුද්ධවාදීන් ඉවත්වන වකවානුවක් වේ. භූමිය ආශ්‍රිත රැකියාවල නිරතනක අයට යහපත් වන අතර ව්‍යාපාරිකයන්ටද ශුභ ඵල අත්වනු ඇත. විදේශ රැකියාවක් අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටුවනු ඇත.

අධ්‍යාපනය - යහපත් වන අතර තරග ජයග්‍රහණ අත්කර ගත හැකිවනු ඇත. විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන අයට යහපත් ඵල අත්වනු ඇත.

ගෘහ ජීවිතය - පවුල් ජීවිතයේ සමගියට බාධා මතුවනු ඇත. නව දේපළ මිලදී ගැනීමක් සිදු කිරීමට යහපත් කාලයක් වේ. 

සෞඛ්‍යය - හදිසි ශරීර පීඩාද රත්පිත් රෝගද ඇතිවේ.

කටක - අධ්‍යාපනයට හොඳයි

ඔබට එතරම් යහපත් නොවනු ඇත. සිතට අසහනකාරී ප්‍රශ්න ඇතිවනු ඇත. අනවශ්‍ය අය තම ඇසුරට පත්වනු ඇත. 

රැකියාව - අයහපත් නොවන අතර සුපුරුදු ලෙස කටයුතු කරගෙන යාමට හැකි වේ. ව්‍යාපාරිකයන්ටද යහපත් වනු ඇත.

අධ්‍යාපනය - අධ්‍යාපන කටයුතු සඳහා ශුභ ඵල අත්වනු ඇත.

ගෘහ ජීවිතය - තම සහකරුට හෝ සහකාරියට හදිසි රෝගාබාධ ඇතිවනු ඇත. සත්වයකුගෙන් තමා හට ශරීර පීඩාවක් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

සෞඛ්‍යය - උදර ආශ්‍රිත රෝගද හිසේ පීඩාද ඇතිවනු ඇත.

සිංහ - මංගල යෝග 

සෙනසුරු ඔබගේ බුද්ධි ප්‍රභා ස්ථානයකවූ පස්වැන්න හරහා ගමන් කිරීම යහපත්වේ.

රැකියාව - උසස් වීම් අපේක්ෂා කළ අයට යහපත් වන අතර නව රැකියා ලැබීමේ ඉඩකඩ වැඩිය.

අධ්‍යාපනය - තරමක් උදාසීන ගතියෙන් යුක්තව ඉගෙනීම් කටයුතුවල නිරත වූවද තරග විභාග ජයගත හැකිවනු ඇත.

ගෘහ ජීවිතය - පවුල් දිවියේ සමගිය වර්ධනය වන අතර අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වන අතර විරුද්ධ ලිංගික ආකර්ෂණයට ලක්වනු ඇත.

සෞඛ්‍යය - පපුව ආශ්‍රිත රෝගවලින් පීඩා විදින අය පරිස්සම් විය යුතුයි.

කන්‍යා - හදිසි ලාභ 

අතරමග නවතා දැමූ කටයුත්තක් නව තාවයකින් ආරම්භ කළහැකි ශුභඵල අත්වන වකවානුවකි.

රැකියාව - ව්‍යාපාරිකයන්ට ශුභ ඵල අත්වන අතර හදිසි ධන ලාබ හිමිවනු ඇත. රැකියාවේද ගැටලු නොමැති වන අතර නව රැකියා අපේක්ෂිත අයටද යහපත් වනු ඇත.

අධ්‍යාපනය - ශුභ ඵල අත්වන අතර තරග ජයග්‍රහණ ලබා ගතහැකි වනු ඇත. විදේශ අධ්‍යාපනයක් බලාපොරොත්තු වන අයටද යහපත් වනු ඇත.

ගෘහ ජීවිතය - පවුල් දිවියේ සමගිය වර්ධනය වන අතර උරුම හිමිකම් ලැබිය හැක. ගෙදරින් පිට ගමන් බහුල වන ඇත.

සෞඛ්‍යය - සිත් පීඩා ගති ඇතිවන අතර හිසේ පීඩා ඇතිවේ.

තුලා - උදාසීන ගති පහවේ  

ඔබට මිශ්‍රඵල අත්වන අතර වසර මැදින් පසු ශුභඵල අත්වනු ඇත.

රැකියාව - නව රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටුවේ. විදේශ රැකියා අපේක්ෂා ඉටුවනු ඇත. ව්‍යාපාරිකයන්ට ලාබ අත්වේ.

අධ්‍යාපනය - පැවතියාවූ උදාසීන ගති පහව යයි. තරග විභාගවලින් ජයග්‍රහණ අත්කර ගතහැකි වනු ඇත.

ගෘහ ජීවිතය - පවුල් ජීවිතයේ පැවති ප්‍රශ්න දුරැවී සමගි වර්ධනය වේ. කෙටි ගමන්ද විදේශ ගමන්ද ඇතිවනු ඇත.

සෞඛ්‍යය - මුත්‍රා ආශ්‍රිත ආබාධ ද ඇස්වල පීඩාද මතුවේ

වෘශ්චික - නොකළ වරදකට පැටලේ  

ඔබට අයහපත් ඵල උදාවනු ඇත. තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට බාධා මතුවේ.

රැකියාව - රැකියා ස්ථානයේ ප්‍රශ්න ඇතිවන අතර නොකළ වරදකට පැටලිය හැක. රැකියාව එපාවෙන තත්ත්වයට පත්වන අතර ව්‍යාපාරිකයන්ටද ලාබ නොලැබෙනු ඇත.

අධ්‍යාපනය - අධ්‍යාපනයට පවතින උනන්දුව අඩුවන අතර තරග විභාගවලින් ජයග්‍රහණ නොලැබෙනු ඇත.

ගෘහ ජීවිතය - පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන අතර හිත මිතුරන්ගෙන්ද ප්‍රශ්න ඇතිවේ. බලාපොරොත්තු නොවූ ලෙස ආර්ථික හිඟකම්වලට මුහුණ දීමට සිදුවනු ඇත.

සෞඛ්‍යය - හදිසි ශරීර පීඩා අස්ථි බිදීම් ඇතිවනු ඇත.

ධනු - පවුලේ සමගිය  

ලග්නගතව සෙනසුරු තැන්පත්ව ගමන් කිරීම තුළින් ඔබට මිශ්‍ර ඵල අත්වන අතර මනසට වද දෙන ගැටලු ඇතිවේ.

රැකියාව - රැකියා ස්ථානයේ පැවතියාවූ ගැටලුකාරී තත්ත්වය තරමක් දුරට මඟහැරී යන අතර විදේශ රැකියා බලාපොරොත්තු වූ අයගේ බලාපොරොත්තු ඉටුවනු ඇත.

අධ්‍යාපනය - යහපත් වන අතර තරග විභාග ජයග්‍රහණ ලද හැකිවේ.

ගෘහ ජීවිතය - පවුල් දිවියේ සමගිය වර්ධනය වන අතර හිත මිතුරන්ගෙන් උදව් හිමිවේ. හදිසි විදයම් ඇතිවනු ඇත. 

සෞඛ්‍යය - ඇස්වල පීඩා මතුවනු ඇත.

මකර - සේවා ස්ථානයේ ගැටුම් 

ඔබගේ ව්‍යය භාවයේ තැන්පත් වෙමින් ගමන් ආරම්භ කරන සෙනසුරුගේ ගමන ඔබට අයහපත් ඵල උදාකරනු ඇත.

රැකියාව - රැකියා ස්ථානයේ ඇති වන ප්‍රශ්න හේතුවෙන් රැකියාව එපාවෙන තත්ත්වයට පත්වේ. සේවා ස්ථානයේ අන්අය සමඟ මත ගැටුම් ඇතිවේ. ව්‍යාපාරිකයන්ට ද ලාබ අඩුවනු ඇත.

අධ්‍යාපනය - එකවර පසු බෑමකට ලක්වන අතර තරග විභාගවලින් ජයග්‍රහණ නොලබනු ඇත.

ගෘහ ජීවිතය - සිත් පීඩා වීම් ඇතිවනු ඇත. දුරගමන් ඇතිවනු ඇත. හදිසි කේන්ති ගති ඇතිවන අතර පවුලේ අය සමඟත් හිත මිතුරන් සමඟත් ගැටුම් ඇතිවෙයි. අනවශ්‍ය වියදම් වැඩිවේ.

සෞඛ්‍යය - කකුල්වල පීඩා ඇතිවනු ඇත.

කුම්භ - හදිසි ධනලාභ 

ඔබට යහපත් ඵල අත්වනු ඇත.

රැකියාව - සුපුරුදු පරිදි රැකියාව කරගෙන යාමට හැකි වේ. භූම්ය ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභ වන අතර හදිසි ධනලාබ අත්වනු ඇත.

අධ්‍යාපනය - වෙනදාට වඩා උනන්දුවෙන් ඉගෙනීම් කටයුතුවලට සහභාගී වන අතර තරග ජය ලබනු ඇත.

ගෘහ ජීවිතය - ගෙදර රැදෙනවාට වඩා පිට ගමන් යෙදෙනු ඇත. හිත මිතුරන්ගේ උදව් උපකාර හිමිවන අතර සමාජ සුබසිද්ධියට තම කාලය යොදවනු ඇත.

සෞඛ්‍යය - පපුව ආශ්‍රිත රෝග මතුවනු ඇත.

මීන - සිතට දුක 

ඔබට යහපත් ඵල උදාවනු ඇත. හිතට දුක් ඇතිවන සිදුවිම් ඇතිවේ.

රැකියාව - රැකියාවේ දියුණුවක් අත්වන අතර නවරැකියා බලාපොරොත්තු ද ඉටුවනු ඇත. භූමිය ආශ්‍රිත කටයුතුවල නිරත වන අයට යහපත් ඵල අත්වේ.

අධ්‍යාපනය - යහපත් ඵල අත්වන අතර තරග විභාග ජයග්‍රහණ ලැබේ.

ගෘහ ජීවිතය - විරුද්ධ ලිංගික ආකර්ශනය ලැබෙන අතර පවුල් දිවියේ සමගිය වර්ධනය වනු ඇත. නව ඉඩකඩම් මිලදී ගත හැකිවේ 

සෞඛ්‍යය - රත්පිත් ආබාධ හිසේපීඩා ඇතිවේ.

සෙනසුරුට බිය වීමෙන් වැළකී. නිතරම අන් අයට හිංසනයකින් තොරව බුදු දහමට අනුව ධාර්මිකව අකුසල කර්මවලින් තොරව ජීවත් වන අයට සෙනසුරු පමණක් නොව වෙනත් ඕනෑම ග්‍රහ අපලයක් පැමිණියද සියලුම දෝෂ, තමාටත් නොදැනීම දුරුවී යනු ඇත. ඔබගේ නිවසේ මහා බලසම්පන්න වූ පිරිත් තුන් සූත්‍රය කැමති පරිදි උදේ හෝ සවස පන්සිල් ගෙන සඡ්ඣායනා කිරීම තුළින් ඔබට යහපත සැලසෙනු ඇත.

ඡ්‍යොතිෂ නන්දන 
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ 
සුවනැණ ඡ්‍යොතිෂ පර් යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල.